19 වන සිය ටස මැද දී ඉදිරිපත්වුණු පරිණාමවාදය එ කල මහත් ආන්දෝලනයක් ඇති කළ දැඩි විවාද සම්පන්න මාතෘකාවක් විය. එම මතවාදය ඔප්පු කිරීමේ දී පක්ෂින් හා ඩයිනසෝරයන් අතර සම්බන්ධය වැදගත් සාධකයක් ලෙස සැලකිණ. එහෙත් එම අවධියේ ඒකරාශී වී තිබූ දැනුම අනුව (ඒ වනවිට DNA ගැන පවා දැන සිටියේ නැත) එය එතරම් පහසු කාර්යයක් නම් නොවීය. මේ කාර්යයේ දී පෙරමුණ ගෙන ක්‍රියා කළ අයෙකි බ්රිතානඥ ජාතික තෝමස් හෙන්රි හක්ස්ලි (1825- 1890) ය. මයින්ස් හි රාජකීය විදුහලේ ස්වාභාවික ඉතිහාස කථිකාචාර්යවරයෙකු වු හක්ස්ලි, 1860 දී පරිණාමවාදය ගැන පැවැත්වූ මහා විවාදයේ දී ඔක්ස්ෆඞ් බිෂොප් තැන්පත් සැමුවෙල් විල්බර්ෆෝස් පරදවා පරිණාමවාදී මත තහවුරු කිරීමට සමත්විය.
පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන, කීර්තිධර විද්‍යාඥ චාල්ස් ඩාවින්, ස්වාභාවික වරණයෙන් සිදුවන පරිණාමය පිළිබඳ සිය න්‍යාය ඉදිරිපත්කළේ 1859 දීය. ඉන් අනතුරුව ඇතිවූ තියුණු වාදවිවාදවලදී ඩාවින්ගේ මත වෙනුවෙන් සටන් කළ බලගතුම වාදීභසිංහයා තෝමස් හෙන්රි හක්ස්ලි විය. ඩාවින්ගේ ‘‘බුල්ඩෝග් ‘‘ යන අන්වර්ත නාමය ඔහුට පට බැ\දුනේ ද එහෙයිනි. එහෙත් වඩාත් වැදගත් වන්නේ ඩාවින්ගේ න්‍යායන්ට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කෙරුණු එක් ප්‍රමූඛ අදහසක් සම්බන්ධයෙන් හක්ස්ලි ඉටු කළ පුරෝගාමී සේවාවයි. එම අදහස නම් පක්ෂීන් හා ඩයිනසෝරයන් අතර කිට්ටු සම්බන්ධයයි. ජීවි විශේෂයන් ක්‍රමයෙන් වෙනත් විශේෂයක් බවට පරිවර්තනය වන්නේය යනුවෙන් ඩාවින් ඉදිරිපත් කළ න්‍යාය සත්‍ය නම් බොහෝ සේ සමාන පූර්වජයන්ගෙන් අතිශය වෙනස් විශේෂ ප්‍රභේද වී ඇතැයි ෆොසිල වාර්තා මගින් පෙන්නුම් කළ යුතුය. 1860 දී ජර්මනියේ ගල් කොරියක හුණුගල් අතරේ තිබී අපූර්ව ෆොසිලයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි විය. කාල වකවානු අනුව ජුරාසික අවධියට අයත් එම ෆොසිලයෙ, නම් කෙරුණේ ආකේයොප්ටෙරික්ස් ලිතොග්රැෆිකා (Archaeopteryx lithographica) යනුවෙනි. පක්ෂියෙකුගේ පියාපත් සහ පිහාටු සහිත ෆොසිලයක් වුවත් ඩයිනසෝරයන් සිටි කාලයට අයත් නිසා එය එක්තරා අන්දමකට ඩාවින්ගේ න්‍යායෙන් අනාවැකි පළ කෙරුණු සත්ව විශේෂයන් අතර ‘අඩුපුරුක ‘ පිළිබඳ නිදසුනක් ලෙස දැකිය හැකියි. එහෙත්, පක්ෂින් හා ඩයිනසෝරයන් අතර සම්බන්ධතාව ඔප්පු කිරීමට එක සාම්පලයක් පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඇරත් ආකේයොප්ටෙරික්ස් යනු පිහාටු සහිත ඩයිනසෝරයෙකුට වඩා ආදීම කාලයේ විසූ පක්ෂියෙකු වෙන්නත් පුළුවන. ඒ කෙසේවෙතත්, ජීවවිද්යාඥයෙකුවූ හක්ස්ලි පක්ෂින් හා ඩයිනසෝරයන් යන දෙකොට්ඨාශයේම සිරුරේ ව්‍යුහය පිළිබඳව ගැඹුරින් හදාරන්නට විය. එහි ප්‍රතිඵල ලෙස ලද සාක්ෂි හක්ස්ලිට සිය අදහස් තහවුරු කරගැනීමට ප්‍රමාණවත් විය.
ආකේයොප්ටෙරික්ස් ලිතොග්රැෆිකා ෆොසිලය අනුව නිර්මාණය කළ චිත්‍රයක්
ආකේයොප්ටෙරික්ස් සහ විවිධාකාර අනෙතුත් ඩයිනසෝරයන් ගැන හක්ස්ලි සවිස්තරව සංසන්දනාත්මක අධ්‍යනයක් සිදුකළේය. ඒ අනුව, ආකේයොප්ටෙරික්ස් කුඩා ඩයිනසෝරයන් වන Hypsilophodon and Compsognathus යන සත්වයන් බොහෝ සේ සමාන බව හක්ස්ලිට පෙනී ගියේය. 1875 දී ආකේයොප්ටෙරික්ස් සතෙකුගේ වඩා පරිපූර්ණ ෆොසිලයක් සොයා ගනු ලැබීය. එහි ඩයිනසෝරයෙකුගේ වැනි දත් ද විය. එම සොයා ගැනීමත් සමගම පක්ෂින් හා ඩයිනසෝරයන් අතර සම්බන්ධතාව තහවුරු වන බවක් පෙණී ගියේය.
පක්ෂින් හා ඩයිනසෝරයන් අතර පරිණාමීය පුරුකක් අතැයි හක්ස්ලි විශ්වාස කරන්නට විය. එහෙත්, (ඒ දෙකොට්ඨාශයට) පොදු පූර්වජයෙකු කවරදාකවත් සොයා ගැනීමට නොහැකි වෙතැයි ඔහු කල්පනා කළේය. ඔහුට වඩාත් වැදගත්වූයේ බොහොම පෑහැදිලිව ඇති සමානකම්ය. උරගයන්ට වාගේම පක්ෂීන්ට ද කොරල නැතිනම් කොරපොතු තිබේ. ඇත්තටම, පිහාටු යනු හුදෙක් කොරපොතුවලම වර්ධනයකි. දෙකොට්ඨාශයේම සතුන් බිජු ලති. අස්ථි(ඇට) ව්‍යුහය අතින් ගත්ත ද දෙකොට්ඨාශය අතර සමානකම් ගණනාවකි.
ඒ කෙසේවෙතත්, ඩයිනසෝරයන් හා පක්ෂීත් අතර සම්බන්ධය තවත් ශත වර්ෂයක් යන තුරුත් මහත් විවාද සම්පන්න මාතෘකාවක්ම විය. එහෙත් ගොදුරු සොයා කන ඉච්චාකාර, කඩිසර ඩෙයිනොනයිකස් (^Deinonychus – Velociraptor වෙලොසිරැප්ටර් ගේ ඥතියෙකි) ගැත 1960 ගණන්වල දී සිදුකෙරුණු අධ්‍යයනවලින් පාෂාණීධාතු විද්‍යාඥයන්ට අවසානයේ තහවුරු වූයේ මෙම කුඩා විලෝපක(ගොදුරු බුදින ) ඩයිනසෝරයන් හා පක්ෂීන් අතර සම්බන්ධයක් ඇති බවයි. මේ අතර, චීනයෙන් ආදී කාලීන පක්ෂීන් සහ පක්ෂීන් බඳු ඩයිනසෝරයන්ගේ ෆොසිල ගණනාවක් සොයා ගැනීමත් සමගම, සතුන් දෙකොට්ඨාශය අතර සම්බන්ධය තවත් තහවුරුවීමට මග පෑදී තිබේ. 2005 දී සොයා ගත් පීඩොපෙන්නා නැමැති පාදවල පිහාටු සහිත කුඩා ඩයිනසෝරයාගේ ෆොසිල ද චීනයෙන් හමුවූ ෆොසිල අතර විය. එම වසරේදීම සිදුකළ අධ්‍යයනයකින් ද පෙන්නුම් කළේ, ජානමය වශයෙන් ගත් කළ ඩයිනසෝරයන් වඩාත් සමාන වන්නේ අනෙකුත් උරගයන්ට වඩා පක්ෂීන්ට බවයි. නව මං පාදන මෙකී අධ්‍යයනය සිදු කොට ඇත්තේ ටිරැනෝසොරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස් යනුවෙන් බොහෝ විට හඳුන්වන ඩයිනසොරයෙකුගේ ෆොසිලගත මෘදු පටකයකින් ගත් DNA පරීක්ෂාවෙනි.
The Science Book හි ලිපියක් ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපොත