විදු නැන නුවණ – Science Literacy for All

ලෙඩේ සුව වුණත්, නියම කළ ප‍්‍රතිජීවක(antibiotics) ඉවරවනතෙක් ගත යුතුමද?

යළි සුවය ලැබූ බව රෝගියාට හැඟීගියත් නියම කරන ලද පෙති  හෝ කරල් ප්‍ර‍මාණය මුලුමනින්ම ඉවර වනතෙක් සම්පූර්ණ ප‍්‍රතිජිවක රෙජිමයම (antibiotic regime)නොකඩවා ගත යුතුය යන්න තමයි සාම්ප‍්‍රදායික ඥානය අපට කියාදෙන්නේ. සාමාන්‍යයෙන් දින හතකට, දාහතරකට යනාදී වශයෙන් ප‍්‍රතිජීවක ඖෂධ(antibiotics) රෙජිමයක් (හෙවත් නොකඩවා ගත යුතු යයි නියම කෙරෙන දින ගණනක්) නියම කෙරුණු විට රෝගී තත්ත්‍වය සුව අතට හැරුණත් ප‍්‍රතිජීවක නොකඩවා ගත යුතු යයි අපට වෛද්‍ය උපදෙස් ලැබේ. වසර 70කට පෙර ප‍්‍රතිජීවක සොයා ගත් අවධියේ සිට ප‍්‍රචලිත මෙම මතයට පදනම් වන්නේ රෝග කාරක බැක්ටීරියා සියල්ල ප‍්‍රතිජීවක මගින් සහමුලින්ම විනාශ කළ යුතුය යන නිගමනයයි. ඊට හේතුව එවිට අදාල බැක්ටීරියා ජාන විපර්යාසයකට භාජනයවීමේ හෝ වෙනත් බැක්ටීරියාවලින් ඖෂධ ප‍්‍රතිරෝධක හෙවත්  ඖෂධවලට යටත් නොවන ජාන අහුලාගැනීමේ අවදානම අඩුකර ගත හැකිය යන මතයයි.  එ මතු ද නොව, ප‍්‍රතිජීවක මගින් එක දිගට පහර එල්ලකිරීම නිසා, ඖෂධවලට තරමක් ඔරොත්තු දීමේ හැකියාව ඇති බැක්ටීරියා පවා සහමුලින්ම විනාශ වී ගොස් රෝග කාරක බැක්ටීරියාවලට නැවත් වරක් හිස එසවීමේ ඉඩකඩ ඇහිරීම ද තවත් අපේක්ෂාවක් විය.

කෙසේවෙතත් නව පර්යේෂණවලින් ඉස්මතුවන්නේ ඊට පටහැණි අදහසකි. ප‍්‍රතිජීවක ඖෂධ දිගු කාලයක් දිගටම ලබාදිමෙන්,  කෙටි කාලීනව ලබාදිමෙන් අත්පත් කර ගන්නවාට වඩා වැඩි ප‍්‍රතිඵල අත්නොවන අතර දිගුකාලීන භාවිතය ප‍්‍රතිජීවක ඹෟෂධවලට ඔරොත්තුදීමට බැක්ටීරියාවලට ඇති හැකියාව වර්ධනය කරන බව එම අධ්‍යයනවලින් අණවරණයවේ. ‘‘මෙයට සම්බන්ධ විද්‍යාත්මක කරුණු කාරණා ඉතා පැහැදිලිය” යි බෝවෙන රෝග විශේෂඥයෙකු වන, ලොස් ඇන්ජලීස් හී ජෛව-වෛද්‍ය පර්යේෂණ ආයතනයේ බ‍්‍රැඞ් ස්පෙල්බර්ග්(Brad Spellberg )පවසයි. ‘‘දිගුකාලීන හා කෙටිකාලීන ප‍්‍රතිජීවක චිකිත්සාව සංසන්දනය කරමින් සිදුකෙරුණු සෑම අධ්‍යනයකින් ම පෙණීගොස් ඇත්තේ කෙටිකාලීන චිකිත්සාව එක සමානව ප‍්‍රතිඵලදායක බවය’’ යි ඔහු පැහැදිලි කරයි. බැක්ටීරියා මූලික වශයෙන් පාලනය කර ගැනීමට දින කිහිපයක් පමණක් ප‍්‍රතිජීවක ගැනිම ප‍්‍රමාණවත් බව පෙණි ගොස් ඇති අතර ඉන් අනතුරුව එම බැක්ටීරියා විනාශකිරීමේ කාර්යය ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට බාර ගත හැකිවේ.

ප‍්‍රතිජීවක ඹෟෂධ රෙජිමය නැතහොත් නියම කළ මුළු ප‍්‍රතිජීවක  ප‍්‍රමාණයම ගැනීම නිකරුනේ ඖෂධ නාස්තිකිරිමක් වන අතර  එමගින් ශරීරයේ ‘හොඳ බැක්ටීරියා’ වලටද ඖෂධවලට ඔරොත්තුදෙන ජාන පරිණාමීය වර්ධනයක් කරගැනීමට බල කරයි. එවිට එම ජාන පසුව ‘නරක’ බැක්ටීරියා ජානවලට ද පැටවේ. එමෙන්ම, ඖෂධවලට පහසුවෙන් අවනත වන හෙවත් ග‍්‍රහණශීල(susceptible) බැක්ටීරියා ඉතා ඉක්මණින් අතුගා දැමීම නිසා ප‍්‍රතිජීවකවලට ඔරොත්තුදෙන බැක්ටීරියාවලට (ඒවා පදිංචිව සිටින සිරුරේ) පෝෂණ කොටස් වලින් වැඩි ප‍්‍රමාණයක් භුක්ති විඳීමට අවස්ථාව සැලසේ. එනිසා එම බැක්ටීරියාවලට පහසුවෙන්ම වර්ධනයවීමට මග පෑදේ. එලෙස කොපමණ නම් වර්ධනය විය හැකිද කිවහොත් ඒවා දැනට අරක්ගෙන සිටින සිරුරෙන් පැන ගොස් වෙනත් අයෙකුගේ සිරුරට ද ඇතුල් විය හැකිය.

සරාංශ වශයෙන් ගත්තොත් අදහස මෙයයි: රෝගකාරක බැක්ටීරියා පාලනය කිරීමෙන් පසුවත් ප‍්‍රතිජීවක ඖෂධ අතිරික්තව ගැනීමෙන් සේවයක් සිදුවන්නේ, ප‍්‍රතිජීවක මගින් මර්දනය කිරිමට තැත් කරන බැක්ටීරියාවලටමය. මන්ද ප්‍ර‍තිජීවක වලට ඔරොත්තු දීමට හැකිවීම යනු එම බැක්ටීරියා වර්ධනය පාලනය කෙරන බාධා ඉවත් කිරීමකි. ප‍්‍රතිජීවක කෙටි රෙජිමයක් ඊට පටහැනිය. එහි දී සිදුවන්නේ ග‍්‍රහණශීල බැක්ටීරියා කිහිපයකට පැවතීමට  ඕනෑකමින්ම ඉඩ දීමයි. එසේ කරන්නේ ප‍්‍රතිරෝධක රෝගකාරක බීජ වෙතොත් ඒවා යටපත් කිරීමට ග‍්‍රහණශීල බැක්ටීරියා මගින් උදව් ලබා ගත හැකිවීම පිණිසය. මීයන් යොදාගෙන මෑතක සිදුකරන ලද අධ්‍යයනයකින් මෙය සනාථ වී ඇත.

නියම කරනු ලබන ප‍්‍රතිජීවක ඖෂධය ගැනිම නතර කළ යුතු අවස්ථාව වෛද්‍යවරු තීරණය කරන්නේ කෙසේ ද? බහුවිධ අධ්‍යයන මගින් මේ සම්බන්ධ ඇතැම් ක‍්‍රම වේදයන් හඳුනාගෙන ඇත. ශරීරය දරුණු බැක්ටීරියා ප‍්‍රහාරයකට ලක් වූ විට තයිරොයිඞ් ග‍්‍රන්ථියේ නිපදවන පොලිපෙප්ටයිඩයක් වන ප්‍රොකැල්සිටෝනින්(procalcitonin) මට්ටම ඉහළ යයි. ප්‍රොකැල්සිටෝනින් මට්ටම පදනම් කරගෙන සිදුතෙරුණු ප‍්‍රතිකාර අනුව ප‍්‍රතිජීවක ඖෂධ භාවිතය අඩකින් අඩු කළ ද සුවවීමේ මට්ටමෙ හි වෙනසක් දක්නට නොලැබෙන බව අධ්‍යයනවලින් හෙළිවෙයි.  අධ්‍යයන හතකින්ම මෙය සනාථ වී ඇත. සෞඛ්‍යය හොඳ අතට හැරී ඇති බව දක්වන සිරුරේ උණ අඩුවීම වැනි ලක්ෂණ ද ප‍්‍රතිජීවක ඖෂධ භාවිතය නතර කළ හැකි බවට කෙරෙන සංඥා ලෙස සැලකිය හැකිවේ.

රෝගය සුව අතට හැරී ඇතැයි රෝගියට දැනෙන විට වෛද්‍යවරයා හා සාකච්ඡා කර ප‍්‍රතිජීවක ඖෂධ නතර කළ යුතුය යන්න තහවුරු කෙරෙන දත්ත තව තවත් එකතුවෙමින් පවතී. ‘‘නියම කළ ප‍්‍රතිජීවක ඖෂධ වඩි සියල්ලම අරගත යුතුය යන්න සාම්ප‍්‍රදායානුකූල මිථ්‍යා කතාවක් බවට පත්ව ඇත”යි කියා සිටින ස්පෙල්බර්ග් ‘‘එම අදහස තහවුරු කිරීමට දත්ත නැති අතර සුව වූ රෝගියෙකු තවදුරටත් සුව කළ නොහැකිය” යි පවසයි.

 

 

DISCOVER  OCTOBER, 2014 සගරාවේ  Stop Taking Antibiotics When You Feel Better? ලිපිය ඇසුරෙන්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: