රජ නමක් ගත් බ්ලූටූත් (Bluetooth) තාක්ෂණය

Posted by

ඔබගේ ජංගම දුරකතනය මගින් ලබාගන්නා ලද ඡායාරූපයක් ඔබගේ පරිගණකයට ඇතුල් කිරීමට අවශ්‍ය වීම, මිතුරෙකුගේ ජංගම දුරකතනයක ගබඩා වී ඇති ගීතයක් ඔබගේ ජංගම දුරකතනයට ලබා ගැනීමට අවශ්‍ය වීම හෝ වාහනය පදවද්දී  දුරකථනයට කන්දීම වැනි අවස්ථාවලදී ඒ සඳහා  යොදාගන්නා විශේෂ තාක්ෂණයකි බ්ලූටූත්  (Bluetooth).  ජංගම දුරකතන පමණක් නොව, රැහැන් රහිත දුරකතන, පෞද්ගලික පරිගණක, DVD යන්ත‍්‍ර, ස්ටීරියෝ යන්ත‍්‍ර, චන්ද්‍රිකා රූපවාහිනි හා ගුවන් විදුලි යන්ත‍්‍ර වැනි උපකරණ භාවිතයේදීද දැන් දැන් බ්ලූටූත් තාක්ෂණය බෙහෙවින් යොදාගැනේ.

පරණ ක්‍ර‍මයට අනුව විද්‍යුත් උපකරණ අතර සම්බන්ධතා ඇති කිරීමට ඒවාටම විශේෂිත වු රැහැන් හා මෘදුකාංග අවශ්‍ය වේ. මෙම රැහැන් හා මෘදුකාංග යොදාගනිමින් ද සපයා ඇති අත් පොත්  කියවා ගනිමින් ද සම්බන්ධතා ඇති කරගැනීම ඉතා වෙහෙසකර කරදරකාරී ක‍්‍රියාවකි. එනිසා විද්‍යුත් උපකරණ ඉතා පහසුවෙන් එකිනෙක හා සම්බන්ධ කර ගැනීමට හැකි බ්ලූටූත් (Bluetooth) තාක්ෂණය ඉස්මතු වූයේ එවැනි පසු බිමකය. බ්ලූටූත් තාක්ෂණය මගින් උපකරණ සම්බන්ධ කරනු ලබන්නේ ගුවන් විදුලි තරංග උපයෝගී කර ගැනීමෙන් නිසා ඔබට රැහැන් වල පැටලී කල් මැරීමට අවශ්‍ය වන්නේ නැත.

Bluetooth symbol

බ්ලූටූත් තාක්ෂණය ලොවට හඳුන්වා දෙන ලද්දේ දුරකතන සඳහා සුප‍්‍රකට ස්වීඩන් සමාගමක් වන එරික්සන් සමාගමයි. ක‍්‍රි.ව.958 සිට 985 අතර කාලයේ ඩෙන්මාර්කයේ රජ කල හැරල්ඩ් ‘බ්ලූටූත්’ ගොම්සන් රජුගේ නමින් මෙම තාක්ෂණය නම් කර ඇත. මෙම රජතුමා ඩෙන්මාර්කය, ස්විඩනය, නෝර්වේ යන රටවල් තුන එක්සේසත් කර එකම රාජ්‍යයක් ලෙස පාලනය කර ඇත. හැරල්ඩ් ‘බ්ලූටූත්’ රජතුමා තමාගේ රාජධානිය එක්සේසත් කලා මෙන් විවිධ සංනිවේදන විධික‍්‍රම එකට සම්බන්ධ කරන මෙම තාක්ෂණයට රජුගේ නම වන බ්ලූටූත් යන්න යොදා තිබේ. බ්ලූටූත් සඳහා ලාංඡනය වශයෙන් තෝරාගෙන ඇත්තේ පැරණි ජර්මානු භාෂාවක් වූ රූන් භාෂාවෙන් ලියන ලද මේ රජුගේ නම් වල මුල් අකුරු දෙකෙහි එකතුවකි.

බ්ලූටූත් තරංග සඳහා වෙන්කර ඇති සංඛ්‍යාත පරාසය මෙගාහර්ට්ස් 2400ක් 2483.5 ක් අතර වේ. කාර්මික, විද්‍යාත්මක හා වෛද්‍ය කටයුතු සඳහා වෙන්කර ඇත්තේත් මේ සංඛ්‍යාත කලාපයමයි. බ්ලූටූත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම සඳහා භාවිතා කරන්නේ ද ඉතා කුඩා බලයන් සහිත ගුවන් විදුලි සංඥාය.  ඇතැම් අවස්ථා සඳහා මිලි වොට් එකක බලයක් වුවද ප‍්‍රමාණවත් වේ. අඩු බලයක් සහිත තරංග භාවිතා කරන බැවින් බ්ලූටූත් මගින් ආවරණය කරන කලාපය අඩි 30 කට පමණ සීමා වේ. එනිසාම බ්ලූටූත් උපකරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා කුඩා ප‍්‍රමාණයේ බැටරියක් සෑහේ. තවද එකම තැනක ඇති  රූපවාහිණි, ගුවන්විදුලි, ජංගම දුරකතන වැනි අනෙකුත් විද්‍යුත් උපකරණ භාවිතා කරන සංඥා වලටද මෙම සංඥා මගින් බලපෑමක් සිදුනොවේ.

බ්ලූටූත් ක‍්‍රමය සඳහා භාවිතා කරන ගුවන් විදුලි තරංග තාක්ෂණය සංඛ්‍යාත පැනුම් වර්ණාවලී පැතුරුම ^frequency hopping spread spectrum) යනුවෙන් හැඳින්වේ. බ්ලූටූත් සඳහා භාවිතා කරන සංඛ්‍යාත කලාපය එකින් එකට මාරුවිය හැකි චැනල් හෙවත් නාලිකා හැත්තෑ නවයකට බෙදා ඇත. මේ එක් චැනලයක කලාප පලල මෙගාහට්ර්ස් එකකි. නාලිකා හැත්තෑනවයෙන් එක් නාලිකාවක් යොදාගෙන දත්ත සම්පේ‍්‍රෂණය කරන බ්ලූටූත් උපකරණය දත්ත ලබා ගන්නා බ්ලූටූත් උපකරණය හා සම්බන්ධතාවයක් ඇතිකරගනී.  දත්තයන් යැවීමට මාර්ගය සකස් වූ පසු අදාල දත්ත එම මාර්ගය ඔස්සේ යැවීම සිදු කරයි.

බ්ලූටූත් තරංග සම්පේ‍්‍රෂණය කරන උපකරණය තත්පරයකට එක්දහස් හයසිය  වතාවක් සම්පේ‍්‍රෂණ නාලිකා හෙවත් චැනල හැත්තෑ නවය අතර වෙනස් කරයි. හාවිත කල හැකි නාලිකා සංඛ්‍යාව බහුල බැවින් එක් බ්ලූටූත් උපකරණයකින් තවත් බ්ලූටූත් උපකරණයක් අවහිරවීමට ඇති ඉඩ ප්‍ර‍ස්ථා බෙහෙවින් අඩුය.

බ්ලූටූත් භාවිතයෙන් යම් අයෙකුට තමාගේ නිවස තුල හෝ මෝටර් රථය තුල පෞද්ගලික සම්බන්ධතා ජාලයක් ගොඩ නංවා ගත හැක. මෙවැනි කුඩා ජාලයට තමාගේ ජංගම දුරකතනය, ස්ටීරියෝ යන්ත‍්‍රය, කම්පියුටරය, DVD යන්ත‍්‍රය වැනි උපකරණ හතක් එකවර සම්බන්ධ කරගත හැක.

හනුවක හැඩැති කනේ පළඳින බ්ලූටූත් උපකරණය (jawbone-shaped headset)  දැන්  සුලභ දසුනක් වී ඇත. මෙය භාවිතයෙන් වාහන රියැදුරන්ට නීතියෙන් බේරි ජංගම දුරකතන මගින් කතා කරමින් වාහන පැදවීමටත්, ව්‍යායාමයේ  යෙදෙන්නන්ට මිහිරි සංගීතයට සවන් දෙමින් ව්‍යායාම කිරීමටත් පහසුකම් සැලසී ඇත.

ASK A SCIENCE TEACHER  ග්‍ර‍න්ථයේ How does Bluetooth work? ලිපිය ඇසුරෙන් සකස් කළේ චන්දන තෙන්නකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.