විදු නැන නුවණ – Science Literacy for All

ජන සමාජ කඩා වැටෙන්නේ ඇයි?

ජරෙඩ් ඩයමන්ඩ්

කලක් ඉතා විභූතිමත්ව පැවැති මායා, යුකටාන්, අනසාසි, අන්ග්කෝර් වට්. මහා සිම්බාබ්වේ වැනි ජනසමාජ සහමුලින්ම නැතිවී ගියේ මන්ද? ඇතැම් පුරාවිද්‍යාඥයන්ට අනුව ඊට හේතුව අතිශයින් උත්සන්න වූ පාරිසරික ගැටළු ඇතිවීමයි. එහෙත් එවැනි කඩා වැටීමකින් තොරව වසර දහස් ගණනාවක් තිස්සේ අඛණඩව පැවැත එන ජනසමාජ අදද වෙති. ජපාන, ජාවා හා ටොන්ගා එවැනි ජනසමාජ වලට උදාහරණයෝය. ඒ අතර සෝමාලියාව, ඉරාකය වැනි රටවල් අසමත් සමාජයන් බවට පත්වෙමින් කඩා වැටෙමින් තිබේ. කෙසේ වෙතත් අද අප මුහුණ දෙන බරපතල ප‍්‍රශ්න වලට විසඳුම් සොයා ගැනීමේදී ඇතැම් ජන සමාජ අඛණඩව පවතින අතර තවත් ඒවා කඩා වැටෙන්නේ මන්ද යන්න නිසිලෙස වටහා ගැනීම වැදගත්වේ.

ජනසමාජ කඩා වැටීම් වලට ඇත්තේ එකම එක හේතුවකැයි සැලකීම අණුවන කමෙකි. එම කඩා වැටීම් බෙහෙවින් සංකීර්ණ හේතු නිසා සිදුවිය හැකිය. එහෙත් ඒ සංකීර්ණතාවයන් තුළ පවා කිසියම් හඳුනාගත හැකි රටාවක්ද දක්නට ලැබෙන බව කරුණු හොඳින් විමසන විට පෙනී යයි. මගේ පර්යේෂණවලදී සමාජයක් කඩා වැටීමට හේතූවන මූලික කරුණු පහක් හඳුනාගැනීමට මට හැකිවිය. කලක් ග‍්‍රීන්ලන්තයේ පැවති නෝර්ස් ජනසමාජය නටපත් වී ගිය ආකාරය ඇසුරෙන් ඒ කරුණු පහ පංච කරුමයන් ලෙස විස්තර කිරීමට මෙහිදී මම අදහස් කරමි. නෝර්ස් සමාජය මුලින්ම බිහි වූයේ ක‍්‍රි.ව. 984දී ග‍්‍රීන්ලන්තයට සංක‍්‍රමණය වී පදිංචි වූ වයිකින්වරුන්ගෙනි. එහෙත් 1450 වන විට අවසාන නොර්ස් ජාතිකයාද මියගොස් මේ නෝර්ස් සමාජය සහමුලින්ම නටපත්ව ගියේය. නෝර්ස් සමාජය පිළිබඳ ලිඛිත වාර්තා තිබෙන බැවින් නොර්ස්වරුන්ගේ ඇවතුම් පැවතුම් ගැන හොඳ දැනුමක් අපට ලබාගත හැකිය.

එකෙකු නෑර සමස්ත නොර්ස් සමාජයම එසේ කාලයාත‍්‍රා කළේ ඇයි? මගේ පර්යේෂණ නිසා සකස් කළ පංචකර්ම රාමුවට අනුව එහිදී ඔවුන්ගේ පළමුවැනි කරුමය වන්නේ අනවධානයෙන් සිය සම්පත් පදනම විනාශ කිරීම නිසා මිනිසුන් විසින් තමන් වසන පරිසරයද විනාශ කරගැනීමයි. නෝර්ස් සමාජයේදී මෙය බහුල වශයෙන් සිදු වූයේ යකඩ තැනීමට අවශ්‍ය දැව අඟුරු ලබා ගැනීමට වනගහණයන් විශාල වශයෙන් විනාශකිරීමත් ඒනිසා ඇතිවූ දැඩි පාංශූ ඛාදනයත් නිසායි. අවසානයෙදී ප‍්‍රමාණවත් තරම් දැව අඟුරු ලබා ගැනීමට නොහැකිවීම නිසා නොර්ස්වරුන්ට යකඩ තනා ගැනීමටද නොහැකිවූ අතර පාංශු ඛාදනයෙක් නිසරුවූ පස නිසා ගොවිතැනින් සැලකිය යුතු අස්වැන්නක් ලබා ගැනීමටද අසීරු විය. දෙවැනි කරුමය දේශ ගුණය වෙනස් වීමයි. පරිසරය වඩා උණුසුම් වීම හෝ වඩා ශීතලවීම යන දෙකම දේශගුණය වෙනස් වීම නිසා ඇති වීය හැකි ඵලයන්ය. එහෙත් නොර්ස් සමාජය සම්බන්ධයෙන් සිදුවූයේ ක‍්‍රි.ව. 1300 ගණන් වල අවසානයේ හා 1400 ගණන් පුරා ග‍්‍රීන්ලන්තයේ දේශගුණය වඩ වඩා ශීතල වීමයි. ඇත්ත වශයෙන්ම ග‍්‍රීන්ලන්තය වැනි තැනෙක දේශගුණය ශීතල වීම යනු තදබල ව්‍යසයනක් නොවේ. මන්ද මේ කියන කාලයේදීම ග‍්‍රීන්ලන්තයේ විසූ එස්කිමෝවරු තද ශීතලට ඔරොත්තූ දිය හැකි අන්දමට තම චර්යාව වෙනස් කරගත්තේය. එහෙත් නෝර්ස්වරුන්ට තද ශීත දේශගුණයට අනුව හැඩ ගැසීමට නොහැකි වූයේ ඇයි?
මගේ ලයිස්තුවේ ඇති තුන් වැනි කරුමය අසල්වැසි මිතුරු ජන සමාජයන් සමග ඇති සම්බන්ධතාවයන් දිගින් දිගටම පවත්වා ගැනීමට ජන සමාජයකට ඇති නොහැකියාවයි. තමන් හා මිතුරුව පැවැති ජනසමාජයක සහයෝගය තවදුරටත් ලබා ගැනීමට නොහැකි වන විට එයද ජන සමාජවල කඩා වැටීමට දායක වේ. ග‍්‍රීන්ලන්තයේ විසූ නෝරස්වරුන් තම මුල් රට වූ නොර්වේ රට සමඟ හොඳින් වෙළහෙළදාම් කරගෙන හිටියත් එක් අතකින් නොර්වේ ආර්ථිකය දුර්වල වීමත් අනික් අතින් තද ශීතල නිසා මිදුනු හිමෙන් මුහුදු ගමනාගමනය අවහිර වීමත් නිසා නොර්වේ මිතුරු සම්බන්ධතාවයේ ඵලප‍්‍රයෝජන තවදුරටත් ලබා ගැනීමට නොර්ස් වරුන්ට නොහැකිවී ගියේය.

ග්‍රීන්ලන්ත නෝර්ස් සමාජයේ නෂ්ටාවශේෂ

සිව්වැනි කරුමය නම් නෝර්ස් සමාජය සිය පසමිතුරු සමාජයන් හා කටයුතු කළ ආකාරයයි. නොර්ස්වරුන්ට පසමිතුරුව කටයුතු කළ ග‍්‍රීන්ලන්ත වැසි ඇස්කිමෝවරු සමග ආරවුල් අනුක‍්‍රමයෙන් ත‍්‍රීව‍්‍රවීම නිසා ඇස්කිමෝවරුන් අතින් නිරන්තරයෙන්ම මැරුම් කෑමට නොර්ස්වරුන්ට සිදුවීය. ඒ හැර ආහාර සඳහා සීල්මතස්‍යන් දඩයම් කිරීමට හැකි දිය මංකඩවල් නොර්ස්වරුන්ට පිවිසීමට නොහැකි ලෙස අහුරා දැමීමටද ඇස්කිමෝවරු කටයුතු කළහ.

මගේ ලයිස්තුවේ ඇති පස්වැනි කර්මය වශයෙන් සැලකිය හැක්කේ තම පාරිසාරික ප‍්‍රශ්න නිසිලෙස අවබෝධ කරගෙන අවශ්‍යකරන විසඳුම් සොයා ගැනීමට අත්‍යවශ්‍ය දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සාධක තක්සේරු කර ගැනීමට නොර්ස්වරු අසමත් වීමයි. ක‍්‍රිස්තියානි ආගම තදින් ඇදහූ නොර්ස්වරු තමන්ට ඔරොත්තු නොදෙන තරමේ විශාල ආයෝජනයක් දැවැන්ත ආසන දෙව්මැදුරු රැසක් තැනීමට වැය කළහ. එමෙන්ම ඇස්කිමෝවරුන් පහත් කොට සැලකීම නිසා කෙමෙන් වැඩිවන තද ශීතකාලගුණයට සාර්ථක ලෙස මුහුණදීමට එස්කිමෝවරුන් යොදාගත් උපාය උපක‍්‍රම වලින් ඉගෙන ගැනීමද නොර්ස්වරු ප‍්‍රතික්ෂේප කළහ.
අනිකුත් එවැනි පැරණි ජන සමාජයන් සම්බන්ධයෙන් ඇතිවූ මෙන්ම වර්තමාන ජන සමාජයන් සම්බන්ධයෙන් ඇතිවිය හැකි කඩා වැටීම් සම්බන්ධයෙන් ඉහත කී සාධක වලට අතිරේකව තවත් නොයෙක් සාධකද තිබිය හැකියි. එහෙත් බොහෝ ජන සමාජ කඩා වැටුනු ආකාරය සැසඳීමේදී දැක ගත හැකි පොදු ලක්ෂණ කිහිපයක්ද වෙයි. ඒ අතරින් එකක් නම් ඉතා උච්ච මට්ටමකට දියුණු වු ජන සමාජ හිටි වනම ඉතා කෙටි කලකදී කඩා වැටීමයි. උදාහරණයක් වශයෙන් ගත් විට ක‍්‍රි.ව. 800දී යුකටෑන් ප‍්‍රදේශයේ මායා ජන සමාජය මුළුමනින්ම කඩා වැටී නැති භංගස්ථාන වී ගියේ මායාවරුන්ගේ ජනගහනය වැඩිම මට්ටමක තිබුණු විශාලතම ස්මාරක ගොඩනැගිලි ඉදකළ අවධිය ඉක්මගොස් වැඩි කලක් ගතවීමටත් පෙරයි. එමෙන්ම සොවියට් දේශයේ කඩා වැටීම සිදුවුණේ එහි විභූතිය ඉතා ඉහළ අවධියකට නැග දශකයක් ගතවීමටත් පෙරයි.

ඊස්ටර් දූපත

දෙවැනි පොදු ලක්ෂණය වහා අවබෝධ නොවෙන පාරිසාරික ප‍්‍රශ්න නිසා ඇතැම් ජනසමාජ අනෙකුත් ජනසමාජයන්ට වඩා වැඩියෙන් අනතුරට ලක්වීමට ඇති ඉඩකඩයි. දහස් ගණනක් ඇති පැසිපික් දූපත් අතරින් ඊස්ටර් දූපතේ පැවැති ජනසමාජය පමණක් මුළුමනින්ම කඩා වැටුනේ කිසිදු අවබෝධයකින් තොරව සියලු ගහ කොල කපා දැමීම නිසා වර්ෂා පතනය අඩුවී ධුවිලි මාරුතයන්ගෙන් වැසී දූපත මුළුමනින්ම නිසරුවී ගිය නිසයි.

පුදුමය නම් මේ විහින් කර ගන්නා විනාශය එකී ජනසමාජ කල් තියා අවබෝධ කර නොගත්තේ මන්ද? යන්නයි. මගේ පර්යේෂණ වලට අනුව ඊට මූලික හේතු දෙකක් තිබෙන බව පෙනීයයි. ඉන් පළමු වැන්න මේ ජන සමාජ වල තීරණ ගැනීමේ නියැලූනු ප‍්‍රභූ පෙළැන්තිය කෙටිකාලීන අරමුණු වෙනුවෙන් කටයුතු කළා මිස තම තීරණ නිසා දීර්ඝ කාලීනව ඇතිවිය හැකි සමාජ ව්‍යසන ගැන කිසි සැලකිල්ලක් නොදැක්වූ බවයි. නෝර්ස් සමාජය ගැන සැලකූවිට එහි විවිධ ගෝත‍්‍රනායකයන් එකිනෙකා පරයා ඉස්මතුවීම පිණිස ඉවක් බවක් නොතකා සම්පත් යොදා ගැනීම මෙහිදී එක් උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි. අනෙකා අභිබවා වැඩියෙන් යකඩ තැනීමට, තම අඳ ගොවියන් ලවා වැඩිවැඩියෙන් බිම්කොටා අස්වැදිදීමට යොදාගත් විදිවිධාන කෙටිකාලීනව සාර්ථක ප‍්‍රථිපල ලබා දුන් නමුත් ඒ නිසා ඇතිවූ දීර්ඝකාලීන පල විපාක නොර්ස්වරුන්ට බෙහෙවින් ව්‍යසනකාරී විය.

අනෙක් කාරණය මේ ජනසමාජ විසින් සමාජ වටිනාකම් යැයි සැලකූ ඇතැම් වත් පිලිවෙත් එක් කලෙකට සුදුසු විය හැකි නමුත් වෙනත් කාලවලට නුසුදුසු වීමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් නොර්ස් ජනසමාජයේ පැවැති තදබල ආගමික කැපවීම නිසා සියවස් හතරක් පුරා එම සමාජය තුළ ඉමහත් ප‍්‍රජාසම්බන්ධතාවයක් ඇතිවූ නමුත් එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අනාගමික එස්කිමෝවරුන්ට ගැරහීම තම සමාජ වටිනාකමක් ලෙස නොර්ස්වරු සැලකූහ. ඒ නිසා වැඩිවන ශීතලට සුදුසු අන්දමින් තම චර්යාව වෙනස්කර ගැනීමට උචිත වූ වැදගත් පාඩම් එස්කිමෝවරුන්ගෙන් ඉගෙන ගැනීමද නෝර්ස්වරු ප‍්‍රතික්ෂේප කළහ. ඒ හා සමාන තවත් උදාහරණයක් නම් බි‍්‍රතාන්‍ය හා තිබූ අනන්‍යතාවය වසර 250ක් තිස්සේ ඔස්ටෙ‍්‍රලියානුවන්ගේ පොදු සමාජ විඥානයට ඉතා වැදගත් වටිනාකමක් වූ නමුත් වර්තමාන ඔස්ටෙ‍්‍රලියානු ජනසමාජයේ බහුවාර්ගික සංයුතියත් සමග අත්‍යවශය ආසියානු අනන්‍යතාවයක් ගොඩනගාගැනීාමේදී තවදුරටත් එම වටිනාකමේම එල්බගෙන සිටීම ඔස්ටෙ‍්‍රලියානුවන්ට තදබල අවාසියකිි.

නුදුරු දශකය හෝ දශක කිහිපය තූළ පිපිරීමට නියමිත නොයෙක් ආකාරයේ මෙවැනි සමාජමය කාලබෝම්බ විවිධ ජනසමාජතුළ වර්තමානයේද ටික්ටික් ගාමින් පවතිනවා. ජලසම්පත්වල වියලීම, පස නිසරුවීම, කාලගුණ විපර්යාසය, ජීව විශේෂ වල විගමනය, වසවිෂ පැතිරීම, ජනගහනය වැඩිවීම වැනි ස්වරූප 12කින් දැනටමත් හඳුනාගෙන ඇති ඒ කාලබෝම්බ කල් ඇතුව ඉවත් කළයුතු ඒවායි. නොඑසේනම් ඉදිරි 50ස්වසර ගතවීමට පෙර ඒ හැම එකක්ම පුපුරා යාමට නියමිතයි. ඒ අතරින් ඇතැම් බොම්බවල පිපුරුම් කාළය ඉතා නුදුරුය. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැවද`ඩු කපා ගැනීමට තම වන ගහණ විනාශකරන වේගය වර්තමාන මට්ටමේම පැවතුනොත් කවත් වසර පහක් ගතවීමට මත්තෙන් තවදුරටත් දැවසපයා ගැනීමට හැකි වනයක් සොයාගැනීමට පිලිපීනයට නොහැකිි විය හැකියි. එමෙන්ම තවත් වසරක්වත් යන්නට පෙර සොලමන් දූපත්වලද දැව කපා ගැනීමට හැකි වනයක් ඉතිරිවිය නොහැකි. මෙහිදී වැදගත් කරුණ වෙන්නේ යටකී කාලබොම්බ වර්ග වලින් එකොලහක්ම ඉවත් කළද දොලොස්වන කාලබොම්බය පමණක් වුවද සමාජයක් කඩා වැටීමට ප‍්‍රමාණවත් වන බවයි.

අවසාන වශයෙන් මේ කාරණයෙදී දෙයාකාරයකට කරුණු කටයුතු සිදුවිය හැකිය. ඉන් එක් ආකාරයක් නම් ඉහතකී සාධක නියම ලෙස අවබෝධකොටගෙන කෙටිකාලීන වාසි නොතකා අනොන්‍යය අවබෝධයකින් යුතුව ලෝක ප‍්‍රජාව ලෙස ඒවාට නිසි විසඳුම් සොයා ක‍්‍රියාත්මක කරන වඩාත් ප‍්‍රසන්න ආකාරයයි. වඩා අප‍්‍රසන්න ආකාරය වන්නේ එකී සාධක නිසා ආක‍්‍රමණකාරී යුද්ධ, කැරලිගැසීම්, සාගත, වසංගත වැනි ව්‍යසන ඇතිවීමෙන් ඇතැම් ජන සමාජ මුළුමනින්ම කඩා ඉහිරීමයි.

මෙහිදී අසුභවාදීවීමට මා අකැමැති මේ සියළුම දෙවල් අපවිසින්ම ඇතිකරන ලද එනිසාම අප විසින්ම විසඳිය හැකි ප‍්‍රශ්න වීම නිසයි. දැනටමත් මේ ප‍්‍රශ්න ගැන සැලකියයුතු විශේෂඥ අවබෝධයක් අපසතුව පවතින අතර ඒවා සම්බන්ධයෙන් නොයෙකුත් ප‍්‍රායොගික විසඳුම්ද ඇති බව අපි දනිමු. ඉන් ඇතැම් විසඳුම් අපට ප‍්‍රජාමට්ටමෙන් කළ හැකි දේවල්. එහෙත් ඇතැම් විසඳුම් ක‍්‍රියාත්මක කිරීමට නම් තම කෙටිකාලීන අරමුණු ගැන පමණක් කල්පනා නොකරන අනාගතය ගැන හිතා අන්අය හා ගෝලීය මට්ටමෙන් එකාවන්ව කටයුතුකළ හැකි දූරදර්ශී නායකත්වයක් හැම රටකින්ම සොයා ගැනීම අත්‍යවශ්‍යයි.

අාචාර්ය ජරෙඩ් ඩයමන් කළ ටෙඩ් කතාවකින් සාර සංග්‍ර‍ කළේ ජයා පත්මපාණි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: