විදු නැන නුවණ – Science Literacy for All

වැඩියෙන් වැස්සට ගෝලීය උණුසුම වැඩිවීම නතර වෙන්නේ නැහැ

සැලකිය යුතු හිමපතනයක් ඇති වූ විට හෝ නියඟය අවසන් කොට ධාරානිපාත වැසි වසින්නට පටන්ගත් විට දැන්නම් ගොලීය උණුසුම වැඩිවීමේ තර්ජනය අඩුවෙන බව පෙනේ යැයි යමෙකු පැවසුවොත් එය සත්‍යයකැයි පිළිගැනීමට ඔබ ඉක්මන් විය යුතු නොවේ. වරින්වර සීතල හෝ වැහිබර කාලගුණයක් ඇතිවීමෙන් ගෝලීය උණුසුම අඩුවෙන බවක් නොහැ‍ඟේ. කාලගුණය යනු දේශගුණය නොවේ. කාලගුණයෙන් එදිනෙදා වෙනස්කම් කියැවෙන අතර දේශගුණය වෙනස්වීම යනු දීර්ඝකාලීනව බලපාන විපර්යාසයකි. දේශගුණ විපර්යාසයට තුඩුදෙන ගෝලීය උණුසුම ඇත්තටම වැඩිවෙමින් පවතින්නේද යන්න දැනගැනීමට භාවිතා කරන දර්ශක කිහිපයක් මේ රූපසටහනෙන් දැක්වේ. එහි සුදුපාට ඊතල වලින් ඉහළ යන ප්‍ර‍ාණයද කලුපාට ඊතල වලින් පහළයන ප්‍ර‍මාණයන්ද දක්වා ඇත. මේ දර්ශකක සඳහා අගය ලබා ගැනීමට මැනිය යුතු සියලු දත්තයන් දශක කිහිපයක කාලපරාසයක් නියෝජනය කළ යුතුය. චන්ද්‍රිකා තාක්ෂණය යොදා  පොළොව හා සාගරමතුපිටත් වායුගෝලයේත් මෙතෙක් එකතුකර ඇති එකී අගයන්ට අනුව ගෝලීය උණුසුම එන්න එන්නම වැඩිවන බව මිස අඩුවන බවක් නොපෙනේ. නාසා ආයතනය කළ සමීක්ෂණයකට අනුව 1880 සිට මේ වන විට පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 0.8කින් ඉහළ ගොස් ඇති අතර ඉන් ⅔ ක්ම ඉහළගොස් ඇත්තේ 1975න් පසුවය.

සීතල හා උණුසුම් කාල වලදී සෙල්සියස් අංශක ගණනකින් කාලගුණය වෙනස් වෙන එකේ  සෙල්සියස් 0.8ක් තරම් සොච්චමකින් පෘථීවියේ සාමාන්‍ය උෂ්ණත්වය වෙනස් වුනාම මොකෝ? යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් කාළගුණයට අනුව තැනින් තැන ඇතිවෙන වෙනස් කම් වගේ නොවෙයි සමස්ත පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය එක සෙල්සියස් අංශකයකින් හරි වෙනස් වුණොත් ඒ නිසා ඇතිවන බලපෑම ඉතා විශාලයි. මධ්‍යකාලීන යුගයේ පැමිනි පුංචි අයිස් යුගය ඇතිවීමට අවශ්‍ය වුණේ පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය අංශක දෙකකින් විතර අඩුවීමයි. මීට අවුරුදු 20,000 කට පෙර උතුරු අමෙරිකාව යෝධ අයිස් තට්ටුවකින් වැසීයාමට අවශ්‍ය වුණේ පෘථිවියේ සාමාන්‍ය උණුසුම සෙල්සියස් අංශක පහකින් අඩුවීමයි.

නාසා ආයතනය රැස්කළ දත්ත වලට අනුව පහුගිය දශකය තුළ සාගර උෂ්ණත්වය වැඩිවීම හා සසඳන විට අමෙරිකානු එක්සත් ජනපදයේ ගොඩබිම උෂ්ණත්වය 50%කින් ඉහළ ගොස් තිබෙනවා. යුරෝසියාවේ ඒ වැඩිවීම දෙගුණයේ සිට තුන් ගුණය දක්වා වෙනස් වෙනවා. ආක්ටික් සහ ඇනටාක්ටික් අර්ධදවීප වළ  ඒ වැඩිවීමේ ප්‍ර‍ාණය තුනගුණයේ සිට හතරගුණය දක්වා ඉහළ ගිහින් තියෙනවා.  සාගර මතුපිට උණුසම වැඩියෙන්ම වැඩිවී තිබෙන්නේ ආක්ටික් සාගරයේ. ඊළඟට වැඩිවී තියෙන්නේ ඉන්දියානු සාගරයේ සහ බටහිර පැසිෆික් සාගරයේ, තුන්වෙනි වැඩිවීම අත්ලන්තික් සාගරයේ.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ  ඛනිජ ඉන්ධන භාවිතය හැම අවුරුද්දක්පාසාම 5% බැගින් ඉහළ ගියා. ඒ නිසා වායුගෝලයට එක්වූ හරිතාගාර වායුප්‍රමාණය එන්න එන්නම වැඩි වුනා මිසක් අඩු වුණේ නැහැ. ගෝලීය උණුසුම මේ අන්දමින වැඩිවීමට මූලික හේතුව ඛනිජ ඉන්ධන දැවීමෙන් ඇතිවන කාබන් ඩයොක්සයිඩ් වායුවයි.

මිනිස් ක්‍රියාකාර කම් නිසා ඇති වෙන ප්‍රධාන හරිතාගාර වායුව ලෙස සැලකෙන කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එක්වීම අවමකිරීමේ ජාත්‍යන්තර එකඟතාවයක් ඇති කිරීමට වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයෝ වෙහෙසෙති. දැනටමත් ප්‍රමාද වැඩි නමුත් ලබන වසරේ පැවැත්වීමට නියමිත දේශගුණය වෙනස්වීමේ ජාත්‍යන්තර සමුලුවේදීවත් ඒ එකඟතාවය ඇති කරගත නොහැකි වුවහොත් දේශගුණවිපර්යාස තවතවත් ත්‍රිව්‍ර විමෙන් සිදුවන හානිය වැලැක්විය නොහාකි බව විද්‍යාඥයන්ගේ මතයයි.  මෑතදී සිදුවූ විනාශකාරී නායයාම් ගැන ලතවන අතරම අනාගතයේ ඇතිවිය හැකි බරපතල ව්‍යසන වැලැක්වීමට  වායුගෝලයට නිකුත්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුකිරීමට අපේ අන්තර්ජාතික දායකත්වය දියයුතු නොවේද?

අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරීම හෙවත් විප්‍රෙෂණය සඳහා දිය හැකි කදිම උදාහරණය ගල් අඟුරු පුලුස්සමින් විදුලිය නිපදවන තාප බලාගාරයි. මේතාප බලාගාර සඳහා භාවිත කෙරන ඇන්ත්‍රසයිට් (Anthracite) නමැති අධික කාබන් සංයුතියකින් යුත් තද කළු ගල් අඟුරු වල අඩංගු කාබන් ප්‍රමාණය 92% කි. දුඹුරු පැහැති ගල් අගුරුවල එම ප්‍රමාණය 70% කි. ඇතැම් තාප බලාගාර පැයකට ගල් අඟුරුටොන් 500කට අධික ප්‍රමාණයක් දවා ලයි. ගල් අඟුරු පුලුස්සා ජලය වාෂ්පකිරීමෙන් නිපදවෙන ශක්තියෙන් ධාවනයවන ටර්බයින මගින් විදුලිය නිපදවීම ඇත්ත වශයෙන්ම 19වන සියවසේ තාක්ෂණයකි. ඒ නිසා මේ තාප බලාගාර අතිශයින් අකාර්යක්ෂමය. හේතුව ඒවායේ දැවෙන ගල් අඟුරු වලින් නිපදවෙන ශක්තියෙන් තුනෙන් දෙකක්ම අපතේ යැවන බැවිනි.

19වන සිය වසේ තාක්ෂණය – ගල් අඟුරු දවන නොරොච්චෝලේ තාප බලාගාරය

මේ නිසා නොරොච්චෝලේ වැනි ගල් අඟුරු දවන තාප බලාගාර තව තව හදනවා වෙනුවට විකල්ප බලශක්ති යොදා විදුලිය නිපදවීම ජාතික ප්‍රතිපත්තිය කරගත යුතුනොවේද?  සාම්පූර්හි තවත් ගල් අඟුරු දවන තාප බලාගාරයක් හදනවාට වඩා වායුගෝලයට එක්කරන කාබන් ඩයොක්සයිඩ් අවමකරගත හැකි න්‍යෂ්ටික තාප බලාගාරයකට ආයෝජනය කිරීම උචිත නොවේද? ඒ ගැන ඔබ හිතන්නේ කුමක්ද?

 වායුගෝලයේ වැඩිම කලක් රඳා සිටින වායු අතරින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රධාන තැනක් ගනී. උදාහරණයක් වශයෙන් ගත්තොත් මිනිසුන් විසින් පසුගිය සියවසර පුරා දවනු ලැබූ ෆොසිල පාදක ඛණිජ ඉන්ධන වලින් නිකුත් වූ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් 56% ක් තවමත් වායුගෝලයේ රඳා පවතින්නේය. ඇත්තවශයෙන්ම ඍජුව හෝ වක්‍රව ගෝලීය උණුසුමට 80%ක්ම හේතුවන්නේ මෙසේ සෑහෙන කලක් තිස්සේ වායුගෝලයේ රඳා පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයයි.

වායුගෝලයේ රඳා සිටින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසැකව දැන ගැනීමට හැකිවීම සමස්ත මානව වර්ගයා සඳහා අවශ්‍යය කාබන් අය-වැය(carbon budget) ගණනය කිරීමට අපට මහත්සේ උපකාරීවේ. මේ ගනන් බැලීමේදී අප භාවිත කරන ඒකකය ගිගාටොන්(gigatonne) නමින් හැඳින්වෙයි. ගිගාටොන්(gigatonne) එකක් යනු ටොන් බිලියනයකි.   අප අවට ලෝකය ව්‍යසනික මට්ටම කරා ලඟාවීමට පෙර කොතරම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට එක්කිරීමට අපට ඉඩ ලැබේදැයි කාබන් අය-වැය ගණනයේදී අපට දැන ගැනීමට හැකිය. ඒ අනුව ලෝකය ව්‍යසනික මට්ටමට ලඟාවන්නේ වායුගෝලීය කොටස් මිලියනයක ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කොටස් 450 සිට 550 දක්වා වූවිටයි.

වර්ෂ 1880දී එනම් යුරෝපීය කාර්මික විප්ලවයේ මුල්අවධියේදී වායුගෝලීය කොටස් මිලියනයක ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කොටස් 280ක් විය. මේ ප්‍රමාණය වායුගෝලයේ ඇති කාබන් බර වශයෙන් ගතහොත් ගිගාටොන් 586කි. (කාබන් බර වශයෙන් මෙහිදී ගණන් ගැනෙන්නේ එක් කාබන් ඩයොක්සයිඩ් අණුවක ඇති කාබන් පමණි. සම්පූර්ණ කාබන් ඩයොක්සයිඩ් අණුවක බර වශයෙන් ගණනය කල විට මේ ප්‍රමාණය මෙයට වඩා 3.7 ගුණයකින් වැඩිවිය යුතුය.) මේවන විට වායුගෝලීය කොටස් මිලියනයක ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කොටස් 380ක් වී ඇති අතර එයට අනුගාමීව වාතයේ ඇති කාබන් බර දැන් ගිගාටොන් 790කි.

අප වසන ලෝකය ව්‍යසනික මට්ටමට ලඟා වීමට පෙර වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ස්ථායී කර ගැනීමට ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය නම් අනාගතයේ අපේ සම්පූර්ණ කාබන් ඩයොක්සයිඩ් නිශ්පාදනය ගිගාටොන් 600 නොඉක්මවීමට අප වග බලා යුතුය.  මේ ප්‍රමාණයෙන්ද අඩක් වායුගෝලයේ කාලාන්තරයක් සංසරණයවෙමින් පවතින බැවින් ඒ නිසා වසර 2100 වනවිට වායුගෝලයේ කාබන් ප්‍රමාණය ගිගා‍ටොන් 1100 ක්වෙනු ඇත. වායුගෝලීය කොටස් මිලියනයක ඇති සංයුතිය වශයෙන් ගත්තොත් මෙය කාබන් ඩයොක්සයිඩ් කොටස් 550කි.  එනම් ව්‍යසනික මට්ටමට ඔන්න මෙන්න වාගේය.

මේ මට්ටමින් වුවද අපේ කාබන් අය-වැය පාලනය කර ගැනීම ලෙහෙසි පහසු කට යුත්තක් නොවේ. පළමු‍වෙන් අප විසින් වායුගෝලයට නිකුත් කරනු ලබන කාබන් ප්‍රමාණය මීලඟ සිය වසර පුරා වසරකට ගිගාටොන් 6 කට නො වැඩි මට්ටමක තබා ගත යුතුය.  එහෙත් හුදෙක් 90 දශකය තුල වායුගෝලයට අප නිකුත්කල කාබන් ප්‍රමාණය වසරකට ගිගාටොන් 13.3 ක් වූකල ඉහත කී මට්ටමට එම ප්‍රමාණය පහල දැමීමට නම් කෙතරම් කැපකිරීමක් හා අධිෂ්ඨානයක් අවශ්‍යයවේදැයි අපට හිතාගත හැක. 90 දශකයේ වාතයට එක්වූ කාබන් ප්‍රමාණයෙන් හරි අඩක්ම අප විසින් දැවූ  ඛණිජ තෙල් , ගල් අඟුරු ආදී කාබනික ඉන්ධන භාවිතයේ ප්‍රතිඵලය. අ‍නෙක් අවදානම වසර 2050 වන විට ලෝකයේ ජනගහනය තවත් 50% කින් එනම් බිලියන 9 දක්වා වැඩිවීමයි. ජනගහණය අධිකවීමට සාපේක්ෂව ඉන්ධන පරිභෝජනයද විශාල වශයෙන් ඉහල යන බව වෙසෙසින් කිව යුතු නැත. මේ හේතු නිසා අප අද මුහුණ දී ඇති ප්‍රශ්ණය ඉමහත් ලෙස සංකීර්ණය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: