ලෝකයේ විවිධ ජාතීන් අතර වෙනස්කම් එමටය. ඒවා අතුරෙන් විශේෂ තැනක් ගන්නේ සමේ පැහැයයි. සමේ පැහැය අනුව මිනිසුන් අතර උස පහත් බේදයන් දැකීමට ද සමහරු පෙළඹෙති. හෝමෝ සේපියන් නම් එකම සත්ත්ව විශේෂයේ සාමාජිකයන් අතර ඇයි මේ සමේ වෙනසක්? ඇත්තටම සමේ පැහැයේ වෙන්ස්කම් ඇතිවෙන්නේ කොහොමද?
මිනිසුන්ගේ සමේ පැහැය ඇතිවෙන්නේ අපිචර්මය හෙවත් සමෙහි පිටත ස්තරයෙහි ඇති මෙලනින්(melanin) නම් වර්ණකය නිසාවෙනි. මෙලොනසයිට් (melanocytes)නමැති සෛල මගින් මෙලනින් නම් වර්ණකය තිපදවේ. සූර්යයාගෙන් එන පාරජම්බුල කිරණවලින් ආරක්ෂාවීමේ පළිහක් ලෙස ක‍්‍රියාකරන මෙලනින්, මෙලනෝමා(melanoma)හෙවත් සමෙහි පිළිකාවට මග පාදන අවුපිලිස්සුමෙන්(sunburn) හෙවත් හිරු රැසින් සම පිලිස්සී රතු වී ඉදිමීමෙන් ඇතිවන හානි වළක්වා ගැනිමට උදව්වෙයි.
සමෙහි පැහැය පරිණාමීය වශයෙන් වෙනස් වූ ආකාරය ගැන සිද්ධාන්ත කිහිපයක් ඇත. සමකය ආසන්නයේ නිවර්තන ප‍්‍රදේශවල ජනතාවගේ සම කළු පැහැ වූයේ දැඩි සූර්ය රශ්මියෙන් විශේෂයෙන්ම ඒ සමග එන පාරජම්බුල කිරණ වලින් ගැලවීමට යයි දිගු කාලයක් තිස්සේ මුල් බැසගෙන ඇති සිද්ධාන්තයකින් කියැවේ. ඒ අනුව සූර්ය රශ්මියේ ඇති පාර ජම්බුල කිරණ අඩුවෙන් වැටෙන ප‍්‍රදේශවල වෙසෙන ජනතාවගේ සම සුදු පැහැතිය. කළු සම සහිත ජනයාගේ මෙලනින් මට්ටම ඉහළ නිසා D විටමිනය නියමිත මාත‍්‍රාවට වැඩියෙන් ගැනිම වැළැක්වේ. ශරීරයට අවශ්‍යවන D විටමිනය නිපදවා ගැනීම පිණිස සම හරහා කා වදින පාරජම්බුල කිරණ කිසියම් ප‍්‍රමාණයක් මානවයන්ට අවශ්‍යය. එහෙත් D විටමිනය අධික ලෙස සංකේන්ද්‍රගතවිම නම් විෂ සහිතය.
එහෙත්, කලක් තිස්සේ පවතින මේ සිද්ධාන්තය විවේචනය කරන්නන් කියා සිටින්නේ D විටමිනයේ මාත්‍රාව ඒ අන්දමින් ස්වාබාවිකව ඉක්ම නොයන බවයි. අප ගන්නා ආහාරවලින් කැල්සියම් හා පොස්පරස් අවශෝෂණය කරගෙන ඒවා අපේ අස්ථිවල තැන්පත් කිරිමට බඩවැල්වලට D විටමිනය අවශ්‍යවේ. D විටමිනයේ ඌනතාව ළමුන් තුළ රිකට්සය(මාන්දම) හා වැඩිහිටියන් තුළ අස්ථීන් කීරි ගැසී කැඞී බිඳී යාමේ ප‍්‍රවණතාව ඇතිකරවන ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වයන් ඇතිකිරිමට හේතුවේ.
උත්තර අක්ෂාංශකයෙන් අංශක පනහක් උඩින් සහ දක්ෂිණ අක්ෂාංශයෙන් අංශක පනහක් පහළින් ජීවත්වන වන ජනතාව විටමින් D ඌණතාවට මුහුණදීමේ අවදානම බෙහෙවින් වැඩිය. ආදී මිනිසුන්ට ඒ ප්‍රදේශ වල ජීවත්විමට හැකිවූයේ හුදෙක් මසුන් ඇල්ලීමට තිබූ හැකියාව මතය. මාළු විටමින් D බහුල ආහාරයකි.
සූර්යයාගෙන් ලැබෙන පාර ජම්බුල කිරණ සිරුරේ ෆොලික් අම්ල(folic acid, B කාණ්ඩයේ විටමින) මට්ටම කෙරෙහි සිදුකරන බලපෑම සමෙහි පාට වෙනස් වීමට සම්බන්ධ බව නව සිද්ධාන්තයකින් කියැවේ. පැයක් දැඩි අව් රශ්මියේ සිටීම සුදු පැහැ හම ඇත්තවුන්ගේ ෆොලික් අම්ල මට්ටම හරි අඩකින් අඩු කිරීමට ඉවහල් විය හැකිය. නිවර්තන කලාප ජනයාගේ හම කළු පාටට වර්ධනය වූයේ සූර්ය රශ්මිය වළකාලීමට මෙන්ම ඔවුන්ගේ ෆොලික් අම්ල සංචිත රැකගැනීම පිණිසය. එම ප‍්‍රදේශවලින් එහා ලෝක ගෝලයේ උතුරට හෝ දකුණට වෙන්නට ජීවත්වූ ජනයාගේ සම සුදු පැහැවී පරිණාමය වූයේ හිරුගෙන් පාර ජම්බුල කිරණ වැඩියෙන් අවශෝෂණය කරගෙන සිරුරට අවශ්‍ය විටමින් D නිපදවා ගනීමටයි. එහෙත් ඒ නිසා ඔවුනට අවශ්‍ය ෆොලික් අම්ලය වැඩියෙන් ලබා ගත යුතුවිය. සුදු සම ඇතියවුන්ට සමේ පිළිකාව වැළඳීමේ අවදානම වැඩිය. එමෙන්ම ෆොලික් අම්ල මට්ටම අඩුවීම කලලය තුළ මොළය හා සුෂුම්නාව සෑදීමට ඇති කුහරමය ව්‍යූහයේ හෙවත් ස්නායුක නළයේ(neural) දෝෂවලට සම්බන්ධය. මේ හේතුව නිසා, ගැබ් ගත් මුල් අවධියේ කාන්තාවන් අව්ව තැපීමෙන් වැළකීම යෝග්‍යය. දරවන් ලැබිය හැකි වයසට පත්වන ස්ත‍්‍රීන්, ගැබ් ගැනිමට පොරාතුවම සිය ආහාරයට ෆෝලික් අම්ලයේ ලවණය(folate) ප‍්‍රමාණවත් තරම් එක්කර ගත යුතුය.
ඇතැම් විද්‍යාඥයන්ට අනුව නම් මේ සිද්ධාන්ත දෙකම නිවැරදිය. සමකයට ආසන්නයේ ජිවත්වන ජනතාවගේ සම කළු වූයේ, සූර්ය කිරණ වලක්වාලීමට සහ ඔවුන්ගේ සිරුරේ ඇති ෆොලික් අම්ල සංචිත රැකගැනීමටය යි ඔවුහු විශ්වාස කරති. ධ‍්‍රැවාසන්නව වසන ජනයාගේ සම සුදු පාටට පරිණාමය වූයේ දිගු කල් පවතින සීත ඍතු සමයේ D විටමිනය ප‍්‍රමාණවත් අයුරින් නිපිදවීමට හැකිවෙන පරිදිය.
ASK A SCIENCE TEACHER
How did different skin colors come to be? ඇසුරෙන් සරත් කැල්ලපොත විසින් සකසන ලදී