අප මිනිසුන් බවට පත්කළ දසමහා විප්ලව

Posted by

මෙතෙක් සොයාගත් නවතම දැනුම අනුව මිනිසා වර්තමාන ස්වරූපය දක්වා ශාරීරිකව මෙන්ම සාමාජිකව වෙනස් වීමට තුඩුදුන් වැදගත් සංධිස්ථාන 10ක් අපේ මහා ඉතිහාසයෙන් හඳුනාගත හැකිය. ඔබ  මෙතෙක් නොසිතූ විරූ අපූරු තොරතුරු අනුව නිගමනය වන එ් සංධිස්ථාන  ඔබේ කුතුහලය මොලවමින් කොලින් බරාස් ගේ මේ විශේෂාංගයෙන් ඉදිරිපත් වෙයි.

එකම පූර්වජයෙකුගෙන්(ancestor) පැවැත ආ මානවයන්  හා චිම්පන්සින් එකිනෙකාගෙන් වෙනස් සත්ව විශේෂ ලෙස පරිණාමය වීම ඇරඹුණේ මීට වසර මිලියන 6කට පමණ පෙරය. එතැන්සිට බොහෝ කලක් යන තෙක්ම එතරම් කැපීපෙනෙන වෙනසකට භාජනය නොවූ මේ දෙකොට්ඨාශයම මයිල් පිරුණු සිරුරකින් යුතු කුඩා මොළයක් සහිත වනවාසීන් ලෙස වනගහණ වලම ජීවත් විය. එහෙත් මෙයට වසර මිලියන දෙකකට පමණ පෙර සිට එම තත්වය වෙනස් වන්නට පටන් ගත්තේය. ඊට හේතුව මානව ඉතිහාසය වෙනස් කිරීමට තුඩුදුන් නව සොයාගැනීම් මගින් නූතන මිනිසා බිහිකිරීමට සමත්වන ලෙස මානවයන් සිය පරිණාමය තමන්ගේම අතට ගැනීමයි.

1. ආහාර පිසීම

අපේ ආදිතම මානවයින් දෙපයින් ඇවිද යන්නට ඇති නමුත් ඔවුන්ට තිබුණේ කුඩා හිස් කබල්ය. ඔවුන්ගේ දත් විශාලය, දෑත් දිගුය. කල්ගතවන විට ඔවුන් මිනිස් ස්වරූපය ගන්නට ඇත්තේ කෙසේදැයි කිසිවෙක් හරියටම නොදන්නා නමුත් ස්වාභාවික වරණයට අනුව ස්වරූපය වෙනස් වන අනිකුත් සත්ව විශේෂ මෙන් නොව, අපේ සිරුරේ ස්වරූපය අප විසින් වගාකරගත් අපේම කුසලතා නිසා හැඩවැඩ වූවක් විය හැකිය.

මේ සම්බන්ධ ඇති එක් උපකල්පනයක් මෙසේයි. ආදි කාලීන මානුෂයන්(hominins) ආහාරයට ගත්තේ තද අමු ආහාර වර්ග වන අතර දිරවීම පහසු වීමට ඒවා සුදුසු පරිදි විකා හපකිරීමට සැලැකිය යුතු උත්සාහයක් ගත යුතුව තිබුණි. එහෙත් පාලනය කරගත් ගින්දර භාවිතාකොට ආහාර පලහා පිසගැනීම සමග ඒ තත්වය වෙනස් විය. ගින්නේ පලහාගත් ආහාර විකීමට පහසු වන ලෙස මෘදු වූ අතර ආහාරයේ ඇති දිරවීමට අපහසු කෙඳි සහිත කොටස්ද සිරුරට පහසුවෙන් අවශෝෂණය කළ හැකි සීනි බවට ලේසියෙන්ම පත්විය. මේ අනුව එතෙක් පැවැති  විශාල දත්වල සහ දිගු අතුණුබහනක අවශ්‍යතාවය නැතිවී ගිය බැවින් කල්යාමේදි ඒවාද ප්‍ර‍මාණයෙන් කුඩා විය. එපමණක් නොව ගින්දර පාලනය කොට රෑ එළිවන තුරු ගිනිමැල දල්වා තැබීමට හැකි වූ නිසා තවදුරටත් වන සතුන්ගෙන් බේරීමට රාත්‍රිකාලයට ගස් නැගීමේ අවශ්‍යතාවයක් ආදි මානවයින්ට නොවීය. ඒ නිසා ගස්නැගීමට පහසුවන දිගුදෑතක පැවැත්මද අත්‍යවශ්‍ය නොවීය. ඒ අනුව කෙටි අතුණුබහන් සහ කෙටි අත් ඇතිවීමවැනි ශරීරය සම්බන්ධයෙන් ඇතිවූ වෙනස්කම් නිසා ඉතුරුකරගත් ශක්තිය මොළය වර්ධනය වීමට වැයවිය. වෙනත් අන්දමකින් කිව්වොත් හෝමේ ඉරෙක්ටස් මානවයා ස්වරූපයෙන් අපට සමාන වූයේ අපමෙන්ම ඔවුන්ද පිසගත් ආහාර අනුභව කළ බැවිනි.

මෙකී උපකල්පනය ඉදිරිපත් කරන අය අතුරෙන් ප්‍ර‍මුඛයෙකි හාවඩ් සරසවියේ ආචාර්ය රිචඩ් ව්රැන්ගම් (Richard Wrangam). “හෝමෝ ඉරෙක්ටස් මානවයාට කුඩා ඇඹරුම් දත් සහ කෙටි අතුණුබහනක් ඇතිවුනේ කෙසේද? ඔවුන් මහපොළොවේ නිදාගත්තේ ඇයි? වැනි කරුණු සම්බන්ධයෙන් මේ හැර වෙනත් විකල්ප පිළිතුරක් සොයා ගැනීමට අපට හැකිවී නැහැ” යනුවෙන් ඔහු පවසයි.  එහෙත් ඒඅදහස විවේචනයට ලක්නොවූ උපකල්පනයක්ද නොවේ. ඊට එක හේතුවක් නම් ශරීරයේ ස්වරූපය වෙනස්වීම වසර මිලියන දෙකකට කිට්ටු කාලයක සිට සිදුවූ නමුත් ගින්දර භාවිතය පිළිබඳ සොයාගෙන ඇති පැරණිම සාක්ෂිවලට අනුව මානවයන් විසින් පාලනය කොටගත් ගින්දර භාවිතය පටන් ගත්තේ වසර මිලියනකට ආසන්න කාලයක සිටය. ඊට සාක්ෂි වශයෙන් 2011දී  දකුණු අප්‍රිකාවේ ගල් ගුහාවක තිබී පැරණි අළු සහ දැවීගිය ඇටකටු සොයාගත් පර්යේෂණ කන්ඩායමේ නායකයා වූයේ ටොරොන්ටෝ සරසවියේ මයිකල් චසාන්(Michael Chazen). ඔහු පවසන පරිදි   “පිසුනු ආහාර ගැනීමෙන් විප්ලවකාරී පරිවර්තනයක් ඇතිවුණේය යන මතය ගැන මගේ ඇත්තේ සානුකම්පිත ආකල්පයක්. නමුත් හෝමෝ ඉරෙක්ටස් විශේෂයට අයත් මානවයන්ට ඉන්පසු පැමිණි මානව විශේෂයන්ට තරම්ම ආහාර පිසීම ගැන උනන්දුවක් තිබුණු බවක් අපට හරියටම කියන්න බැහැ”.

වඩා විශාල මොළයක් ඇති හෝමෝ ඉරෙක්ටස් වැනි මානවයන් බිහිවීමට හේතුව පෝෂ්‍යදායී පදාර්ථයන්ගෙන් යුතු වූ මාංසභක්ෂණය කිරීම බව මේ සම්බන්ධයෙන් ඇති තවත් මතයකි. එයින් තේරුම් යන්නේ හෝමෝ ඉරෙක්ටස් යනු හොඳ දඩයක්කාරයෙක් බවයි. ගොදුර වෙහෙසට පත්වෙන තෙක්ම ගොදුර හඹායෑමට තරම් හොඳින් අපේ සිරුරු හැඩගැසී ඇති බව ඇත්තකි. එහෙත් දඩයම්කිරිමේ ක්‍ර‍මවේදය මුළුමනින්ම වෙනස් වීමට හේතු වූයේ වෙනත් ආකාරයක නව  සොයා ගැනීමක් නිසාය. එය දඩයම්කරන ආකාරය පමණක් නොව මානව සමාජයේ ස්වාභාවයද තීරණය කරන නවසොයා ගැනීමක්ද විය. එය ආයුධ භාවිතයයි.  ඒත් ආරම්භයේදී භාවිතා කළ ආයුධය මොනවගේද?

හෝමෝ ඉරෙක්ටස් වරුන්ගේ දමාගසන ගල්

2. ආයුධභාවිතය

වැර වෑයමින් දමාගසන ආයුධයකට වේගවත් ඇනටිලොප් මුවෙකු වුවත් පරදවා ගමන් කළ හැකිය. වේගයෙන් ඉලක්කයට දමා ගැසීමට අවශ්‍ය ආකාරයේ උරහිසක් සහිතවූ මුල්ම මානව විශේෂය හෝමෝ ඉරෙක්ටස් බව පසුගිය වසරේ ඉදිරිපත් කළ පර්යේෂෙණ පත්‍රිකාවකින් යෝජනා කර තිබුණි. ජෝජියාවේ මනිෂි (Dmanishi) පළාතේ තිබූ හෝමෝ ඉරෙක්ටස් වාසභූමියකින් සොයගත් මිට මොලවන ප්‍ර‍මාණයේ අසාමාන්‍ය ගල් එකතුව ඔවුන් දමාගසන ආයුධය වශයෙන් තෝරා ගත්තේ මොනවාදැයි තේරුම් ගැනීමට හොඳ සාක්ෂියකි.

ආයුධයක් වශයෙන් දමාගසන ගල් හාවිතා කිරීම හෝමෝ ඉරෙක්ටස් මානවයන්ට හුදෙක් දඩයම් උපක්‍ර‍මයක් පමණක් නොවීය. එය තමන්ට විරුද්ධවන සතුරෙක් සාර්ථකව මරා දැමීමටද යොදා ගත හැකිවිය. දකුණු කැලිපෝනියානු සරසවියේ ක්‍රිසිටෝපර් බොහෙම් (Christoper Boehm) පෙන්වාදෙන අකාරයට ආදි මානව සමාජවල සිරුරෙන් තරමක් දුවර්වල අයෙකු ට වුවද මුහුණට මුහුණ ලා සටන් කිරීමකින් තොරව අතින් දමා ගසන ආයුධ නිසා ඈතින් සිට ශක්තිමත් ප්‍ර‍තිවාදියෙකු මරා දැමීමේ හැකියාවක් ඇති විය. මේ හේතුව නිසා සියලු දඩයම් සමාජ වල අදද දක්නට ලැබෙන, අන්කිසිදු ප්‍රිමාටා(Primate)  සමාජයක නොමැති අන්දමේ සමානාත්මතාවයක් මුල් කාලීන මානව කන්ඩායම් තුළ පැවතුන බවද ඔහු කියයි.

ඇත්ත වශයෙන්ම ආයුධ නිසා ඊටත් වඩා වැදගත් බලපෑම්ක් ඇතිවන්නට ඇත. නිව්යෝක්හි ස්ටෝනි බෘක් සරසවියේ පෝල් බිනග්හැම් (Paul Bingham) සහ ජොහාන් සූසා (Joanne Souza) පෙන්වා දෙන අන්දමට දමා ගසන ආයුධ පිළිබඳ නිරන්තර තර්ජනය කණ්ඩායමේ සාමාජිකයන් අතර ගැටුම් අවම කර අනොන්‍ය සහයෝගය පවත්වා ගැනීම සඳහා ආදි මානව සමාජ තුරුම්පුවක් වශයෙන් යොදාගත්තේය. වර්තමානයේදී පාලිතයන් නතුකරගැනීමට පාලකයන් විසින් කරනු ලබන අනියම් බියගැන්වීම් හැඳින්වීමට යොදන සමාජ ප්‍රරෝධන නියාමය (Social Coercion Theory) යන සමාජ විද්‍යා සිද්ධාන්තයෙන් හැඳින්වෙන්නේද මේ හා සමානව තර්ජනයක බලපෑම යොදා සහයෝගය ලබා ගැනීම බව ඔවුහු පවසති.

දකුණු අප්‍රිකාවේ බ්ලොම්බොස් ගුහාවෙන් සොයාගත් ආභරණ

3. ආභරණ හා ශරීරාලේපන

බින්ග්හැම් සහ සූසාගේ මතය නිවැරදි නම් අපේ සමාජ හැසිරීම්වල ඇතැම් ලක්ෂණ හෝමෝ ඉරෙක්ටස් මානවයාටද තිබෙන්නට ඇත. ඒ කෙසේ වෙතත් අපේ බොහෝ වැදගත් චර්යාවන් හැඩගැසෙන්නට පටන් ගත්තේ හෝමෝ සැපියන් මානවයන්ගේ සපැමිණිමෙන් පසු මිට වසර 100,000කට පෙර දීය.

මීට දශකයකට පමණපෙර දකණු අප්‍රිකාවේ බ්ලොම්බෝස් ගුහාවල සිදුකළ කැනීම් වලදී සායම් තැවරූ හිල් කරන ලද බෙලිකටු එකතුවක් පාදා ගැනීමට ලැබුණි. බෙලිකටුවල හිල් විද තිබූ ආකාරය අනුව එම බෙලිකටු එකතුව මාලයක් හෝ වළල්ලක් ලෙස හාවිත කරන ලදැයි සිතාගත හැකිවිය.  මෙවැනි සොයා ගැනීම් අප්‍රිකාවේ අනෙකුත් කැනීම් ස්ථාන වලින්ද සොයාගෙන තිබේ. මේ බෙලිකටුවල තවරා තිබු ගුරුපැහැ සායම වෙනත් ද්‍ර‍ව්‍ය හා කලවම් කොට විශේෂයෙන්ම නිපදවා ගත්තක් බවට සහ ඒවා ශරිරය සායම් කිරීම සඳහාද යොදාගන්නට ඇති බවට සාක්ෂි වඩා මෑතකදී කළ බ්ලොම්බෝස් ගුහා කැනීම් වලින් සොයාගත හැකිවිය.

බැලුබැල්මටම නොවැදගත් ඒවා ලෙස පෙනුනද ඇත්තටම මෙවැනි නිපදවීම් මගින් පෙන්නුම් කරන්නේ මානව සංනිවේදනයේ හා විශ්වාසයන්ගේ විප්ලවකාරී වෙනසක් ඇති වූ බවකි. හෝමෝ ඉරෙක්ටස් කාලයේ සිට පැවැත ආ සමානාත්මතාවය පිළිබඳ හැඟීම අභියෝගයට ලක් කරමින් මානව සමාජය තුළ ඇතිවූ උස් පහත් භේදයක සළකුනු සමාජ තත්වය විදහාපාන මේ ආභරණ හා ආලේපන වලින් කියැවේ. ආභරණ වලින් පළ කළ  සමාජ තත්වයට අතිරේකව ශරිරාලේපන වලින් කණ්ඩායමේ අනන්‍යතාවයද කියාපාන්නට ඇත. පරපුරෙන් පරපුරට ආභරණ හා ආලේපන භාවිතය පවත්වාගෙන යාමට හැකිවීමෙන් පෙනීයන්නේ තමන් විසින් ගොඩනගාගත් සම්ප්‍ර‍දායන් පවත්වාගෙන යාමට තරම් සංකීර්ණ වූ භාෂාවක් මේ වනවිට මානවයන්ට තිබුණ බවයි.

4. ඇඳුම් මැසීම

ආභරණ සහ ආලේපන හැරෙන විට සිය කය වසාගැනීමට සුදුසු වස්ත්‍ර‍නිපදවා ගැනීමද මානවයන් මනුෂ්‍යන් බවට පත්කිරීමේ ලා වැදගත් විප්ලවකාරී පියවරක් විය. ඇඳුම් මැසීම පිළිබඳ මුල්ම සාක්ෂියක් වශයෙන් සැලකිය හැකි අවුරුදු 60,000 ක් පැරණි ඉඳිකටුවකට සමාන කෞතුක භාණ්ඩයක් කැනීම් වලින් සොයා ගැනීමට හැකිව තිබේ. එහෙත් ඒ වනවිටත් වස්ත්‍ර‍භාවිතය ඇරඹී අවුරුදු දහස් ගණනක් ගෙවි ගොස් ඇති බවට සාක්ෂි ඇත. මේ බව තහවුරු කරන සාක්ෂියට ඇත්තේ තරමක අසාමාන්‍ය ප්‍ර‍භවයකි. ඒ ප්‍ර‍භවය නම් ඇඳුම් වල වෙසෙන ඉණිකුනන්ය. ඉණිකුනන් යනු මානවයන් විසින් වස්ත්‍ර‍ පරිහරණය කිරීම ඇරඹීමෙන් පසු හිසකෙස්වල සිටි උකුණන්ගෙන් පරිණාමය වූ සත්ව විශේෂයකි. පළමු වරට ඉණිකුනන් සහ උකුණන්ගේ ජාන සසඳා බැලුවිට උකුණන්ගෙන් ඉණිකුනන් බිහිවන්නට ඇත්තේ මීට වසර 70,000 කට පමණ පෙර බව දැන ගන්නට ලැබුනි. එහෙත් වැඩිදියුණු කළ ක්‍ර‍මවේදයන් යොදා වඩා මෑතදී කල සංසන්දනයකට අනුව පළමු ඉණිකුනන් බිහිවීම වසර 170,000ක් දක්වා ඈතට යන්නක් බව තහවුරු වී ඇත. මොන අයුරින් බැලුවත් ලොව පුරා කෙමෙන් විසිර යාමට පෙර මීට වසර 60,000කට පමණ පෙර අපේ මුතුන් මිත්තන් අප්‍රිකාවෙන් නිකුත් වෙන විටත් වස්ත්‍ර‍ පරිහරණය කරමින් සිටි බව තහවුරු වේ.

ඉණිකුනන් සහ උකුණන්ගේ ජාන සම්බන්ධය පිළිබඳ මුල් පර්යේෂණය කළ ජර්මනියේ ලිප්සිග් නුවර පිහිටි පරිණාමීය මානව විද්‍යව පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණායාතනයේ මාක් ස්ටොන්කින්ග් (Mark Stoneking) පෙන්වාදෙන පරිදි ශිතල ඔරොත්තු නුදුන් නිරුවත්ව විසූ ආදි මානවයන්ටට මෙන් නොව වස්ත්‍ර‍පැළඳි මානවයන්ට ශීතල පළාත් වලට සංක්‍ර‍මණය වීමට හැකියාවක් ඇති විය. හුදෙක් ලොම් සහිත සත්ව හම්වලින් ලිහිල්ව ගත පොරොවා ගැනීම වෙනුවට ඉඳිකටු භාවිතා කොට ඇඟට තදවනසේ ඇඳුම් මසා ගැනීමට හැකිවීමෙන් සිය සිරුරේ උණුසුම මනාව රඳවා තබා ගැනීමට වස්ත්‍ර‍භාවිතා කළ මානවයන්ට හැකිවිය. ඒ එසේ වුවද අප්‍රිකානු සවන්නා තැනිතලාවේ බිහිවූ ආදි මානවයන්ට හිම මිදුනු ශීතපලාත්වලට සංක්‍ර‍මණය වීම කලක් යන තෙක්ම මහත් අභියෝගයක්ව පවතින්නට ඇත. වඩා මෑතක දී කරන ලද පර්යේෂණ වලින් නිගමනය වන පරිදි ලොව පුරා විසිර යාමට ආදිමානවයන්ට හැකියාව ඇතිවූයේ ගෝලීය දේශගුණයේ සිදුවූ සැලැකිය යුතු වෙනස් කම් නිසාය.

ඩයිප්ක්ලූෆ් ගල් ගේ ආසන්නව සිදු කළ කැනීම් වලින් සොයාගත් ලකුණු කොටන ලද ඔස්ට්‍රිචි බිත්තර කටු

5. භාජන භාවිතය

අපේ ආදි මානවයන් අප්‍රිකාවෙන් නිකුත්වනවිට වස්ත්‍ර‍ආදියට අමතරව වෙනත් දෙවල්ද පොදි ගසාගෙන යන්නට ඇත. මීට වසර 100,000 කට පමණ පෙර දකුණු අප්‍රිකාවේ විසූ මානවයෝ දිය බඳුන්ලෙස ඔස්ට්‍රිච් බිත්තර කටු භාවිතා කළ බවට සාක්ෂි හමුවී තිබේ. මේ අන්දමින් අනෙකුත් ප්‍රිමාටා විශේෂ වලට කළ නොහැකි අයුරින් තමන්ට අවශ්‍ය දෑ බඳුන්වල බහා ගෙනයාමට හැකියාවක් වර්ධනය කරගැනීම මානවයන්ට විශේෂ වාසියක් විය. මෙහිදී ඔස්ට්‍රිච් බිත්තර කටු වල කොටා තිබූ සලකුණු වලින් තේරුම් ගත හැකි දෑ අතිශයින් ම වැදගත් වන්නේ විසිර වාසය කල මානව කන්ඩායම් අතර යම් ආකාරයක වෙළහෙළදාම් සහ සම්බන්ධතාවයන් පවත්වා ගැනීම ඉන් පිළිබිඹු වන බැවිනි.

1999 සිටම ප්‍රන්සයේ බෝඩෝ සරසවියේ ආචාර්ය පියර්-ජීන් ටෙක්සියර් (Pierre-Jean Texier) ප්‍ර‍මුඛ පර්යේෂණ කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරට කිලෝමීටර 150ක් උතුරින් පිහිටි ඩයිප්ක්ලූෆ් ගල් ගේ ආසන්නව සිදු කළ කැනීම් වලින් කැපී පෙනනෙ ලෙස සළකුණු කොටන ලද ඔස්ට්‍රිචි බිත්තර කටු සොයාගෙන තිබේ. අවුරුදු දහස් ගණනක කාල පරාසයකට අයත් වන මේ බිත්තර කටුවල නිරන්තරයෙන්ම භාවිතාකර තිබුනේ පස් ආකාරයක මූලික සලකුණුය. ඉන් අදහස් වන්නේ මේ පංච ආකාර සලකුණුවලින් කියවෙන දෑ අවබෝධ කරගැනීමේ හැකියාව පරපුරෙන් පරපුරට නොකඩවා පැවතුන බවකි. ටෙක්සියර් සහ ඔහුගේ සගයන් කල්පනා කරන අන්දමට මේ මානව කන්ඩායම් පිටස්තර මානව කන්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වූ බැවින් තමන්ගේ කන්ඩායම් අනන්‍යතාවය තබා ගැනීම පිණිස ඔවුන්ට අයිති භාන්ඩවල නිශ්චිත සලකුණු කොටා තැබීය.

සිය සතුන් ආරක්ෂා කරන වර්තමාන ටුර්කානා එඩේර ගෝත්‍රිකයෝ

6. නීතිය හා සාමය

භාණ්ඩ හුවමාරු වෙළදාම ඇරඹිමත් සමග තම කණ්ඩායමේ සාමාජිකයන් සමග පමණක් නොව අන් කන්ඩායම් සමග ගනුදෙනු කිරීමද සාමකාමීව සහ සාධාරණව පවත්වා ගැනීමට අපේ මුතුන් මිත්තන්ට සිදුවිය. එබැවින් නීතිය හා යුක්තිය හඳුන්වා දීමේ ලා වෙළදාම් කිරීම මූලික වශයෙන් දායක වන්නට ඇතැයි කිව හැකිය.

නීතිය විකාශය වූයේ කෙසේද යන්න පිළිබඳ කිසියම් අදහසක් ඇතිකර ගැනීමට ශිලා යුගයේ විසූ දඩයක්කාරයන් මෙන් සමානාත්මවාදී හැඟීමකින් කටයුතු කරන නැගෙනහිර අප්‍රිකානු ජංගම එ‍ඩේර ගෝත්‍රිකයන් වැනි ඇතැම් ජන කොටස් වල සමාජ ආකල්ප විමසීමෙන් තේරුම් ගත හැකිය. උදාහරණයක් වශයෙන් ගත්තොත් පිටස්තර එඞේර ගෝත්‍රික කන්ඩායම් වලට අයත් සතුන් පැහැරගැනීම වැනි බෙහෙවින් අනතුරුදායක කටයුත්තක නියැලෙන විට මධ්‍යගත දේශපාලන අධිකාරියක බලපෑමක් නැති මේ එඞේර ගෝත්‍රික පිරිමි තම පවුලේ නොවන සාමාමාජිකයන් සමගද නොපැකිලව සහයෝගයෙන් කටයුතු කරති. මේ අන්දමේ සාමූහික හොරකම් සදාචාරාත්මකව විය නොහැකි නමුත් එහිදී අන්‍ය සාමාජිකයන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹීම මගින් පිළිබිඹු වන්නේ නුතන නීතිසම්ප්‍ර‍දායේ ඇති අනුගතවීම පිළිබඳ ආකල්පයයි.  ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ අචාර්ය සාරා මැතිව් වාර්තා කරන අන්දමට එවැනි සතුන් පැහැරගැනීමේ කල්ලියකට සහභාගිවීම ප්‍ර‍තික්ෂේප කිරීම කණ්ඩායමේ අනිකුත් සාමාජිකයන් විසින් නියම කරන තදබල දඩුවමකට යටත්වීමට සිදුවන වරදකි. මෙවැනි අවස්ථාවලදී නියම අධිකරණයකට සමානව විනිශ්චය කිරීම හා දඩුවම් කිරීම සිදුවන බැවින් නීතිය හා විනිශ්චය යන සංකල්ප මධ්‍යයගත අධිකාරයක් සහිත සමාජ බිහිවීමට පෙර ඇති වූවක් බව මැතිව් පවසයි.

ස්කොට් ලන්තයේ ඇබර්ඩීන්ෂයර් පෙදෙසේ අවුරුදු 10,000ක් තරම් පැරණි කාල සටහන

7. කාලසටහන

ඉන්පස්‍රු ගතවූ අවුරුදු දහස්ගණනාව තුළ පැතිර ගිය වෙළහෙළඳාම නිසා හුවමාරුවූයේ ද්‍ර‍ව්‍යමය බඩුභාන්ඩ පමණක් නොවේ. වෙළහෙළඳාම් සමග මති මතාන්තර හා සංකල්පද ගණුදෙනු වීය. ඒ මගින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මුල්ම විද්‍යාත්මක චින්තනධාරාවද බිහිවෙන්නට ඇත. මේ අතර තම පරිසරය විද්‍යාත්මකව නිරීක්ෂණය කළ මුල්ම ජන කණ්ඩායම් වලින් එකක් වර්තමානයේ ස්කොට්ලන්තය යන නමින් හැදින්වෙන පෙදෛසේ එකල දඩයම් කිරීමෙන් හා වන පලවැළ එකතුකිරීමෙන් ජීවත් වූ බවට සාක්ෂිතිබේ. ඔවුන් විසූ ඇබර්ඩීන්ෂයර් පෙදෙසේ අවුරුදු 10,000ක් තරම් පැරණි කාලයක සිට ඉදිකළ මධ්‍ය ශිලායුගයට අයත් නටබුන් ස්ථාන රැසක් දක්නට ලැබේ.  ඒ අතරින් වැදගත් තැනක් ගන්නා එක් නටබුන් ස්ථානයක ඊසාන දිග සිට වයඹ දක්වා චාපාකාරව පිහිටා ඇති වලවල් දොළහක් දක්නට ලැබේ. මේ වලවල් පිහිටි චාපය තිබෙන්නේ ශීතසෘතු සූර්යනිවෘත්තියේදී  ක්ෂිතිජයෙන් හිරු නැග එන අන්දම මැනවින් නැරඹිය හැකි නිම්නයකට මුහුණ ලා බව බර්මින්හැම් සරසවියේ වින්සන්ට් ගැෆ්නි සහ ඔහුගේ සගයෝ නිරීක්ෂණය කළහ. වලවල් 12 ස්ථානගත කර තිබෙන්නේ චන්ද්‍ර‍මාස ගතවෙන ආකාරය දැකගැනීමට හැකිවීම පිණිස බව නිගමනය කළ පර්යේෂකයෝ ඇබර්ඩීන්ෂයරයේ චන්ද්‍ර කාලසටහන‍ වශයෙන් හැදින්විය හැකි මේ දිනදර්ශනය, මෙතෙක් සොයාගත් පැරණිතම ප්‍රාග්ඓතිහාසික දිනදර්ශනය මෙන් දෙගුණයක් පැරණිබව පෙන්වා දෙති.

“ගෙවීයන කාලය සටහන්කර තබා ගැනීමට අවශ්‍ය වූ විට හැම සංස්කෘතියක් එය කළේ චන්ද්‍ර‍මාසය ගතවෙන ආකාරය අනුවය” යි පවසන ගැෆ්නි කාලවකවානු පිළිබඳ විධිමත් සංකල්පයක් ඇතිකර ගැනීම සැමන් මසුන් බිත්තර දැමීම පිණිස උඩුගං බලා පිහිනීම වැනි සෘතු අනුව ඇතිවන සිදුවීම් කල්තියා දැනගැනීමට ආදි මානවයන්ට හැකිවූ බවද පෙන්වා දෙයි.  “ඔබට එවැනි ගුප්ත දැනුමක් තිබෙනනේනම් සමාජය පාලනය කිරීමේ අවස්ථාවද ඔබට ලැබේ”යැයි ද ගැෆ්නි පවසයි.

8. නගුල් ආනිසංසය

ස්කොට්ලන්තයේ විසූ දඩයම් කිරීමෙන් හා වන පලවැළ එකතුකිරීමෙන් ජීවත් වූ ආදිවාසී ජන සමාජ එසේ චන්ද්‍ර‍මාස අනුව කාලවකවානු මිණුම් ගතකරන අතරතුර මෑතපෙරදිග විසූ ආදිවාසීහු ගොවිතැන් කටයුතුවල නිරතවීම අරඹා තිබුනි. ගොවිතැන් කිරීම ගතවෙහෙසකරවන කටයුත්තක් වූ බැවින් ඒ කටයුත්ත වඩා පහසු කරවන මෙවලම් නිපදවා ගැනීමට මුල්ම ගොවීහු පෙළඹුනහ. මෙසේ නිපදවාගත් මෙවලම් අතුරෙන් වඩාත්ම වැදගත් වූ මෙවලම නගුල  වූ අතර එනිසා සමාජය කෙරෙහි ඇතිවූ බලපෑම විමතිය දනවන සුලුය.

දඩයම් කිරීමෙන් හා වන පලවැළ එකතුකිරීමෙන් ජීවත් වූ අතීත සමාජ වල දඩයම පුරුෂයන්ටත් වනපළවැල එක් කිරීම ස්ත්‍රීන්ටත් වශයෙන් අද මෙන්ම ස්ත්‍රී පුරුෂ භේදය අනුව ශ්‍ර‍ම විභජනය පවතින්නට ඇත. කෙසේ වෙතත් ගොවිතැන් කිරීම ආරම්භ වූ මුල් අවධියේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දෙගොල්ලන්ම සමෝසමේ ගෙොවිතැනේ යෙදින. එනිසා කලක් යනතෙක්ම  ගොවිතැන ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය පවත්වාගැනීම සම්බන්ධයෙන් වැදගත් මෙහෙවරක් ඉටු කළේය.  එහෙත් සීසෑමේදී මූලික වශයෙන්ම පුරුෂයන් විසින් මෙහෙයවිය යුතු වූ බරපතල මෙවලමක් වූ නගුල හඳුන්වාදීමෙන් පසු ඒ තත්වය නැතිව ගිය බව ඩෙන්මාර්ක් ජාතික කෘෂි ආර්ථික විශේෂඥයෙකු වූ එස්ටර් බොසෙරුප් 1970 ගණන්වල පෙන්වා දුන්නේය. මේ අදහස පරීක්ෂාවට ලක් කරනු වස් ලොස් ඇන්ජල්ස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පඕලා ගියුලියානෝ සහ ඇගේ සගයෝ ලොවපුරා ගොවිතැන සඳහා නගුලයොදාගත් සමාජ සහ නගුලයොදා නොගත් සමාජ අතර ස්ත්‍රීපුරුෂ ශ්‍ර‍ම විභජනය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යනයක් කළේය. අධ්‍යනයට අනුව බොසරුප්ගේ ‘නගුල් ආනිසංසය’  පිළිබඳ අදහස තහවුරු කළා පමණක් නොව අද දක්වාම නගුල පුරුෂභාවයේ සංකේතයක් වශයෙන් පවතින බවද පඕලා පෙන්වා දුන්නේය. “ස්ත්‍රී පුරුෂ ශ්‍ර‍ම විභජනය තීරණය වන එකම කාරණය නගුල භාවිතා කිරීම නොවේ. එහෙත් එක සමාන ජන කණ්ඩායම් දෙකක් අතරින් එක් සමාජයක් පමණක් නගුල භාවිතා කරන්නේ නම් ඒ සමාජය ස්ත්‍රීපුරුෂ භේදය වැඩියෙන් සලකන සමාජයක් ” යැ’යි පඕලා පවසයි.

ඉන්දු නිම්න මිටියාවතේ නටබුන්

9. මළාපවහනය

මානව ඉතිහාසයේ බරපතලම වැරැද්ද ගොවිතැනයැ’යි ජරෙඩ් ඩයමන්ඩ් නමැති මානව විද්‍යාඥයා වරක් ප්‍ර‍කාශ කළේය. කොන්ද කැඩෙන වැඩක් වුවත් ගොවිතැන නිසා විශාල වශයෙන්  ආහාර නිපදවීමට හැකිවීම නගර බිහිවීමටද හේතු විය. නාගරික ජිවිතය නිසා බොහෝ වාසි සැලසුනද ජලය මගින් පැතිර යන විෂබීජ හේතුකොටගෙන ඇතිවෙන රෝග වසංගත ආදියෙන් ගැලවීම බොහෝ නගරවලට තිබූ ප්‍ර‍ධානතම සනීපාරක්ෂක අභියොගය විය.

නගර ආරම්භ වූයේ යම් දවසකද එදා සිට නාගරික මළාපවහන ක්‍ර‍මද පැවැතුන බවට සාක්ෂි තිබේ.  වසර 5000ක් පැරණි ඉන්දු නිම්න මිටියාවත් ශිෂ්ටාචාරයට අයත් පැරණි නගර ගොඩනගා තිබුනේ අපවහන කටයුතු සඳහා යොදාගත් භූගත කානු පද්ධතියක් මතය. ඒ කාලයටම අයත් ස්කොට්ලන්ත ජනාවාසවල වැසිකිලි ක්‍ර‍මයක් පැවැතිනි. අවුරුදු 3500ක් පැරණි ක්‍රීට ශිෂ්ටාචාරයේ නගරවාසීහු අපද්‍ර‍ව්‍ය ජලයෙන් සේදීයන වැසිකිලි සහ මළාපවහන පද්ධති භාවිතා කළහ. එහෙත් ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ් සරසවියේ ආචාර්ය තෝමස් බොන්ඩ් පෙන්වාදෙන පරිදි මේ කිසිවක් සැලසුම් කර තිබුණේ සනීපාරක්ෂක හේතු සලකාගෙන නොවේ. මේ මළාපවහන පද්ධති අතරින් බෙහෝමයක් උසස් මට්ට්මක සිවිල් ඉංජිනේරු ශිල්පයක් නිරූපනය කළද ඒවායේ අරමුණ හුදෙක් නුදුරින්පිහිටි ඟඟට හෝ එවැනි වෙනත් තැනකට කසල ජලය යැවීමට පමණක් සීමාවිය.

අපවහනයේදී කසල ජලය පිරිසිදු කොට යැවිය යුතු බව මිනිසුන් වටහාගත්තේ 1850දී ලන්ඩන් නගරය පුරා පැතිරගිය කොළරා රෝගය හා  එවකට පැවැති අපිරිසිදු ජලසම්පාදන ක්‍ර‍මයේ සම්බන්ධයක් ඇතිබව නාගරික වෛද්‍ය ජෝන් ස්නෝ විසින් පෙන්වා දුන් පසුවයි. විශාල ප්‍ර‍මාණයේ මධ්‍යගත නාගරික මළාපවහන පද්ධති ප්‍ර‍ථම වරට හඳුන්වා දෙන්නේ 20වැනි ශතවර්ෂයේ මුල් දශක කිහිපයේදීය. කාර්යක්ෂම මළාපවහන පද්ධතිවල අවශ්‍යතාවය කලක සිටම පැවැත ආවකි. එය ඉටුවීමෙන් පසු මහජන සොඛ්‍ය විප්ලවකාරී ලෙස දියුණු විය.

10. ලේඛන කලාව

ඩීප්ක්ලූෆ් වල තිබී සොයාගත් ඔස්ට්‍රිචි බිත්තර කටුවල කොටා තිබූ සංකේත වලින් පෙනීයන්නේ අවම වශයෙන් අවුරුදු 100,000 ක පමණ  පෙර සිටම මානව වර්ගයා අරුත් දැක්වීම පිණිස ග්‍රාපික සංකේත යොදාගත් බවයි. එහෙත් නියම ලේඛන කලාව ඇරඹුණේ මීට වසර 5000කට පෙරදීය. ලේඛන කලාව බිහිවීමත් සමග තොරතුරුවාර්තා කොට තබා දුරබැහැර තැන්වලට පමණක් නොව පරපුරෙන් පරපුරකටට අනාගතය කරා යැවීමටද හැකිවිය. මෙය මින් පෙර නොවු විරූ ආකාරයක සංස්කෘතික පරිණාමයකට හේතු විය.

ඉක්බිති ඇතිවූ විවිධ නිපැයුම් කෙතෙක් දුරට මිනිස් සන්තානයට බලපාන්නට ඇත්දැයි හෙලිදරව් වන අන්දමට ලේඛණ කලාව මිනිසුන්තුළ ඇතිවන  බිය සහ බලාපොරොත්තු පසු පරම්පරාවන්ට සංනිවේදනය කළේය. මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ලේඛන අතරට අයත් මෙසපොතේමියාවේ ලගාෂ් පෞරව රාජ්‍යයේ දූෂිත පාලක පංතිය විසින් අධික බදු අය කරගැනීම ට එරෙහිව ලියැවුන වගන්ති  මේ සම්බන්ධයෙන් උදාහරණයකට ගත හැකිය. මෙකී විරෝධය ලේඛන ගතකොටවැඩිකලක් ගතවීමට පෙර ලගාෂ් හි රජකම් කළ උරුකගිනා රජු විසින් පළමු ලිඛිත නීති සංග්‍ර‍හය ලෙස සැලකිය හැකි ලේඛනයක් රචනාකොට ප්‍ර‍සිද්ධ කළේය. සමාජ ප්‍ර‍තිසංස්කරණ ගැන උන්නදුවක් දැක්වු රජෙකු වශයෙන් සැලැකිය හැකි ඔහු තම නීති සංග්‍ර‍ය මගින් පොහොසතුන්ගේ අධික සූරාකෑම සීමා කිරීමට විදි විධාන සැලසීය. එහෙත් එකි නීති සංග්‍ර‍හය සත්‍රීන්ට දැක්වූයේ  පුරුෂයන්ට වඩා අඩු සැලකිල්ලකි. උදාහරණයක් වශයෙන් ගතහොත් පරදාර සේවනයේ යෙදෙන ස්ත්‍රීන්ට කළ යුතු දඞුවම් එහි සඳහන් වන නමුත් පරදාර සේවනයේ නිරත වන  පුරුෂයන්ට කළයුතු දඩුවම් එහි සඳහන් නොවෙයි. මේනිසා කොතෙකුත් පරිණාමික විප්ලව වලින් හැඩවැඩ වුවද මනුෂ්‍යත්වය යනු තවත් බොහෝ දුරට දියුණු වියයුතුව ඇති දෙයක් බව කිව හැකිය.

කොලින් බරාස් ගේ ලිපිය – සංස්කරණය ජයා පත්මපානි

නිව් සයන්ටිස්ට් සඟරාව ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.