විදු නැන නුවණ – Science Literacy for All

මුල්ම ශාක බීජය ආවේ කොහින් ද?

ෆොසිල බවට පත්ව ඇති ඉපැරණි මීවන පැලෑටි

ශාකයක් කියන කොට කෙනෙකුගේ හිතේ මැවෙන්නේ මල්, ගෙඩි, කොළ. අතු රිකිලි පිරුණු ගහක් වෙන්න පුළුවනි. එහෙමත් නැතිනම්, තණ පිට්ටනියක්, මල් පැළ, ගොයම් පැළ ආදිය විය හැකියි. මේ ශාක සියල්ල හට ගන්නේ බීජ වලිනුයි. ඒ වගේම ඒවා බීජ නිපදවයි.  මීවන හා පාසි එකවර සිතට නොආවත් එවා ද ශාකමය. එහෙත්, මීවන හා පාසි වල බීජ හෝ පුෂ්ප නැත. ස්පෝර (spores) හෙවත් බීජාණු මගින් ඒවා ප‍්‍රජනනය කෙරේ. ස්පෝර හෙවත් බීජාණු එක්තරා දුරකට බීජ වලට සමාන වුනත්, ඒ දෙක අතර වැදගත් වෙනස්කම් ද දැකිය හැකිය. ජලයේ හට ගන්නා ඇල්ගේ (algae ) තවත් ශාක වර්ගයකි. ඒවා බීජ හෝ බීජාණු නිපදවන්නේ නැත. ඒවා ප‍්‍රජනනය වන්නේ වෙනත් ක‍්‍රම මගිනි.

මෙයට වසර මිලියන 350 කට පමණ පෙර වඩාත් කැපී පෙනෙණ, ගස් වැනි මීවන වනාන්තර, පාසි ආදි ප්‍රාථමික වර්ග අභිබවමින් ඉස්මතු වන්නට විය. කෘමීන් හා මකුළුවන් වැනි සතුන් ඒවා අරක් ගත්තේ ඒවායින් ලැබෙන අහර සහ සෙවන ප‍්‍රයොජනයට ගනිමිනුයි. ඔය අතරවාරයේ, ජලයේ වෙසෙන ඇතැම් මත්ස්‍යයන්ගේ වරල් පරිණාමයට පත් වෙමින්  පාද බවට පරිවර්තනය වන්නට විය. මේ නිසා ඔවුනට ගොඩ බිම ඇවිද යාමේ හැකියාව අත්පත් විණ. ගෙම්බන්, ඇටිකිත්තන්, නූට්ටන් ආදීන්ගේ ආදිතමයන් හෙවත් පූර්වජයන් වන උභය ජීවීන් (amphibians) බිහිවුණේ එලෙසසි.

ඇතැම් මීවන වැනි ශාකවල බීජාණු පරිණාමයට ලක්වෙමින්, විශාල වෙන්නට පටන් ගත්තේ ද ඔය අවධියේමය. ඒවායේ අභ්‍යයන්තරයෙහිම පිෂ්ඨය බහුල ආහාර ප‍්‍රභවයක් තිබුණේය. තවද, ඒවා ජලරෝධක හෙවත් දිය නාල්ලන ආවරණයකින් සමන්විත විය. ඒවා තමයි ලෝකයේ මුල්ම බීජ ලෙස සැලකෙන්නේ. අභ්‍යයන්තරයෙහිම ආහාර ප‍්‍රභවයක් තිබූ නිසා පැළ අවස්ථාවේ පවා අසීරු පරිසරවල වුව වැඩෙන්නට අවස්ථාව උදා කෙරිණ. එලෙසම වියළි, අහිතකර පරිසරවල පවා පැවතීමට ඒවායේ ජලරෝධක(දිය නාල්ලන) ආවරණය ආධාර විය. එවැනි දුෂ්කර තත්ත්වයන් යටතේ බීජාණු වලට නම් රැකෙන්නට කිසිසේත් නොහැකිය.

Charles Darwin

පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින් On the Origin of Species නම් සිය සුප‍්‍රකට ග‍්‍රන්ථය රචනා කරන අවධියේ දී. මුහුදු ජලයේ දී කොපමණ කාලයක් බීජවලට පැවතිය හැකිද යන්න සොයා බැලිමට සිය නිවසේ සිට පර්යේෂණයක් පැවැත්වීය. (බීජ බොහොමයක් කැමැත්ත දක්වන්නේ මිරිදියටයි. ඒ නිසා කරදිය සැලකෙන්නේ අහිතකර පරිසරයක් හැටියටයි. සාගරය හරහා බීජ වලට කොපමණ දුරක් ගමන් කළ හැකි දැයි සොයා බැලීම පිණිස ඩාවින් සිය පර්යේෂණයට අදාලව ගණන් බැලිමක් සිදු කළේය. එක්තරා කරුණක් නිසා මෙය වැදගත් සේ සැලකිණ. දුර ඈත ප‍්‍රදේශවල — අපි කියමුකෝ ඈතක පිහිටි දූපත් කියලා – ශාකයන් හටගන්නේ කෙසේ දැයි  යන්න ගැන ඩාවින්ගේ කාලයේ කිසිවෙකුටත් වැටහිමක් නොවීය. බීජ සාගරය හරහා දුර ඈත ගමන් කරන්නට ඇතැයි ද එසේ ගොඩබිමකට පැමිණි පසු එවායින් හටගන්නා ශාක අළුත් විශේෂ ලෙස පරිණාමය වන්නට ඇතැයි ද ඩාවින් පෙන්වා දුන්නේය.

බීජවල ජලරෝධක ආවරණ තිබීමේ හේතුවෙන් වියළි ප‍්‍රදේශවල මෙන්ම සාගරයේ වුව ජීවත්විමට පමණක් නොව දිගුකලක් නොනැසී පැවතීමට ද ඒවාට මග පෑදිණ. 2005 වසරේ දී ඊශ‍්‍රායෙල් විද්‍යාඥයෙක් වසර දෙදහසක් පැරණි බීජයක් සාර්ථකව පැළ කිරීමට සමත් වීමෙන් මේ කාරණය තවත් සනාථ වේ. වසර මිලියන ගණනාවකට පෙර මුල් යුගයේ බීජ ශාකවලට සාර්ථකවීමට මග පෑදුවේ බීජ වල මෙකි ආවේනික වාසිදායක තත්වයන්ය.

ඉතින් ඔබ මීළඟ වතාවේ දෙනියක් හරහා ඇවිද ගෙන යද්දී, තනිකර කපු රෙද්දෙන් නිම කළ ගවුමක් අඳිද්දී එහෙමත් නැතිනම් කොල කැඳ කොප්පයක් ආහාරයට ගනිද්දී ඒ ශාක වල මුතුන් මිත්තන් ගැන සිහියට නගා ගන්න. සිය අභ්‍යයන්තරයෙහිම ශක්තිය ගබඩා කරගනිමින් ජල කාන්දු නොවන කබා වලින් සැරසි ගත් බීජ අද දස දහස් ගණන් මනබඳින, එමෙන්ම ප‍්‍රයොජනවත් ශාක බවට පරිණාමය වී මිහිතලය මත වැජඹෙනු දැකිය හැකියි. ඒවායින් අපට කියැවෙන්නේ මුල්ම බීජය ආ තැන ගැන නොව එම මුල් බීජය අපේ ලොවට දායාද කළ මහගු සම්පත ගැනයි.

 

BIG questions from Little People ග‍්‍රන්ථයේ

Where did the first seed come from? ලිපිය ඇසුරෙන් සැකසුවේ සරත් කැල්ලපත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: