විදු නැන නුවණ – Science Literacy for All

පිළිකා සෛල පැතිරීම කාන්දම් බලයෙන් මර්දනය කළ හැකිදැයි සොයා බැලේ

අපේ සිරුරේ ඇතිවෙන රෝග ලක්ෂණ අතුරෙන් අප වඩාත් චකිතයක් දක්වන්නේ හේතුවක් නොදැන කොතැනක හෝ ඇතිවන ගෙඩියක් ගැටයක් හෝ ඉදිමුමක් ගැනයි. ඊට හේතුව ඒ අසාමාන්‍ය වර්ධනය පිළිකාවක ලක්ෂණයක් නම් අප මුහුණ පාන තත්ත්වය ගැන බියට පත්වීමයි. එහෙත් ඇත්තවශයෙන්ම බොහෝ දෙනෙකුට මරු කැඳවන්නේ සිරුරේ ඇතිවෙන එම ගෙඩිය නොවේ. සිරුරේ පහසුවෙන් සමීප විය හැකි තැනක පිහිටියේ නම් ජීවපටකවල එක් තනි  අසාමාන්‍ය වැඞීමක් ලෙස දැක්විය හැකි ගෙඩියක්  කපා ඉවත් කළ හැකිය. සෛලවල නව අසාමාන්‍ය වර්ධනයක් හඳුන්වන්නේ ‘ටියුමරයක් ‘ ( tumour ) යන යෙදුමෙනි. උපද්‍රව රහිත ටියුමර (benign tumour) සහ මාත්සරික ටියුමර (malignant tumour )ලෙස එම වර්ධන දැක්විය හැකි අතර පිළිකාව යනු මාත්සරික ටියුමරවලට තවත් වචනයකි.

පිළිකා සෛල, මූලික ටියුමරයෙන් පිට පැන සිරුරේ වෙන කොටසක – ඒ කියන්නේ මොළය, අක්මාව, පෙණහලූ, හෝ අස්ථිවල පැලපදියම් වූ විටයි පිළිකාව මරණීය වන්නේ. එම අවස්ථාව එළඹි විට ද්වීතීයික ටියුමර කොපමණ පැතිර ඇත් ද යත් පිට පිට කෙරෙන සැත්කම්වලින් වුවද ජයක් ලැබීම අසීරු විය හැකිය. පිළිකාවෙන් මිය යන පුද්ගලයන් දහයකින් නවදෙනෙකු මරණයට පත්වන්නේ ප‍්‍රධාන පිළිකා නිධානයට ඈතින් ද්විතීයක පිළිකා  මතු වීම හෙවත් රෝග සංක‍්‍රමණය (metastasis) ලෙස දැක්වෙන රෝගය පැතිරයාමේ ක‍්‍රියාවලිය නිසා යයි ලන්ඩනයේ පිළිකා පර්යේෂණ ආයතනයේ ක‍්‍රිස් මාෂල් පවසයි. ඔහුට පැවරී ඇති රාජකාරිය එම සංසිද්ධිය අධ්‍යයනය කිරීමයි. පිළිකාව පැතිරයාමේ ක‍්‍රියාවලියේ ඇති වැදගත් කම ගැන කලක සිට දැන සිටියත් දිගු කාලයක් තිස්සේ ඒ ගැන පැහැදිලි වැටහීමක් නොවීය. එහෙත් රෝග සංක‍්‍රමණය ගැන අධ්‍යයනයකිරීමේ නව ශිල්ප ක‍්‍රමවලින් හෙළිවෙන්නේ සිත් සසල කරවන සොයා ගැනීමකි: එනම් පිළිකා විමර්ශන හා ප‍්‍රතීකාර සම්මත වෛද්‍ය ක‍්‍රියා පටිපාටියම ඇතැම් අවස්ථාවල රෝගය පැතිරයාමට උදව් විය හැකි බවයි. රෝගය නිර්ණය කිරීම මෙන්ම පිළියම් යෙදීමට වෛද්‍යවරු ගන්නා ඇතැම් ක‍්‍රියාමාර්ග මගින් නොදැනුවත්වම පිළිකා සෛල රුධිරයට යොමුවිය හැකිවේ. රෝග නිර්ණය සඳහා ජීව පටක පරීක්ෂාව හෙවත් බයොප්සිය සැකයට ලක්වූ එවැනි එක් ක‍්‍රියා මාර්ගයකි. ‘‘සැත්කම් බරපතල ප‍්‍රශ්නයකි. ඉන් මිලියන ගණන් පිළිකා සෛල නිපදවීමෙන් රෝග සංක‍්‍රමණයවීමෙ අවදානම වැඩවේය” යි අර්කන්සාස් නැනොවෛද්‍ය මධ්‍යස්ථනයේ ප‍්‍රධානී ව්ලැඩිමීර් ෂරොව් කියා සිටී.

පිළිකා සැත්කමකට භාජනයවීමට සිටින්නෙකු නම් මෙම දැනුම සිත් සසලවීමට හේතු වන්නක් වනු නොඅනුමානයි. එහෙත් පිළිකාව සැත්කමකින් ඉවත්කර පැතිරයාමේ අවදානම දැරීම එය තිබෙන්නට හැර ඉබේ පැතිරී වැඩෙන්නට ඉඩ සලසනවාට වඩා හොඳ යයි පවසන ෂරොව් රෝග සංක‍්‍රමණ (metastasis) ක‍්‍රියාවලිය අවහිර කරන නව ක‍්‍රම බයෝප්සියක දී හෝ සැත්කමක දී සාර්ථකව යොදා ගත හැකි බව පෙන්වා දෙයි.

කෙසේවෙතත්. රෝග සංක‍්‍රමණ (metastasis) ක‍්‍රියාවලිය බෙහෙවින් දුෂ්කර වූවකි.  සාමාන්‍යයෙන් ප‍්‍රධාන පිළිකා නිධානයට ඈතින් ශරීරයේ ද්විතීයක  ස්ථානයකට යාම පිළිකා සෛලවලට ද  ලෙහෙසියෙන් පහසුවෙන් කළ හැක්කක් නොවේ. ඒ සඳහා පිළිකා සෛල කැපීපෙනෙණ ‘වික‍්‍රම ‘ ගණනාවක් කළ යුතු බව වීද්‍යාඥයෝ පෙන්වා දෙති. ප‍්‍රථමයෙන්ම පිළිකා සෛල සිය බෙදීම නතර කොට අවට පටක වෙත රිංගා යාමට හැකිවෙන පරිදි හැඩය වෙනස් කරගැනීමේ හැකියාව අත්පත් කර ගත යුතුය. ඒ අපචාරී සෛල රුධිරවාහිනයකට ඇතුල් වුවහොත් අපේ සංසරණ ප‍්‍රවාහයට හසුවී ගසාගෙන යාම වැලැක්විය නොහැකිය. එහිදී පිළිකා සෛල කායික හානිවලට ලක් විය හැකිය. නො එසේ නම් මුර සංචාරයේ යෙදෙන ප‍්‍රතිශක්තික සෛලවල(immune cells) ප‍්‍රහාරයට ලක්වේ. ‘‘රුධිර ධාරාව යනු දරුණු, දුෂ්ට තැනක්” ඇමරිකාවේ මේරිලන්ඞ්හි ජෝන්ස් හොප්කින්ස් රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුවන කෙනත් පියෙන්ටා පවසයි. ‘‘පිළිකා සෛලයකට රුධිරයේ සංසරණයවෙමින් හෘදය හරහා යාම හරියට අප නයගරා දිය ඇල්ලෙන් ඇදවැටෙනවා වාගෙයි ”.

මෙකී දුෂ්කර ක‍්‍රියා එතැනින් අවසන් නොවේ. එම ආපදාවලින් රැකුණත් අපචාරී සෛලය,  නව ස්ථානයක රුධිර වාහිනී බිත්තියක ඇලී අසල්වැසි පටකයකට දඟලා රිංගා ගත යුතුවේ. සෛලය නැවත වරක් බෙදීම ආරම්භ කළ යුතුවන්නේ එතැන් සිටය. මෙලෙස බලන විට ද්විතීයික පිළිකා සෛල බිහිවීම ම තරමක්  පුදුම සහගතය. ඒ කෙසේවෙතත් ඒ දුෂ්කර ගමනින් එකම එක පිළිකා සෛලයක් පමණක් දිවි ගලවා ගත්තද පිළිකාව පැතිරීම සඳහා ඒ ප‍්‍රමාණවත්ය.

එමේ දැනුවත්වීමත් සමගම පර්යේෂකයෝ නව ක‍්‍රියා මාර්ගයකට යොමුව සිටිති. වර්තමානයේ පර්යේෂකයන්  බොහෝ දෙනෙකුගේ උත්සාහය වී ඇත්තේ ඒ කොල්ලකාර පිළිකා සෛලවල ගමන් මග අහුරා පිළිකා සෛල පැතිර යාමේ ගමන මුලදීම ඒවා කොටු කරගෙන උගුලකට හසු කරගැනීමටය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පිළිකාවට එරෙහි යූද්ධයේ නව පෙරමුණක් ගොඩ තැංවෙමින් පවතී.

නව ත‍්‍රියාමාර්ග අතුරෙන් වඩාත් ප‍්‍රත්‍යක්ෂ එළඹුමක් වනුයේ රෝග සංක‍්‍රමණ ක‍්‍රියාදාමයේ දී පිළිකා සෛලවලට නැතුවම බැරි අණුක ගමන් මග අවහිර කරන ඖෂධ සකසා ගැනීමයි. අනෙකුත් වඩාත් නිර්මාණශීලී එළඹුම් අතර නිදැල්ලේ සැරිසරන පිළිකා සෛල විසින් අතිශය ප‍්‍රියකරනු ලබන රසායනවලින් පිරි උගුල් ඇටවීමද එකකි. මේ රසායනික උපායේ ස්වාභාවය රැඳී පවකින්නේ ඒ ඒ පිළිකා වර්ගය මතයි. නිදසුනක් ගතහොත් පුරස්ථිත හා පියයුරු පිළිකා සෛල, ඇට මිදුලූවල ඇති SDF-1 නම් අණුකයකට ආකර්ෂණය වෙයි. මේ වර්ග දෙකෙහිම පිළිකා බොහෝ විට ඇටසැකිල්ල ඇතුළට පැතිරෙන්නේ එහෙයින් බව පියෙන්ටා පෙන්වා දෙයි. අනෙකුත් පිළිකා වර්ගවලට උගුල් ඇටවීම ඊට වඩා පහසුය.  එහිදී මූලික ටියුමරය ඉවත්කිරීම සඳහා කරනු ලබන සැත්කමේ දී උගුල සිරුර තුළට ඇතුල් කොට වරින්වර ප‍්‍රතිස්ථාපනය කළ යුතුවේ. එහෙත් සිරුර තුළට උගුලක් ඇතුල්කිරීම ආක‍්‍රමණශිලී එළඹුමකි. තවද, වරින් වර සැත්කම්වලට භාජනය කිරීමට නොහැකි තරම් ඇතැම් පිළිකා රෝගීන් දුර්වල විය හැකියි. මේ නිසා වඩාත් මනෝඥ විසඳුමක් වනුයේ සැත්කම්වලින් තොරව චුම්බක හෙවත් කාන්දම් යොදා ගනිමින් පිළිකා සෛලවල ගමනට බාධා කිරීමයි. මේ එළඹුම සම්බන්ධයෙන් පුරෝගාමී වැඩකොටසක් ඉටුකරන්නේ ෂරොව්ගේ කණ්ඩායමයි. මූලික ටියුමරයට සැත්කම් කළ නොහැකි පුද්ගලයන් ඇතුළුව රෝගීන්ගේ දිගුකාලීන භාවිතය සඳහා එවැනි කාන්දම් හෙවත් චුම්බක නිත්‍ය වශයෙන් පැළඳීම සැලකිල්ලට ගත හැකිය. මෙහි මුල් පියවරවන්නේ නැනෝ අංශුවලට පිළිකා-සුවිශේෂී ප‍්‍රතිදේහ අමුණා රුධිරයට එන්නත් කිරීම මගින් රුධිරයේ සංසරණයවන පිළිකා සෛල ඇතොත්  ඒවාට චුම්බක ආකර්ෂණ ශක්තිය ලබා දීමයි. එවිට එම ප‍්‍රතිදේහ පිළිකා සෛල සොයා ගොස් ඒවාට බැඳේ. ඉන්පසු කාන්දමක් සම මතුපිට තබත්ම රුධිරයේ ඇති,  චුම්බක ආකර්ෂණ ශක්තිය ලබාදුන් පිළිකා සෛල එම ස්ථානයට රොක්වෙයි. එම සෛල සම විනිවිද යා හැකි ලේසර් ධාරාවක් මගින් විනාශ කළ හැකිවේ. ද්වීතීයික සෛල සෑදීම මෙමගින් සම්පූර්ණයෙන්ම වැළැක්විය හැකිද යන්න ගැන ෂරොව් සැක සංකා පළකරතත් ‘‘අඩුතරමින් ද්වීතීයික සෛල සෑදීමේ ක‍්‍රියාදාමය මන්දගාමී කිරීමට ඉන් ඉඩ සැලසේ” යයි කියයි.

පිළිකා පැතිර යාම සම්පූර්ණයෙන් වැළැක්වීම මේ එකදු ශිල්ප ක‍්‍රමයකටවත් හැකිවේද යන්න තවමත් සැක සහිතය. එහෙත්, පිළිකා සෛලවල  සංක්‍ර‍මණිය ක‍්‍රියාදාමය මන්දගාමී කරමින් හෝ දුබලකිරීමෙන් මිනිසුන්ගේ ජීවිත වසර කිහිපයකින් හෝ දීර්ඝ කළ හැකිවේ. එහේ කිරීමට හැකි වී ඇත්තේ රෝග සංක‍්‍රමණය වීමේ අබිරහස් සෙමින් සෙමින් හෝ හෙළිකරගැනීමට හැකිවීමයි. ක‍්‍රිස් මාෂල් පවසන අන්දමට ඒවා මගින් ‘‘අනාගත වාසිදායක තත්ත්වයන් ගැන අපට කිසියම් දැක්මක් සපයයි ”.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: