අපේ වැලගිය මුලගිය තැන්

Posted by

මේ පොළොවේ ජීවත් වුණේ අප වැනි එකම මානව විශේෂයක්ය යන මතය සත්‍යක් නොවෙයි. කාලය ඔස්සේ ඈත ඈත අතීතයට ගියොත් ඇත්තටම අපට දැකගත හැකිවෙන්නේ මානවයන්ගේ මුතුන් මිත්තන් වශයෙන් සැලැකිය හැකි ආදි මානව විශේෂ කිහිපයක්ම එකම කාලයක ජීවත් වූ බවයි.

 

මේ ආකාරයක විවිධ ආදි මානව විශේෂයන් ඇති වුණේ ඇයි? අපට පෙර විසූ නොයෙක් මානව විශේෂ ගැන විස්තර කරන මානව විද්‍යාඥ ලුවිස් ලීකිගේ මේ ටෙඩ්කතන්දරය අප සමගද අඩුම වශයෙන් වෙනස් මානව වර්ග තුනක්වත් ජීවත් වූ බව පෙන්වා දෙනවා.

ලුවිස් ලීකි

ඇත්තටම අප කවුද? කියන එකයි අපට හැමදාම තිබුන ලොකුම ප‍්‍රශ්නය. හරියට බැලුවොත් අප යනුවෙන් අදහස් කරන්නේ කෙලින් හිටගන්න පුලුවන්, දෙපයින් ඇවිදින, ලොකු මොළයක් තියෙන, බොහොම බුද්ධිමත් වානර විශේෂයක්. අප අයිති හෝමිනිඬේ කියන සත්ව පවුලට. අප එම පවුලේ ‘හෝමෝ සේපියන් සේපියන්’ යන සත්ව විශේෂයයි. අපේ වර්තමානය සහ අනාගතය ගැන කල්පනා කරන විට මේ ආකාරයේ වර්ග කිරීමක් අපට ඇති බව මතක තබා ගැනීම හරි වැදගත්.

ඒ වගේම දැනට ලෝකයේ ජීවත්වෙන පන්දාස් පන්සීයක් පමණ වූ ක්ෂීරපායී සත්ව විශේෂ වලින් අපත් එක් වර්ගයක්. ඒත් මේ පෘථිවියේ මෙතෙක් වාසය කළ සියලූම සත්ව විශේෂ වල ප්‍රමාණය සලකා බැලූවොත් පන්දහස් පන්සීයක් යනු ඉතාමත් අල්ප ප‍්‍රමාණයක්. ගතවූ අවුරුදු මිලියන අටක විතර කාලය සලකා බැලූවොත් අප වනාහී ඒ කාල පරිච්ඡෙදය තුළ පරිණාමය වී නැතිවී ගිය කෙලින් හිටගෙන ඇවිදින වානර විශේෂ 16 කින් ඉතුරු වූ එක් විශේෂයක් පමණයි. ඒ නිසා බොනෝබෝ වර්ගයේ චිමිපන්සින් හැරෙන කොට දැනට මිහිමත ජීවත්වෙන කෙලින් හිට ගෙන දෙපයින් ඇවිදින්නට පුලුවන් එකම වානර වර්ගය අපියි.

‍“බොනෝබෝ“ චිමිපන්සින් අපට කොයිතරම් සමීපද කිව්වොත් අප දෙගොල්ලන්ගේම ජාන සංයුතියෙන් 99%ක්ම එක සමානයි. අපේ මූලොත්පත්තිය නැත්නම් සම්භවය අප හා එක්ව බෙදාගන්නා මහා වානර විශේෂයන් අතලොස්සක් තවමත් මිහිපිට ඉන්නවා. වැදගත්ම දේ අප පරිණාමයට ලක් වූ සත්ව වර්ගයක් බව මතක තබා ගැනීමයි. සමහරක් අයට පරිණාමය නොරුස්සන වචනයක්. ඒත් ගොරිල්ලන්, සාමාන්‍ය චිමිපන්සින් සහ බොනෝබෝ චිම්පන්සින් ද සමග අප පැවැත එන්නේ එකම පොදු පූර්වජ මී මුත්තෙක්ගෙන්. ඒ නිසා ගොරිල්ලන්ද චිමිපන්සින්ද ඇතුලු අප සියල්ලන්ටම ඇත්තේ පොදු අතීතයක් සහ පොදු අනාගතයක්. මේ සියලු මහා වානර විශේෂ අප වගේම දීර්ඝ කාලීන පරිනාමීය ගමනකින් විකාසය වූ අයයි. මේ පරිනාමීය ගමන කොයිතරම් කුතුහලය දනවන දෙයක්ද කිව්වොත් මගේ පවුලේ සාමාජිකයන් පරම්පරා තුනකම අවධානය යොමුවුණේ නැගෙනහිර අප‍්‍රිකාවෙන් පොසිල නෂ්ටාවශේෂ මතුකොට ගලපමින් ඒ පරිනාමීය ක්‍රියාවලිය කෙසේ සිදුවී දැයි තේරුම් ගැනීමටයි.

උතුරු කෙන්යාවේ කළ අපේ එක් ගවේශණයකදි සොයාගත් වසර මිලියන 4,1 කට පෙර විසූ දෙපයින් හිටගෙන ඇවිදින වානර විශේෂයක හකු ඇටයක කොටස් තීක්ෂණ ඇසකට පමණක් අසුවන තරම් කුඩායි. පොසිල ඇටකටු සොයන මෙවැනි ගවේෂණ බෙහෙවින් කල්ගතවන, පුහුණු ශ්‍රමිකයන් විශාල පිරිසක් අවශ්‍ය ඉතා ප්‍රවේසමෙන් හා ඉවසිල්ලෙන් කලයුතු දේවල්.

පොසිලයක් හමු වූ වහාම අප කරන්නේ එය හමු වූ තැන හරියටම සලකුනු කරන එකයි. අද කාලේ තියෙන ජීපීඑස් තාක්ෂණයෙන් මේ කටයුත්ත කදිමට ඉටු කරන්න පුලුවන්. ඊළඟට අප කරන්නේ සොයාගත් පොසිල ද්‍රව්‍යයේ ත‍්‍රිමාන ඩිජිටල් පින්තූරයක් ගැනීමයි. ඒ නිසා අර සොයාගත් පොසිල කැබැල්ල තිබුනු විදියටම තියල එන්න අපට පුලුවන්. එවිට මේ විදියට වාර්තා කරන තොරතුරැු පරිනාමය පිළිබඳ ගෝලීය තොරතුරු සංචිතකයනට ඇතුල් කරන්න පුලුවන්. ඒ අනුව පෘථිවිය පුරා මානව පරිනාමය සිදුවු අන්දම නිරීණ්ෂණය කිරීම පහසුයි.

හොඳයි මට දැන් අවශ්‍ය ඔබේ අවධානය අවුරුදු මිලියන දෙකකට පෙර තිබූ අප‍්‍රිකානු මහාද්වීපය වෙතට යොමු කිරීමටයි. අප‍්‍රිකානු මහාද්වීපයේ සිතියමත් හරියට පූර්ව මානවයෙකුගේ හිස් කබලක් වගෙයි. දැන් අපි අප‍්‍රිකානු සිතියමේ නැගෙනහිර ඇති ගේ‍්‍රට් රිෆ්ට් වැලි නැත්නම් මහා විභේදන මිටියාවත නමින් හඳුන්වන භුමි ලක්ෂණය දෙස බලමු. ඇත්තටම මේ විභේදන මිටියාවත උතුරේ ඇති ඒඩන් මුහුදු බොක්කේ සිට මලාවි විල දක්වා පැතිරුණු දිගටි පහත් බිමක්. දෙපස ඇති කඳු වල සිට මේ පහත් බිමට ගලා ආ ජලය සමග පැමිණි රොන් මඩ වලින් වැසී ආරක්ෂාවුණු ෆොසිල නෂ්ටාවශේෂ වලින් මිටියාවත බොහොම පොහොසත්. ඇත්තටම ආදි මානවයන් ගැන අපේ වර්තමාන දැනුම මුලුමනින්ම පාහේ ගොඩ නැගී ඇත්තේ මෙවැනි තැන්වලින් ලබාගත් ෆොසිල ද්‍රව්‍ය නිසයි. මේ මිටියාවතේ ෆොසිල ගවේශනය ඇරඹී තවම වසර පනහකට වැඩි නැහැ. මිටියාවතේ කෙන්යාවට අයත් කොටසෙ පිහිටි තුර්කානා විල අසබඩ පෙදෙස වර්ග කිලෝමීටර් 20000 ක් විතර විශාලයි. අප මේ පෙදෙසෙන් සොයාගත් ෆොසිල ද්‍රව්‍ය වලට අනුව අවුරුදු මිලියන දෙකකට පමණ පෙර මේ පෙදෙසේ හෝමෝ ඉරෙක්ටස් නම් මානව විශේෂය ජීවත් වූ බව තහවුරු වුණා. හෝමෝ ඉරෙක්ටස් ජීව්ත් වූ ඒ අවධියේදී අඩුම වශයෙන් මෙලොව තවත් මානව විශේෂ තුනක් ජීවත් වූ බවට සාක්ෂි ලැබී තිබෙනවා.

කොටින්ම කිවිවොත් හැමදාම ලෝකයේ හිටියේ අප වැනි එකම මානව විශේෂයක්ය යන මතය සත්‍යක් නොවෙයි. කාලය ඔස්සේ ඈත ඈත අතීතයට ගියොත් ඇත්තටම අපට දැකගත හැකිවෙන්නේ මානවයන්ගේ මුතුන් මිත්තන් වශයෙන් සැලැකිය හැකි ආදි මානව විශේෂ කිහිපයක්ම එකම කාලයක ජීවත් වූ බවයි. මේ ආකාරයක විවිධ ආදි මානව විශේෂයන් ඇති වුණේ ඇයි? යන පැනයටයි අප දැන් පිළිතුරු සොයමින් සිටින්නේ.

මගේ දෙමාපියන් කෙන්යාවේ තුර්කානා විල අසල ආදි මානවයන්ගේ ෆොසිල සොයන අවදියේ ඔවුන් සමගමයි මා ඇති දැඩි වූණේ. මට වයස අවුරුදු 12ක් වෙන කොට මගේ දෙමවිපියන්ට හෝමෝ ඉරෙක්ටස් වර්ගයේ ළමයෙකුගේ සම්පූර්ණ ඇට සැකිල්ලක් පාදා ගැනීමට හැකිවුනා. ලොව පුරා මානව විද්‍යාඥයන් අමන්දානන්දයට පත් කළ ‘ටුර්කානා දරුවා’ යන නමින් හැදින් වුනු ඒ ඇට සැකිල්ලේ හිමි කාරයා වුනේ මගේ වයසේම සිටි හෝමෝ ඉරෙක්ටස් වර්ගයේ ළමයෙක්. ළමා කාලයේ කිසියම් අනතුරකට ලක් වූ ලකුණු ඔහුගේ කොඳු ඇටයෙන් දැක ගන්නට ලැබුනා. ඔහු කිසියම් ආකාරයක හැලක වැටුනු බවත් ඉන් ගොඩවීමට නොහැකිව මියැදෙන්නට ඇති බවත් අනුමාන කළ හැකිව තිබුනා. ඔහුගේ සිරුර වහා වැලලී ගිය බැවින් ඇට සැකිල්ල මනාව සංරක්ෂණය වී තිබුනා.

මේ ටුර්කානා දරුවාගේ ඇට සැකිල්ල ඔහුගේ මරණයෙන් වසර මිලියන 1.6කට පසුවයි මගේ දෙමව්පියන් විසින් පාදාගනු ලැබුවේ. හෝමො ඉරෙක්ටස් විශේෂයට අයත් මේ ළමයාගේ සිරුර බොහෝ දුරට මිනිස් ඇට සැකිල්ලකට සමාන වුනත් සැලැකිය යුතු වෙනස්කම් ද දක්නට ලැබුණා.

මේ සොයා ගැනිමෙන් පසු හෝමෝ ඉරෙක්ටස් වර්ගයේ තවත් ඇට සැකිලි ගණනක් උතුරු අප‍්‍රිකාවෙන්, ජෝර්ජියාවෙන්, චීනයෙන් සහ ඉන්දුනීසියාවෙන් ද සොයා ගනු ලැබුවා. මේ අනුව හෝමෝ ඉරෙක්ටස් විශේෂයේ මානවයන් මීට පරම්පරා 90,000 කට පමණ පෙර අප‍්‍රිකාවෙන් නිකුත් වී අනුක්‍රමයෙන් ලෝකයේ විවිධ පෙදෙසේ වලට ව්‍යාප්ත වු බව පෙනෙනවා. අප අයත්වන මානව විශේෂය වන හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයන් අපේ වර්තමාන ස්වරූපයට පරිණාමය වුණේ නැගෙනහිර අප‍්‍රිකාවේදී මීට වසර දෙලක්ෂයකට පමණ පෙරයි. අප අප්‍රිකාවෙන් පිටත් වී ලොව පුරා ව්‍යාප්ත වීම ඇරඹුවේ මීට වසර 70,000 කට පමණ පෙරයි. ඒත් කෙලින් සිටගෙන ඇවිදින තවත් ආදි මානව විශේෂ තුනක්වත් මීට අවුරුදු 30,000 කට පමණ පෙරත් අප සමග මේ පෘථිවිය මත වාසය කළා.

කොහොම වුනත් ප‍්‍රශ්නය ඇත්තටම අපි කවුද යන්නයි. අන් මානව විශේෂ හා සසඳන විට යම් යම් යහපතයැයි කිව හැකි ලක්ෂණ තිබුණද අප වනාහි පරිසරය දූෂණය කරන, නාස්තිකාරී සත්ව විශේෂයක් බවයි පේන්නේ. අපට පෙර විසූ ආදි මානවයන්ට වඩා අපේ මොළය විශාලයි. විශාල මොළයක් තිබීම යහපත් පරිණාමයක ලක්ෂණයක් ද නැද්ද යන්න තහවුරු වෙන්නේ කොයිතරම් කලක් අපේ මේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් විශේෂය මිහිපිටින් වඳ නොවී සිටීවිද යන කාරණය මතයි. ඇතැම් විට ලැබුණු විශාල මොළය නිසි ලෙස යොදා නොගැනීම හේතුකොට ගෙන මෙතෙක් මිහිමත අඩුම කාලයක් ජිවත් වීමට නියමිත මාකව විශේෂය අප වන්නටද පිළිවන්.

අප කවුද? අප ‘‘අපි’’ යන වචනයෙන් හැඳින්වීමට සුදුසුකම් ලැබුවේ කෙසේද. මා හිතන්නේ අනෙකුත් ආදි මානව විශේෂයන්ගෙන් අප වෙනස් වන්නේ අපේ සාමුහික බුද්ධිය අසම සම වූ දෙයක් නිසයි. කතා කිරීමට හා ලිවීමට අපට ඇති සවිඥානික හැකියාව අපේ සාමූහික බුද්ධියේ වැදගත් තැනක් ගෙන තිබෙනවා. ඉතාමත් රලු ගල් මෙවලම් වලින් පටන්ගෙන ඉතා සංකීර්ණ මෙවලම් තනා ගැනීමට අපට හැකිව තිබෙනවා. අගහරු ලොව මත ස්වයංක්‍රිය රථයක් යැවීමටත් අපේ මු‍ුලු මානව ජෙනෝමය ම සවිස්තරව දත්ත ගත කිරීමටත් අපට හැකිව තිබෙනවා.

ෆොසිල වාර්තා වලට අනුව අපට පෙර විසූ හැම මානව විශේෂයක්ම සාමාන්‍යයෙන් වසර මිලියනයක් ගතවීමට පෙර මිහිපිටින් නැතිව ගොස් තිබෙනවා. හෝමෝ සේපියන් සේපියන් මානව විශේෂය වශයෙන් අප තවමත් ගතකර ඇත්තේ වසර 200,000ක් පමණයි. එහෙත් දැනටමත් සංඛ්‍යාවෙන් බිලියන 6.5 ක් ඉක්මවා ඇති අපේ මානව විශේෂය මින් පෙර විසූ කිසිදු මානව විශේෂයකට වඩා ජනගහනයෙන් සහ පැතිරීමෙන් වැඩියි. ගිය වසරේ පමණක් අපේ ජනගහණය මිලියන 80කින් වැඩි වුණා. මේවා අතිශයින් දැවැන්ත වැඩිවීම්. ජනගහනයේ මේ වැඩිවීම පාලනය කරගත නොහැකි වීම අපේ මානව විශේෂයේ පැවැත්මට මහත් තර්ජනයක් විය හැකියි.

මගේ පියා පැවසූ අන්දමට ‘‘අප වනාහි සත්ව විශේෂයක් වශයෙන් අපේ පැවැත්මට අහිතකර දේවල් සවිඥානිකව තෝරා ගන්නා එකම සත්ව වර්ගයයි.’’ ඒ අනුව අප දැන් ඉන්නේ ප‍්‍රපාතයක අද්දර. එහෙත් ප‍්‍රපාතයට වැටීම වැලැක්වීමට ගතයුතු පියවර සියලු මානවයන් වෙත සංනිවේදනය කිරීමට අවශ්‍ය කරන තාක්ෂණය සහ මෙවලම් අප අතර තිබෙනවා. ප‍්‍රශ්නය ඒ සඳහා අවශ්‍ය කරන දැනුම නිසි පරිදි සියල්ලන්ටම සංනිවේදනය කරනවාද යන්නයි.

සාර සංග්‍ර‍හය © ජයා පත්මපානි

පහත දැක්වෙන වීඩියෝවෙන් ලුවිස් ලීකිගේ සම්පූර්ණ කතාවට කන්දිය හැකියි. වීඩියෝව ක්‍රියාත්මක කිරීමෙන් පසු දකුණු පහලින් ඇති cc නැමැති බොත්තම ඔබා ඉංග්‍රිසි උපසිරැසි තෝරාගත හැකියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.