ඈත අතීතයේ සිටම දින වකවානු දැන මැන ගැනීමට මිනිසා ආකාශ වස්තුවල චලනය, විශේෂයෙන්ම සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ ගමන යොදා ගත් බව නොරහසකි. දින, මාස, අවුරුදු පමණක් නොව විවිධ ඍතු ගැන වුණත් ඔවුන් දැනගත්තේ එලෙසිනි. පැරැන්නන්ගේ ඒ දැනුම තහවුරු කෙරෙන තවත් සොයා ගැනීමක් ගැන ස්කොට්ලන්තයේ, ඇබර්ඩීන්ෂයර් වලින් වාර්තාවේ. කේ‍්‍රත්ස් කාසල් හි (Crathes Castle) කෙත්බිමක් කැනීමේ දී හමුවී ඇති චාපයක ආකාරයට පිහිටි වළවල් චන්ද්‍ර කලා අනුකරණය කරන බවක් පෙණී යන්නේ යයි බර්මින්හැම් සරසවියේ මෙහෙයීමෙන් පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පිරිස පවසති. මේ වලවල් පිහිටි චාපය තිබෙන්නේ ශිශිර සූර්යනිවෘත්තියේදී (Winter Solstice) ක්ෂිතිජයෙන් හිරු නැග එන අන්දම මැනවින් නැරඹිය හැකි නිම්නයකට මුහුණ ලාය. වොරන් ෆීල්ඞ් නම් ස්ථානයේ පිහිටි මේ වළවල් 12 චන්ද්‍ර මාස නිරීක්ෂණයට යොදා ගන්නට ඇතැයි ද ඒ අනුව මෙය ලොව පැරණිතම දින දර්ශනය වන බව ද එම පුරාවිද්‍යාඥයන් පිරිස කියා සිටිති.
ශිශිර සෘතුව එළඹෙත්ම, දිනය පුරාවට හිරුගේ උපරිම උන්නතාංශය වන, මධ්‍යාහ්නයෙහි උන්නතාංශය, අඩු වෙයි. මෙම උපරිම උන්නතාංශයෙහි අවම අගය එළඹෙන්නේ ශිශිර සූර්ය නිවෘත්තියෙහි වන අතර ඉන් ඉක්බිතිව එය ඉහළ නැගීම ඇරඹෙයි. දක්ෂිණ අර්ධගෝලයෙහිදී ගිම්හාන සූර්ය නිවෘත්තිය ලෙස හැඳින්වෙන එය, උත්තර අර්ධගෝලයෙහිදී ශිශිර සූර්ය නිවෘත්තිය (Winter Solstice) ලෙස හැඳින්වෙයි.
ප‍්‍රථම වරට මේවා නිරීක්ෂණය කරනු ලැබුවේ ස්කොට්ලන්තයේ පුරාණ සහ ඓතිහාසික සිහිවටන පිළිබඳ රාජකීය කොමිසම මගිනි. අහසේ සිට ඒවා දැක ඇත්තේ කෙත් බිමක පිහිටි අසාමාන්‍ය බෝග සළකුණු ලෙසය. අපි අවුරුදු 40 ක් තිස්සේ අහසේ සිට ස්කොට්ලන්තයේ ඓතිහාසික ස්ථාන ඡායාරූප ගතකරනවා. බිම සිට කිසිදිනක සොයා ගැනීමට නොහැකි පුරාවිද්‍යාත්මක ස්ථාන දහස් ගණනක් අහසේ සිට බලා සොයාගත්තා. ඒවා අතුරෙන් වොරන් ෆීල්ඞ් බිම සුවිශේෂී වෙනවා. ඒ මොකද බාගදා අපි මේ හොයා ගත්තේ කාලය බිහිවූ තැන විය හැකි නිසායැ‘යි කොමිසමේ ගුවන් නිරීක්ෂණ ව්‍යාපෘති කළමනාකරු ඬේව් කව්ලි පවසයි.
ක‍්‍රි.ව. 2004 කැනීම් ආරම්භ කළ මේ පුරාවිද්‍යා බිමෙහි සොයා ගැනීම් ගැන විශ්ලේෂණ කටයුතු මෙහෙයවන්නේ බර්මින්හැම් සරසවියේ මහචාර්ය වින්ස් ගැෆ්නි ය. දඩයමින් හා අහර රැස් කිරීමෙන් ජීවත්වූ ආදී මානවයන් මෙයට වසර 10,000 කට පෙර වොරන් ෆීල්ඞ් හී වළවල් නිර්මාණය කරන්නට ඇතැයි හෙතෙම පවසයි. ක‍්‍රමිකව කාලය මැනීමේ පැරණිතම ස්මාරක වශයෙන් මෙතෙක් සැළකුණු මිසපොටේමියාවේ ස්මාරකවලට වඩා මෙම මෙසෝලිතික හෙවත් මධ්‍යම ශිලා යුගයට අයත් කැලැන්ඩරය වසර දහස් ගණනක් පැරණිය. වසරින් වසර කාලය ගෙවීයාම නිරික්ෂණය පිණිස අවැසි උවමනාව මෙන්ම දැනුම දඩයමින් හා අහර රැස් කිරීමෙන් ජීවත්වූ ස්කොට්ලන්ත ප‍්‍රජාවන්ට තිබී ඇති බව සාක්ෂිවලින් පෙණී යන්නේය යි ගැෆ්නි කියයි. වළවල් පෙළෙ හි ගැලපීම අනුව කාලය ගෙවීයාම මෙන්ම ඍතු වෙනස්වීම ගැන ඒ කාලයේ ජීවත්වූ ප‍්‍රජාවන්ට අවබෝධයක් ලබාගන්නටඅවකාශ ලැබෙන්නට ඇත.
මෙවැනි නිර්මිතයන් පිළිබඳ පැරණිතම නිදසුන මෙය වන අතර වොරන් ෆීල්ඩ් නිර්මිතයන්ට සමාන ඉඳිකරීම් ඊට තවත් වසර දහස් ගණනක් යනතුරු බ්‍රිතාන්‍යයෙන් හෝ යුරෝපයෙන් වාර්තා වී නොමැත.
මෙයට වසර 10,000කට පමණ පෙර සිටි ජනතාවගේ සංස්කෘතිමය ජීවිතය ගැන මන බඳින දැකුම් මාත‍්‍රයක් අපගේ කැනීම්වලින් හෙළි කර දී ඇතැයි පවසන පුරාවිද්‍යාඥ ෂැනොන් ෆ්රෙසර් කාලය හා ආකාශ වස්තු සමග පැවති එම ජනතාවගේ සම්බන්ධතාව ගැන දැනුම නව සොයාගැනීමෙන් තවත් පොහොසත් වේ යයි කියා සිටී.
Science ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපොත