මිනිසා හීලෑ කළ සතෙක් ද?

Posted by

මිනිස් අප ‘‘මෙල්ල කරන ලද” නැතහොත් “හීලෑ කරන ලද” සත්ව පිරිසක් යයි කීවොත්, එම ප‍්‍රකාශයට බොහෝ දෙනෙකු අප‍්‍රසාදය පළවීමට ඉඩ ඇත. ඇතැමුන් උරණවීමට  ද බැරි නැත. එහෙත් මානව විශේෂයේ (species) පරිණාමය අතින් ගත්තොත්  ‘‘ස්වයං-හීලෑවීම ’’ පරිණාමයේ ප‍්‍රධාන සාධකයකැයි ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති. අප අතර ජීවත්වන සුනඛයන්, ගවයන්, අශ්වයන් වැනි සතුන් බොහොමයක් මෙන්ම අප ද හීලෑ කරන ලද්දන් බවයි ඔවුන් කියා සිටින්නේ. කුඩා වූ හනුව(හක්ක), පැතැලි මුහුණ, පිරිමින්ගේ ආක‍්‍රමණශීලිත්වය අඩුවීම ආදිය සලකන විට සතුන් හීලෑවිමේ දී ඉස්මතුවූ ශාරීරික ගති ලක්ෂණ බොහොමයක් මානවයෝ ද පෙන්නුම් කරති. වඩාත් සංකීර්ණ භාෂාවක් පරිණාමනයවීම, මහා නගරවල එකිනෙකා සමග මහල් නිවාසවල වීසීම, විදග්ධ සංස්කෘතීන් බිහිකිරීම උදෙසා එක්ව ක‍්‍රියාකිරීම යන කාරණාවලදී ශාරීරික ගති ලක්ෂණ හා බැඳුණු චර්යාමය වෙනස්කම් මිනිසුන්ට උපකාර වෙන්නට ඇතැයි එම විද්‍යාඥයෝ පෙන්වා දෙති. අප බොහෝ දෙනාගේ අදහස මිනිසා විසින් සතුන් හීලෑ කරන ලද බවයි. එහෙත් ප‍්‍රශ්නය මිනිසා හීලෑ කරන ලද්දේ කා විසින් ද යන්නයි.

මිනිසා විසින් හීලෑ කරන ලද සතුන් සහ තමන් විසින්ම ස්වයං හීලෑකිරීමට ලක් කරගත් සත්ත්වයන් අතර දක්නට ඇති එකට බැඳුණු චර්යාමය හා ශාරීරික වෙනස්කම් ගොන්නක් ගැන විවිධ පර්යේෂකයෝ  මෑතක කැලිෆෝනියාවේ  සැන්දියාගෝ හි ජීව විද්‍යාත්මක අධ්‍යයන ආයතනයේ පැවති අන්තර් ජාතික සම්මන්ත‍්‍රණයක දී කරුණු දැක්වූහ.

මිනිස් වර්ගයා හෝ තම විශේෂයේම නුහුරු සමාජිකයන් හෝ මුණ ගැසෙන අවස්ථාවන්හී දී තමන්ට දැනෙන බිය හා පීඩාව මගහරවා ගෙත ආක‍්‍රමණශීලිත්වය අඩුකර ගැනීමට පරිණාමය වීමේ දී ඇතැම් සතුන් සමත්ව ඇත. උදාහරණයක් වශයෙන්, ආක‍්‍රමණ ශීලිත්වය ගත්තො පිග්මි චිම්පන්සීන් ලෙස ද හැඳින්වෙන බොනබෝ චිම්පන්සි සිය ඥාතීන්වන සාමාන්‍ය චිම්පන්සීන්ට වඩා ආක‍්‍රමණශීලී බවෙන් බෙහෙවින් අඩුය. සීල් සහ බළලූන් වැනි අනෙකුත් ඇතැම් සත්ව වීශේෂයන්ද මිනිසුන් ආශ‍්‍රයේ ජීවත්වනු වස් තමුන්වම හීලෑකරගන්නට ඇත.

ජීවත්වීම සඳහා එකිනෙකා කෙරෙහි මෙන්ම වඩාත් පුළුල් සමාජ පද්ධති කෙරෙහි විශ්වාසය තබමින් අපේ ඉපැරණි  මුතුන් මිත්තන් එකිනෙකා ආසන්නයේ ජීවත්වීම ආරම්භ කළ අවධියේ ඉහත දැක්වූ තත්ත්වයන්ට සමාන දෙයක් සිදුවන්නට ඇතැයි සම්මන්ත‍්‍රණයට එක්වූ පර්යේෂකයෝ පෙන්වා දෙති. වඩාත් ඉවසනසුලූ, එදිරිවාදීකමින් අඩු පුද්ගලයන් තෝරාබේරා ගැනීමෙන් ස්වාභාවික වරණය අපේ චර්යාව මෙන්ම පෙනුම ද යළි හැඩගස්වා ඇත යන්න ඔවුන්ගේ මතයයි. ‘‘ මානවයන් තමන්වම හීලෑකිරීමට ලක් කළේය (ස්වයංහීලෑකිරීම) යන උපකල්පනය…. මානව පරිණාමයට අදාලව දීර්ඝ කාලයක් තිස්සේ පවතින  ගැටළු ගණනාවක් විසඳා ගැනීමේ හැකියාව මතුකරයි” යනුවෙන් සැන්දියාගෝ හි කැලිෆෝනියා සරසවියේ වාග්විද්‍යාඥ රොබට් ක්ලූඑන්ඩර් පවසයි.

මානවයන් හීලෑකරන ලද වීශේෂයක්ය යන මතය 1871 තරම් ඈතට දිවෙන්නකි: ‘‘ මානවයා සහ බොහෝ කාලයකට ඉහතදී හීලෑවු සතුන් හා සැසඳීමේ දී අංග බොහොමයකින් සමානකම් ඇතිවිය හැකිය ” යි චාල්ස් ඩාවින් පළ කළේය. හීලෑකිරීම සඳහා වරණීය අභිජනනය (selective breeding)  හෙවත් තෝරා බේරා බෝකිරිම මගින් විවිධ සතුන් අතර සමාන අතුරුඵල ඇතිකරවන බව මුලින්ම හෙළිකරගත්තේ ද ඩාවින්මය.

ඩාවින්ගේ කාලයෙන් පසුව, හීලෑකිරීමේ සින්ඩ්‍රෝමය හෙවත් සහලක්ෂණ හඳුනාගනිමින් ඔහුගේ නිරීක්ෂණ අනෙකුත් විද්‍යාඥයන් විසින් තහවුරු කරනු ලැබ ඇතුවාක් මෙන්ම තවදුරටත් පුළුල් ලෙස විග‍්‍රහ කරනු ලැබ ඇත. හීලෑකිරීම සඳහා හිවලූන් බෝකිරීමට අදාලව  1950 ගණන්වල  සිදුකෙරුණු සුප‍්‍රකට රුසියානු අධ්‍යයනයක් ගැන සඳහන් කරමින් සම්මනත‍්‍රණයේ දී අදහස් දැක්වූ වියනා සරසවියේ ටෙකුම්සේ ෆිච් ‘‘ බෝ කිරීම සඳහා නපුරුකමින් අඩු හිවලූන් තෝරා ගැනීමෙන් ඇතිවන අනෙකුත් වෙනස්කම් ගණනාවක් ගැනම රුසියානුවන්ට සොයගත හැකිවිණැ”යි පෙන්වා දෙයි. හිසෙහි සුදු කෙස් කැරැල්ලක්, වකුටුවූ වලිගය, කෙටි හොම්බ සහිත ගැහැණු ගති ඇති ‘කෝමල‘ මුහුණු, වැනෙනසුලූ කන් ආදිය එසේ වෙනසට ලක්වූ හිවලුන්ගේ ගතිලක්ෂණ අතරවිය. එකී වෙනස්කම්වලින්ම  කිහිපයක් මෑතක මානවයන්ගේ පරිණාමය තුළ හඳුනාගැනීමට අයෝවා සරසවියේ රොබට් ප‍්‍රැන්සිස්කස් ඇතුලූ කණ්ඩායම සමත්ව සිටිති. පසුගිය අපේ මුතුන් මිත්තන් සංකේතාත්මක චර්යා රටා ප‍්‍රදර්ශනය කිරීමට එමෙන්ම ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගනිද්දී වසර 80,000 තුළ නළල් තලය පටුවී, මුහුණ කොට වී (උල් ස්වාභාවය අඩුව) ඇති බව ඔවුහු සොයාගත්හ. විශෙෂයෙන්ම, මෙයට වසර 10,000කට පමණ පෙර කෘෂිකර්මාන්තය ඇතිවීමත් සමගම කපාල(හිස්කබලේ) පරිමාව ද හීන විය.

මෙම ගතිලක්ෂණ පාලනය වන්නේ ගර්භාවස්ථාවේ(කලලයේ) වර්ධනය වන ස්නායු මාර්ග ශිඛා    (neural crest) නම් වූ සෛලවලින් බව ටෙකුම්සේ ෆිච් සහ පර්යේෂක කණ්ඩායමක්  කියා සිටිති. වර්ධනය තවදුරටත් සිදුවෙද්දී, ස්නායු මාර්ග ශිඛා සෛල කැඩීවෙන්වී ගොස් හිසෙහි සිට පා ඇඟිල්ල දක්වා සංක‍්‍රමණය වන්නේ වර්ණනය (pigmentation) මාංශ පේශි, අස්ථි(ඇට), කාටිලේජය සහ ආයාස හෝමෝන මෙන්ම ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය (පුරුෂ හෝමෝනය)  නිපදවන  අධිවෘක්ක ග‍්‍රන්ථිවලට සම්බන්ධ පටක සෑදිමටයි. එහෙත් හීලෑකරණයට ලක්වූ සතුන්ගේ මෙම ක‍්‍රියාදාමය සිදුවන්නේ සෙමින් බව පර්යේෂකයෝ පෙන්වා දෙති. හීලෑකරණයට ලක්වූ සතුන් බොහොමයක්  “neoteny”: හෙවත් චිරශීශුකතාව (වැඩුණු සතුන් තුළ ළමා අවදියේ ගතිගුණ පැවතීම) පෙන්නුම් කරන්නේ ඇයිද යන්නද ඉන් පැහැදිලි කෙරේ. එලෙස, වැඩුණු සුනඛයන් වෘක පෝතකයන් ලෙස ද, මානවයන් වැඩිහිටි චම්පන්සින්ට වඩා චිම්පන්සි ළදරුවන් ලෙස ද පෙනෙන බව සම්මනත‍්‍රණයේ දී පැහැදිලිකෙරිණ,

වර්ධනය පමාවීම, හීලෑකරණය හා හැසිරීම් රටාවනට සම්බන්ධ වැදගත් විපාකවලට මග පාදයි. එලෙස මානවයන්ගේ වර්ධනය පමාවීමේ සහ ආක‍්‍රමණශීලිත්වය අඩුකිරීමේ ක‍්‍රියාදාමයන් ස්වාභාවික වරණය මගින් මුදාහැරන බව පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයෙකුවන හාවඞ් සරසවියේ රිචඞ් ව්රැන්ග්හැම් කියා සිටියි. බිරියන් සොරකම් කරන්නන් හෝ අන් අය ඝාතනය කරන්නන්ට, දඩයමින් හා වනපලවැල් රැස් කිරීමෙන් ජීවත්වූ ප‍්‍රජා සාමාජිකයන් විසින් මරණ දඬුවම දී ඇති බව මානව විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. දැඩි ලෙස ගැටුම්කාරී චර්යාවෙන් යුත් පිරිමි සාමාජිකයන් ඉවත්කර දැමීම ඒ ආදී මානවයන්ගේ අරමුණ වෙන්නට ඇතැයි විද්‍යාඥයෝ සිතති. එහෙත්, මානවයන් යුද්ධ කිරීමට, සෙස්සන්ට වද හිංසා පමුණුවීමට සහජ හැකියා ඇති ‘දුෂ්ට විශේෂයක්’ නොවන බවක් මෙයින් අදහස් නොකෙරෙන බව පවසන ව්රැන්ග්හැම් ‘‘ඉන් දැක්වෙන්නේ ස්වාභාවික වරණයේ අනුග‍්‍රහය දැක්වුණේ  සෙස්සන් සමග එක්ව නටයුතු කළ හැකි පිරිමින්ට බවය”යි පෙන්වා දෙයි.

Science සඟරාව ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපොත

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.