විදු නැන නුවණ – Science Literacy for All

ශාකබුදින්නන් ගෙන් බේරීමට ශාකවලට මස්බුදින්නන්ගේ සහාය

අප්‍ර‍ිකානු සවන්නා තණබිම්වල ඉම්පාලා මුවන්

මස්බුදින සත්ත්වයන්ගේ සංඛ්‍යාව පහත වැටීම මස්බුදින්නන්, ශාකබුදින්නන්, ශාක සහ මිනිසුන් අතර සහසම්බන්ධය කෙරෙහි සැලකිය යුතුබලපෑමක් ඇති කරන බව නව පර්යේෂණ වාර්තාවක් පෙන්නුම් කරයි. අප්‍රිකානු සවානා තැනිතලා තණබිම්වල සත්ව හා ශාක ජීවිතය ගැන මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසිනි.

මාංශ භක්ෂකයන්, ශාක භක්ෂකයන්, ශාක සහ මිනිසා යන සතර කොට්ඨාශය අතර අන්නොන්‍ය වශයෙන් ඇති සබඳතාව ගැන විද්‍යාඥයන් අතර මෑතක් වෙනතුරුම විවිධ අදහස් පළවිය. පුළුල් වශයෙන් ප‍්‍රධාන මත දෙකක් වාදවිවාද වලදී ඉස්මතු වී යැයි ඇතැයි පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙති.

ඉන් පළමුවැන්න ‘හරිත ලොව කල්පිතය’ ලෙස දැක්වෙයි. ඉන් කියැවෙන්නේ මස්බුදින (මාංශභක්ෂක)  සත්ත්වයින් නිසා වක‍්‍ර ආකාරයකට ශාකවලට ප‍්‍රතිලාභ අත්වෙන බවයි. මස්බුදින්නෝ (මාංශභක්ෂකයෝ), වක්‍ර‍අන්දමින් ශාකබුදින(ශාකභක්ෂක) සත්වගහණ පාලනය කරති. ඒ ශාකබුදින්නන් තුළ ‘අවදානම් වළක්වා ගැනීමේ චර්යාවක්’ ඇති කිරීමට මග පෑදීමෙනි. එසේ අවදානම් ආකල්පය ඇති වූවිට ශාක භක්ෂකයන් මාන බලන්නේ තමන් ගොදුරු කරගැනීමට මාන බලන්නන් සැරිසැරීමට මනාපයක් දක්වන ප‍්‍රදේශවලින් ඈත්ව සිටීමටයි.

ඒ අතර ‘ශාකවල ආරක්ෂක කල්පිතය’ වශයෙන් හැඳින්වෙන අනෙක් මතයෙන් කියැවෙන්නේ ශාකබුදින්නන් අධෛර්යමත් කිරීමට තුඩුදෙන ව්‍යුහමය හා රසායනික ආරක්ෂක විධික‍්‍රම  ශාක මගින් පරිණාමීය ලෙස වර්ධනය කරගනු ලබන බවයි. ගසක උල් කටු වර්ධනයවීම එවැනි ප‍්‍රමුඛ ආරක්ෂක ක‍්‍රමයකි.

ආචාර්ය ඇඩම් ෆෝඩ් ඇතුළු බි‍්‍රටිෂ් කොලොම්බියා සරසවියේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ශාකබුදින්නන් අහර ගන්නේ කොයිබදදී ද යන්න ගැන සැලකිය යුතු බලපෑමක් මස් බුදින්නන් විසින් ඇති කෙරේ. ඒ අතර ශාකබුදින්නන් ගන්නේ කෙබඳු අහර ද යන්න ගස්වල ඇති කටු ආදී ආරක්ෂක ක‍්‍රම මගින් තීරණය වෙයි.

මෙම අදහස් දෙක එකිනෙකට වෙනස් තර්ක වශයෙන් කලක් විශ්වාස කරණු ලැබුවත් තවදුරටත් ඒවා එකිනෙකින් වෙන්කොට සැලකිය නොහැකි බව පවසන ආචාර්ය ෆෝඞ් ශාකවල ආරක්ෂක යාන්ත‍්‍රණයත් ගොදුරු සොයා යන සත්වයන්ගේ චර්යාවත් එකිනෙක හා අන්තර් ක‍්‍රියා කරන අන්දම ගැන අවධානය යොමු කිරීම අවශ්‍ය බව පෙන්වාදෙයි.

ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය

global positioning system (GPS)

GPS යනු චන්ද්‍රිකා පාදක කරගනිමින් ගමන් මග දක්වන පද්ධතියකි. GPS රිසීවරයක් යොදාගත් විට පෘථිවිය මතුපිට හෝ ඉහළ  ඕනෑම තැනක් (චන්ද්‍රිකා 24 ක ජාලයක් ඔස්සේ) නිවැරදිව සෙවීමට භාවිත  කළ හැකි මේ පද්ධති වලින් ඇතැම් ඒවා ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පාලනයවේ.‍

මේ ගැන අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂක කණ්ඩායම විසින් තෝරා ගනු ලැබුවේ සමකයට කි.මී 100ක් උතුරින් පිහිටි කෙන්යාවේ සවානා තැනිතලා තණබිම් ප‍්‍රදේශයකි. අධ්‍යයනය සඳහා එහි ඉම්පාලා නම් අපි‍්‍රකානු මුවන් 20 දෙනෙකුට සහ ඔවුන් ගොදුරට ගන්නා අය වශයෙන් දිවියන් 4 දෙනෙකුට, හා කැලෑ බල්ලන් 5 දෙනෙකුට GPS කොලර සවි කරනු ලැබීය. අනතුරුව, පර්යේෂකයෝ නිරීක්ෂණ උපකරණවලින් රැස් කරගත් චර්යා දත්ත අධ්‍යයනයට බඳුන්වන ප‍්‍රදේශයේ අධි විභේජන (high resolution) චන්ද්‍රිකා රූප හා එකතු කළහ.

තමන් ගොදුරු කරගැනීමට මාන බලන සතුන් මගහැර ආහාර සෙවීම සඳහා ඉම්පාලා මුවන් තෝරාගන්නා ප‍්‍රදේශ හඳුනා ගැනීමට චන්ද්‍රිකා රූප ඉවහල් කර ගනු ලැබීය. එමෙන්ම, ඉම්පාලා සතුන්ගෙන් ආරාක්ෂාවීමට ඒ කියන්නේ ආහාරයට ගැනීම වැළැක්වීමට ආකේෂියා ශාකය, සිය අතුපතර වල කටු යොදා ගැනීම කොතෙක් දුරට සාර්ථක ද යන්න ද පරීක්ෂකයෝ සොයා බැලූහ. ඒ අනුව ආකේෂියා ශාකයේ උල්කටු සහිත විශේෂයකින් (Acacia etbacia) කටු ඉවත් කර ඉම්පාලාවන් වඩා කැමැත්තක් දක්වන මද වශයෙන් කටු ඇති විශේෂයකට(A. brevispica) අලූතෙන් කටු එකතු කර ඒවායේ අතුවලින් කොපමණ පත‍්‍ර සංඛ්‍යාවක් ඉම්පාලා සතුන් විසින් කා දමනු ලැබී දැයි පරීක්ෂාකර බලනු ලැබීය. ශාක විශේෂය කුමක් වුවත් කටු සහිත ශාක කෑමෙන් ඉම්පාලාවන් වැළකී සිටි බව මෙහි දී පෙණී ගියේය.

එමෙන්ම, තමන් ගොදුරුකර ගැනීමට මාන බලන මාංශභක්ෂකයන් නිසා ආහාර සොයා යාමෙන් ඉම්පාලා මුවන් වැළැකී සිටින ප‍්‍රදේශවල මද වශයෙන් කටු ඇති විශේෂයේ(A. brevispica) ශාඛ පත‍්‍ර සංඛ්‍යාවෙහි තුන් ගුණයක වැඩිවීමක් පරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. එයින් පැහැදිලි වූයේ තම සතුරන් යම් ප‍්‍රදේශයක ගැවසේ නම් තමන් කැමැති ශාක ඇතත් ශාකබුදින්නන් එම ප‍්‍රදේශ මග හරින බවයි.

මේ පරීක්ෂණවලින් පෙණියන්නේ මස්බුදින සත්ත්වයන්ගේ බලපෑම හෝ ශාක යොදා ගන්නා ආරත්ෂක යාන්ත‍්‍රණය යන සාධක දෙකෙන් එකක් අනෙකට වඩා බලවත් සාධකයක් නොවන බව යයි අචාර්ය ෆෝඞ් අවධානය කරයි.

මාංසභක්ෂකයන්ගේ ගැවසීම ඉම්පාලා සතුන් ආහාර බුදින තැන් කෙරෙහි බලපෑමක් ඇතිකරන අතර ශාකයෙහි ආරක්ෂක යාන්ත‍්‍රණයේ(කටු වල) බලපෑම ශාකබුදින්නන් ගන්නා ආහාරය කෙරෙහි බලපාන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. ‘‘ මාංශභක්ෂකයන්, ඔවුන්ගේ ගොදුරු, ශාක සහ මිනිසුන් අතර සම්බන්ධතාව අපට දැන් වැටහෙන්න පටන් ගත්තා විතරයි” අචාර්ය ෆෝඞ් කියා සිටියි.

මේ අතර මේ වසරේ පළවු තවත් අධ්‍යයනයක ප‍්‍රතිඵලවලින් කියැවුනේ පෘථිවියේ විශාල ප‍්‍රමාණයේ මාංශභක්ෂික සතුන්ගෙන් හතරෙන් තුනකම සත්වගහණය පහත වැටෙමින් පවතින බවයි. සත්වගහණයේ  අඩුවීම පරිසර පද්ධති කෙරෙහි පූලුල් එමෙන්ම දිගු කල් පවත්නා ලෙස බලපෑම් එල්ල කළ හැකියයි ද එහි වැඩිදුරටත් සඳහන්වේ. බි‍්‍රටිෂ් කොලොම්බියා සරසවි අධ්‍යයනයේ ප‍්‍රතිඵල ද ඒ හා ගැලපේ.

BBC News Science & Environment  වාර්තාවක් ඇසුරෙන් සකස් කලෙ සරත් කැල්ලපොත

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: