නාස් කුහරයේ සෛල සුෂුම්නාවට බද්ධ කොට දෙපා පණ නැතියවුන් ඇවිද්දවීමේ වෛද්‍ය හාස්කමක්

Posted by

ශරීරයේ අංශයක් පණ නැතුව ඇවිද යාමට නොහැකිව සිටි අයෙකුට යළි දෙපයින් නැගී සිටීමට නාස් කුහරයේ ආඝ‍්‍රාණ බල්බය සහාය කර ගත හැකිදැයි අපට සිතිය හැකිද? අපට නොහැකි වුවත් විද්‍යාඥයන්ට එසේ සිතිය හැකිය. සිතීමට පමණක් නොව එය යථාර්ථයක් බවට පත්කරීමටත්  ඔවුහු නිබඳව වෙහෙසෙති. එම ප‍්‍රයත්නවල ප‍්‍රතිඵලයක් ලෙස ලොව ප‍්‍රථම වරට සිදුකළ එවැනි විශ්මයජනක සැත්කමක් ගැන පෝලන්තයෙන් වාර්ථාවේ.

පිහියා ඇනුමකට ලක්වී කොඳු ඇට පේළිය තුළ ඇති ස්නායු මිටිය හෙවත් සුෂුම්නාව කැපී ගොස් සිරුරේ පපුවෙන් පහළ කොටස පණ තැතිව වසර කිහිපයක් ඇවිදීමට නොහැකිව සිටි අයෙකුටයි සැත්කම සිදුකෙරුණේ. ඩැරෙක් ෆිඩයිකා නැමැති 40 හැවිරිදි පෝලන්ත ජාතිකයා මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූයේ 2010 වසරේදීය. පිට පිට නොනවත්වා කිහිප වතාවක් පිහියා ඇනුමට ලක් වීමෙන් ඔහුගේ කොඳුඇට පේළියට හානි සිදුවිය. එතැන් සිට නොකඩවා දැඩි ලෙස කායික චිකිත්සා ව්‍යායාමවල (physiotherapy) යොදවනු ලැබුවද සුවයක ලකුණුවත් පහළ නොවීය. මේ විස්කම් සැත්කම සිදුකරණු ලැබුවේ ඒ අතරවාරයේය.

 ආඝ‍්‍රාණ බල්බය

නාස් කුහරය තූළ ඇති ආඝ‍්‍රාණ  පථයේ කෙළවර ආඝ‍්‍රාණ බල්බය වශයෙන් දැක්වේ. නාසයේ සංවේදක සෛල ක‍්‍රියාදාමයන්  ආඝ‍්‍රාණ ස්නායුවේ තන්තුවලට  සම්බන්ධවන්නේ එතැනදීය.

මෙහිදී ප‍්‍රතිකාරයට යොදා ගනු ලැබුවේ ගඳ සුවඳ දැනීමේ දී ඉවහල් වන විශේෂිත සෛල වූ වැසුම්ගත ආඝ‍්‍රාණ සෛල හෙවත් OECs ය (Olfactory en-sheathing cells). ආඝ‍්‍රාණ පද්ධතියේ ස්නායු තන්තු නොකඩවා ප‍්‍රකෘතිමත් කිරීමට ඉඩ සලසන අනුක‍්‍රමික සෛල ලෙස ක‍්‍රියාකරන්නේ OECs ය.

අපගේ  ස්නායු පද්ධතියෙන් වැඩිහිටි ජීවිතය පුරාම යළි යළි ලියලන එකම කොටස ගඳ සුවඳ දැනීමට ඉවහල් වන සංකීර්ණ ස්නායුක පරිපථ පද්ධතියයි. අප ආශ්වාස කරන සෑම වාරයකදීම වාතයේ ඇති විවිධ ගඳ සුවඳ ගෙන යන අණු හෙවත් කුජා අංශු නාසයේ ඇති ස්නායු සෛල හා ගැටේ. එවිට ඒවා, මොළයේ පහළට වෙන්නට නාස් කුහරයේ උඩම තැන පිහිටි අපේ ආඝ‍්‍රාණ බල්බ වෙත පණිවුඩ සම්පේ‍්‍රෂණය කරයි. මේ ක‍්‍රියාදාමයේ දී ස්නායු සෛල නිරන්තරයෙන් හානියට පත්වන අතර ඒවා ප‍්‍රකෘතිමත් කළ යුතුවේ. එහිදී සෛල යළි යළි ලියලන පුනර්වර්ධන ක‍්‍රියාවලියට ඉඩ සලසන්නේ  OECs ය. කොඳු ඇට පේළිය තුළ ඇති ස්නායු මිටිය හෙවත් සුෂුම්නාවේ අලූත්වැඩියාවන්  උත්තේජනය කිරීම පිණිස විද්‍යාඥයන් විසින් ප‍්‍රයෝජනයට ගැනීමට තැත් කරනු ලබන්නේ ආඝ‍්‍රාණ සෛල වල ඇති එම හැකියාවය.

ඩැරෙක් ෆිඩයිකාට මෙම ප‍්‍රතීකාර ක‍්‍රමය සිදුකරනු ලැබුවේ පෝලන්තයේ සහ ලන්ඩනයේ වෛද්‍ය කණ්ඩායමක් ඒකාබද්ධවයි. පෝලන්ත වෛද්‍ය කණ්ඩායමේ නායකත්වය ව්රොකලෝ සරසවි රෝහලේ  උපදේශක ස්නායුශල්‍ය වෛද්‍ය පවෙල් ටබකොව් දැරූ අතර එක්සත් රාජධානියේ වෛද්‍ය පිරිස මෙහෙයවනු ලැබුවේ ලන්ඩනයේ ස්නායුවේද ආයතනයේ මහචාර්ය ජෙෆ් රේස්මන් ය.

ප‍්‍රතීකාර ක‍්‍රියාවලිය ආරම්භ වුයේ සැත්කම් දෙකක් සිදුකිරීමෙනි. මේවායේ දී ශල්‍යවෛද්‍යවරු රෝගියාගේ ආඝ‍්‍රාණ බල්බ අතුරෙන් එකක් ඉවත්කොට රෝපණ මාධ්‍යයක් තුළ සෛල වගා කළහ. සති දෙකකට පසු OECs  ආඝ්‍රාණ සෛල  සුෂුම්නාවට බද්ධ කරනු ලැබීය.

මේ පුරෝගාමී ප‍්‍රතීකාර ක‍්‍රමයේ සාර්ථකත්වය කියා පාමින් ඩැරෙක් ෆිඩයිකාට දැන් අත්වැලක අධාරයෙන් රෝහල් භූමියේ ඇවිදීමට හැකියාව අත් වී තිබේ. මිනිසා සඳ මත ඇවිදිමටත් වඩා මෙය චමත්කාරජනකයැයි යයි මහාචාර්ය රේස්මන් කියා සිටී. ප්‍ර‍තිකර්මය නිසා රෝගියාට යම් ප‍්‍රමාණයකට මුත්‍රාශයේ (bladder) හා බඩවැල්වල සංවේදනයක් (bowel) යළි අත්කරගැනීමට හැකිවී තිබේ. සුෂුම්නාවේ පුනර්වර්ධනය සිදු කළ නොහැක්කක් යන්න වසර ගණනාවක් තිස්සේ මුල් බැසගෙන තිබූ මතයක්. එය දැන් යථාර්ථයක් වෙමින් පවතින ආකාරය පුදුමය දනවන සූළුයි. යනුවෙන් උපදේශක ශල්‍යවෛද්‍ය ටබකොව් පවසයි.

කෙසේවෙතත් දැන්ම රෝගීන් තුළ බොරු බලාපොරොත්තු ඇති නොකිරීමට පර්යේෂණයට සම්බන්ධ සියලූ දෙනාම උත්සුකවෙති. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් සුෂුම්නාවේ පුනර්වර්ධනය ඇති කළ හැකි බව ස්ථිරවම දැක්වීමට නම් දිගින් දිගටම සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කර ගත යුතුයැයි ඔවුහු අවධානය කරති.

ඉදිරි වසර කිහිපයක දී පෝලන්තයේ සහ බි‍්‍රතානඥයේ රෝගීන් 10 දෙනෙකුට මේ අනුව ප‍්‍රතිකාර කිරීමට වෛද්‍ය කණ්ඩායම බලාපොරෙත්තුවෙති. එහෙත් එය රඳා පවතින්නේ අරමුදල් ලැබීම මතයි.වර්තමාන පර්යේෂණය සඳහා අරමුදල් සපයනු ලැබ ඇත්තේ Nicholls Spinal Injury Foundation (NSIF) සහ UK Stem Cell Foundation (UKSCF)යන ආයතන දෙක මගිනි.

 

බීබීසී වාර්තාවක් ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.