විදු නැන නුවණ – Science Literacy for All

විසිපස් වසරකින් පසු ඇතිවූ විශාලතම සූර්ය විදාරණය

ඹක් 26 දින AR 12192 හිරු ලපයෙන් නිකුත් වූ විදාරණය – නාසා ඡායාරෑූපයක්

මේ ඔක්තොබර් 26 දින ඇතිවූ දැවැන්තම සූර්ය විදාරණය AR 12192 නමැති අති විශාල සූර්ය ලපයෙන් මේ මස 19වන දින සිට ඇති වූ හයවැනි සූර්ය විදාරණයයි. පොලොවේ විෂ්කම්භය මෙන් දස ගුණයකින් යුත් මේ සුර්ය ලපය පළලින් කිලෝමීටර් 129,000කි. එය 1990 පසු සූර්යයා මත ඇති වූ විශාලතම සූර්ය ලපයද වෙයි. ඉතින් ඒසා සුවිසල් සූර්ය ලපයකින් නිකුත්වන සූර්ය විදාරණ වලින් අපට හානියක් වේද?

මෙවැනි දැඩි සූර්ය දේශගුණ වෙනස් වීම් වලින් පොළෝවාසින් ආරක්ෂා කර ගැනීම අපේ වායුගෝලයේ එක් රාජකාරියකි. එහෙත් සුවිශාල සූර්ය විදාරණ වලින් GPS සහ රේඩියෝ තරංග ඔස්සේ කෙරෙන සංනිවේදන කටයුතු වලට බාධා සිදුවිය හැක. පසුගිය 26දා අත්ලන්තික් සාගරය පුරාත් දකුණු අමෙරිකාවේ සහ බටහිර අප්‍රිකාවේත් අධි-සංඛ්‍යාත රේඩියෝ තරංග සංනිවේදනය පැයකට කිට්ටු කාලයක් ඇන හිටියේ මේ සූර්ය ලපයෙන් නිකුත් වූ  දැවැන්ත විදාරණය නිසාය.

නාසා ආයතනයේ අජටාකාශ භෞතික විද්‍යාඥ ලිකා ගුහාර්ථකුර්තා පෙන්වා දෙන අන්දමට කාල වකවානු අනුව බැලූවිට මෙවැනි දැවැන්ත සූර්ය විදාරණ ඇතිවීම විමතියට කරුණක් නොවේ. මන්ද හැම අවුරුදු 11කට වරක් සූර්ය ලප ඇතිවීමත් සූර්ය විදාරණ ඇතිවීමත් බහුල වන බැවිනි.  “අපි දැන් ඒ 11ස් අවුරුදු චක්‍රයේ උපරිමය පසු කළා විතරයි. විශාලතම හිරුලප සහ දැවැන්ත සූර්ය විදාරණ ඇතිවීමත් සමග තමයි මේ චක්‍රයේ උපරිම ක්‍රියාකාරිත්වය නිමාවට පත් වෙන්නේ” යනුවෙන් ලිකා ගුහාර්ථකුර්තා පවසයි.

මෙකී සූර්ය ලපයේ තවත් විශේෂයක් වන්නේ අන් සුර්ය ලප මෙන් ශීර්ෂමාලා සමස්ත විදාරණය (coronal mass ejection) යනුවෙන් හඳුන්වන සූර්ය ද්‍ර‍ව්‍ය ටොන් බිලියන ගණන්  නිකුත් වන ආකාරයේ විදාරණ සිදු නොවීමයි. එවැනි ශීර්ෂමාලා සමස්ත  විදාරණ වලදී සාමාන්‍යයෙන් නිකුත්වන අධිවේගී අංශු පෘථිවි වායුගෝලයත් සමග අනත්ර්ක්‍රියා කිරීමෙන් පෘථිවියේ ධ්‍රැව ආසන්න ප්‍රදේශ වල ඇතිවන ඌෂාලෝකය (aurora) නමැති විසිතුරු දර්ශනය දැකගත හැකිය.

උත්තරධ්‍රැව කලාපයේ ඌෂාලෝකය (Aurora Borealis)

සාමාන්‍යයෙන් හිරුලප වලින් 90%කින්ම ශීර්ෂමාලා සමස්ත විදාරණ ඇති වෙන බව පවසන ලිකා ගුහාර්ථකුර්තා, මෙකී හිරුලපයෙන් එවැන්නක් සිදු නොවන බැවින් එවැනි අවස්ථාවලදී සාමාන්‍යයෙන් ඇතිවන ඌෂාලෝකය හා දැවැන්ත චුම්බක මාරුත මෙහිදී දැකගන්නට නොලැබුනු බව කියයි.

ශීර්ෂමාලා සමස්ත විදාරණයකින් තොරව හුදෙක් සූර්ය ගිනිජාලා පමණක් හිරු ලපයකින් පිටවීම මෙන්ම ගිනිජාලා වලින් තොරව සූර්ය ද්‍ර‍ව්‍ය ටොන් ගණනින් නිකුත් කරන ශීර්ෂමාලා සමස්ත විදාරණ ද ඇතිවිය හැකි බව  බ්‍රිතාන්‍යයේ රෙඩින් සරසවියේ කාලගුණ විද්‍යාව උගන්වන මැතිව් ඕවන්ස් පවසයි.

AR12992 යනුවෙන් නම් කළ ඇති මේ දැවැන්ත සූර්ය ලපය නිරීක්ෂණය කිරීම සඳහා නාසා ආයතනය මේරිලන්ඩ්හි ගොඩාඩ් අභ්‍යවකාශයානා මධ්‍යස්තානයෙන් පාලනය වන  STERO (Solar Terrestrial  Relations Observatory) නම් නව අභ්‍යවකාශයානාවක් යොදා තිබේ.  සූර්යා සමග කරකැවෙමින් පෘථිවියේ දර්ශන පථයෙන් ඉකුතවී යන තෙක්ම මේ සූර්ය ලපය මැනවින් නිරීක්ෂණය කිරීමට එනිසා විද්‍යාඥයන්ට හැකිවී තිබේ.

“අපි ඔක්කොම කට ඇරගත්ත ගමන්මයි මේ සූර්ය ලපය දිහා බලා ඉන්නේ” යනුවෙන් ලිකා ගුහාර්ථකුර්තා පවසයි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: