විදු නැන නුවණ – Science Literacy for All

ඊළඟට ගූගල් කර බලන්නේ ඔබට වැළඳිය හැකි රෝග වල සලකුණූද?

සාමාන්‍යයෙන් ඔබ ගූගල් (Google)  කරන්නේ අන්තර්ජාලයෙන් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමටයි. එහෙත් නව ආරක නැණෝ අංශු පෙත්තක් (nanoparticle pill) සිරුර තුළට යැවීමෙන් රෝගයක් ඇතිවීමට පෙරම ඒ බව හඳුනාගැනීමේ හැකියාව ගූගල් ආයතනය විසින් දියත් කර ඇති අළුත්ම පර්යේෂණයක ප්‍ර‍ධාන අරමුණ වී ඇත. මේ අන්දමින් සිරුරක ඇතිවිය හැකි රෝග පිලිබඳ කල් තියා දැන ගැනීමට හැකිවුවහොත් රෝගය ඇතිවීම වැලැක්වීමට එය මහත් උපකාරයකි. යෝජිත නැණෝ අංශු පෙත්ත රුධිරනාල දිගේ යැවීමෙන් පිළිකා,හෘදයාබාද වැනි රෝග වැළඳීමට සෑහෙන කලකට පෙර කල්තියා හඳුනාගත හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

නැණෝ තාක්ෂණය

කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්‍ෂණය ලොව පුරා ජනප‍්‍රියව පවතී. නැණෝ තාක්ෂණය යනු නැණෝ ප්‍ර‍ාමාණයේ අතිශයින් කුඩා කොටස් යොදාගන්නා තාක්ෂනයකි. නැණෝ මීටරය නැණෝ කොටස්වල කුඩා බව මණින මිණුම් දණ්ඩයි. අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය. ප‍්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කාර්යක්ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.

 මේ සඳහා යොදාගන්නා නැණෝ අංශුපෙත්ත  මිනිස් හිසකෙසක පළලින් 10,000න් එක් පංගුවක් තරම් අතිශයින් කුඩා අංශුවලින් සමන්විතය. මේ කුඩා අංශුවලට පිළිකා, හෘදයාබාධ වැනි රෝග හා සම්බන්ධ ජීවසලකුණු (biomarker)  අණු හඳුනා ගත හැකි  ප්‍ර‍තිදේහ හෝ ප්‍රෝටීන අලවා තිබේ.

බැලූ බැල්මටම මේ නැණෝ අංශුපෙත්ත ක්‍රියාකරන ආකාරය බෙහෙවින් සරලය. ‘‘එහිදී ඔබ කළ යුතුවන්නේ විවිධාකාර අණු හඳුනාගත හැකි ප්‍ර‍තිදේහ හා අණු වලින් සරසා ඇති නැණෝ අංශු වලින් සමන්විත පෙත්ත ගිල දැමීම පමණයි”යනුවෙන් පවසන ගූගල්හි මූන්ෂොට් එක්ස් පර්යේෂණායතනයේ ප්‍ර‍ධානි ඇන්ඩ්‍රෑ කොන්රාඩ් ‘‘ඒවා ඔබේ ශරීරය පුරාම ගමන් කරනවා. ඉතිංමේ නැණෝ අංශු කාන්දම් (චුම්බක)බලයෙන් යුතු නිසා ඕනෑම වෙලාවක ඇඟේ කිසියම් තැනකට ඒවා කැඳවලා ඔබ දුටුවේ මොනාවාදැයි ඒවායෙන් අහන්නට පුළුවනි” යැයි කියයි.

කොන්රාඩ් විස්තර කරන පරිදි මේ නැණෝ අංශු හරියට සමකළ හැක්කේ විශාල නගරයක ඇති ජනගහහණයක් කිනම් රෝගවලින් පෙලිය හැක්කේදැයි සොයා බැලීමට ගෙන් ගෙට යවන වෛද්‍යවරුන් කන්ඩායමකටය.

“ඔබේ අත දිහා බැලුවොත් ඉලිප්පී ඇති නහර ඔබට පේනවා නේද? ඉතිං ඒ මත කාන්දමක් තැබුවොත් ශරීරය ඇතුළේ ගමන් කරන අර නැනෝ අංශුටික එතනට ගෙන්වාගත හැකියි” යනුවෙන් පවසන කොන්රාඩ් ඔරලෝසුවක් මෙන් මැණික් කටුවේ පැළඳිය හැකි කුඩා උපකරණයක් යොදා නහර ඔස්සේ දිවූ නැණෝ අංශුවලට ලබාගත හැකි වූ තොරතුරු මොනවාදැයි දැනගත හැකි බව පෙන්වාදෙයි.

“ඒයි මොනවාද ඔයා දැක්කේ? පිළිකාවක් හැදෙන බවට ලකුණක් දැක්කද? නැත්නම් හෘදයාබාධයක් හැදෙන්න පුළුවන් මැළියම් නහර වල බැඳෙන ලකුණු දැක්කද? නැත්තම් ඕනැවට වැඩිය සෝඩියම් තියෙන බව දැක්කද? කියලා නැණෝ අංශුවලින් අහන්න අර අතේ බඳින යන්ත්‍ර‍යට පුළුවන්” යැයි කොන්රාඩ් පවසයි

රෝගයක් වැළඳුනු පසු ප්‍ර‍තිකාරක ඖෂධ යෙදීම වෙනුවට රෝග වැළඳීමට පෙරම රෝග කාරක ලක්ෂණ හඳුනා රෝග වැලැක්වීමේ ක්‍ර‍මයකට සෞඛ්‍යසේවාවන් පරිවර්තනය කිරීමේ අදහස සමග මේ ආකාරයෙන් නැණෝ තාක්ෂණය යොදා ගැනීම කදිමට ගැලපෙයි. බොහෝ දියුණු රටවල ආර්ථිකයෙන් 10% වැයවෙන්නේ සෞඛ්‍යසේවා සඳහායි. බ්‍රිතාන්‍ය පමණක් වර්ෂයකට පවුම් බිලියන 100ක් සෞඛ්‍ය සේවා සඳහා වැය කරයි. ගූගල් ආයතනය සැලකිය යුතු ආයෝජනයක් කරමින් නැණෝ තාක්ෂණය සෞඛ්‍යසේවාවන්ට යොදා ගැනීමට අදහස් කරන්නේ මේ බෙහෙවින් ආකර්ෂණීය වෙළඳ පොල නිසාය.

මේ පර්යේෂණ තවමත් පවතින්නේ ඉතා ප්‍රාථමික අවස්ථාවකයි. මේ ක්‍ර‍මය උපයෝගී කර ගැනීමේදී කොපමණ නැණෝ අංශු ප්‍ර‍මාණයක් යොදා ගත යුතුද, රෝගකාරක ජීවසලකුණු අණු හඳුනා ගැනීමට අවශ්‍ය ප්‍රතිදේහ හා ප්‍රෝටීන වර්ග සුදුසු ලෙස ඇලවීමට නැණෝඅංශු අවරණය කළ යුත්තේ කෙසේද වැනි කරුණු සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ සිදුකෙරේ.

රෝග සුව කිරිම සම්බන්ධයෙන් නැණෝතාක්ෂණය යොදා ගැනීම වෛද්‍ය විද්‍යාවට බෙහෙවින් අළුත් ක්ෂේත්‍ර‍යකි. සිරුර තුළට යවන නැණෝඅංශු ඇතැම්විටෙක හානිදායක ලෙස සිරුරට බලපෑ හැක බැවින් නැණෝ තාක්ෂණය සෞඛ්‍යකටයුතු සඳහා යොදා ගැනීම තදින් නියාමනය කොට ඇත. මේ නිසා තම යෝජිත නව නිපැයුම නියමිත සායනික පරීක්ෂණවලට ලක් කොට අනුමැතිය ලබාගැනීම ගුගල් ආයතනයට සැලකිය යුතු අභියෝගයක් විය හැකිය.

ගාඩියන් වාර්තාවක් ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: