විදු නැන නුවණ – Science Literacy for All

එළඹෙන ශීත සෘතුව හිම වලසුන්ට තවත් අහිතකර විය හැකියි.

උණුසුම් වන උත්තර ධ්‍රැවය

ගෝලීය උණුසුම වැඩිවීමේ ප්‍ර‍තිඵලයක් ලෙස මේ එළඹෙන සීත සෘතුව වඩා උණුසුම් විය හැකි බව බ්‍රිතාන්‍යයේ එක්සෙටර් සරසවියේ ජේම්ස් ඒ ස්ක්‍රීන් පසුගිය ජුනිමාසයේ  Nature Climate සඟරාව පළ කළ  පර්යේෂණ ලිපියකින් ප්‍ර‍කාශ කෙළ්ය. වඩ වඩා උණුසුම් වන ශීත සෘතු හිම වලසුන්ට බෙහෙවින් අහිත කර වූ බව මෙතෙක් කරන ලද නිරීක්ෂන වලින් දැන ගන්නට ලැබී තිබේ. ඒ  අතරින් වඩාත්ම අවදානම් සහගත කරුණ වඩ වඩා උණුසුම්වන ශීත ඍතුව ධවල හිම වලසුන්  නිරන්තර සාගින්නක තර්ජනයට ලක් කිරීමයි. උණුසුම් වන ශීත සෘතු වල ආනිසංස සොයා බැලීමට උතුරු ඇමෙරිකාවේ  හඩ්සන් බොක්ක (Hudson Bay) අවට ජීවත් වූ හිම වලසුන් 1200 ක් පිළිබඳව කල දීර්ඝ කාළ නිරීක්‍ෂණයකට අනුව උන් සියල්ලන්ගේම පාහේ සිරුරු කලින් පැවැතියාට වඩා 15% කින් කෘෂ වී ඇති බව හෙලි විය.

නිරන්තරයෙන් සාගින්නට ලක් වීම නිසා හිම වැලහින්නියන්ගේ දරුඵල බෙහෙවින් අඩු වී ඇත. දශක කිහිපයකට පෙර වැලහින්නන් අතර තිදරු උපත් නිතර දක්නට ලැබූ නමුත් දැන් තිදරු උපත් ගැන අසන්නට ලැබීම ඉතා විරලය. ඒ අවදියේදී අඩුම වශයෙන් මුළු පැටවුන් සංඛ්‍යාවෙන් අඩක් කිරිවරා ජීවත් විමට තරම් භාග්‍යයවන්ත වූ නමුත් දැන් එසේ වැඩි වියට එළඹ ජිවිතය පවත්වාගෙන යාමට තරම් භාග්‍යක් ඇත්තේ හිම වලස් පැටවුන් විස්සකින් එකෙකුට පමණි.  හිම වලස් පැටව් ප්‍රසූත කිරීම සඳහා භාවිතා කරන ලෙන් උණුසුම වැඩිවීමේ ඵලයක් වන වර්ෂා පතනය වැඩි වීම නිසා කඩා වැටීමෙන් වැලහින්නත් ළදරු පැටවුනුත් මරණයට පත් වු අවස්ථා ගනණාවක්  ධ්‍රැව ප්‍රදෙශ වලින් බොහෝ විට වාර්තා වී තිබේ. උණුසුම් ශීත සෘතුවේ අකලට අයිස් දිය වීම නිසා තම සුපුරුදු ලෙන් ප්‍රදේශ ආහාර සපයා ගන්නා ප්‍රදේශ වලින් වෙන්වීම කුඩා පැටවුන්ට ආයාසකර දෙයක් වී තිබේ. ආහාර සපයන ප්‍රදේශකරා  පිහිනා යාමට තරම් හැකියාවක් පැටවුන්ට නැත්නම් උන් සාගින්නේන් මිය යාම වැලැක්වීම වැලහින්නට අසීරු දෙයකි. මීට පෙර 2006 සිසිර ඍතුවෙදී ප්‍රථම වරට ධ්‍රැව පෙදෙස් වල වෙසෙන ඉනුයිට් ගෝතිකයන්ට දියේ ගිලී මිය ගිය හිම වලස් පැටවුන් දැක ගන්නට ලැබුනි.  බිහි වූ ලෙන් ප්‍රදේශයත් වෙරළත් අතර අයිස් මිදී නොතිබීම නිසා එතරම් දුර ප්‍රමාණයක් සිය මව සමඟ පිහිනා යාමට හැකි නොවීම හේතු කොට දියේ ගිලී මිය යාම හැරෙන්නට මේ වලස් පැටවුන්ට වෙනත් විකල්පයක් නොවීය.

මිදුණු මුහුදු අයිස් වලින් තොර ආර්ටික් කලාපයක් නිර්මාණය කිරීමට දායක වීම තුලින් අපි ආර්ක්ටික් මුහුදත් අවට හිම බිමත් අමිහිරි භූමි දර්ශනයක් බවට පත්කොට ඇත්තෙමු. අයිස්, හිම මෙන්ම “නානුක්” යන සුරතල් නමින් ගෝත්‍රිකයන් හඳුනාගත් හිම වලසුන්නේ තොරව ඉනුයිට් වරුන්ට ලෝකයක් නොමැත. ඉනුයිට් වරුන් තරම් “නානුක්” ගැන දන්නා හා “නානුක්ට” සමීප වෙනත් මිනිස් වර්ගයක් මිහිපිට නොමැත. තර සීල් මතස්‍යයන්ගේ තෙල්මන්ද ඉරා සිය කුස ගිනි නිවා සෙසු ඇට මාංශ කොටස් ආර්ටික් නරියන්ට, කාකයන්ට සහ ලිහිණියන්ට ඉතිරි කරන “නානුක්” යනු ආර්ටික් ආහාර චක්‍රයේ අතිශයින් වැදගත් පුරුකකි.

ආර්ටික් හිම වලසුන් සාගින්නට ලක් වූ විට උන් නිසා යැපෙන අනෙකුත් සත්ත්‍වයන්ට කුමක් වනු ඇත්ද?  කලකට පෙර උතුරු කැනඩාවේ බෙහෙවින් දක්නට ලැබූ “ඇත්දළ මුහුදු ළිහිණියන්” (ivory gull) පසුගිය විසි වසරතුල 90% කින් අඩු වීමට මෙය එක් හේතුවකි. මේ සිය වසර ගෙවෙන්නට පෙර ඇත්දළ මුහුදු ළිහිණියන් වඳ වී ගිය සත්ව වර්ග අතරට ගැනෙනු නිසැකය. ජීව විශේෂයන් අතරින් අනතුරට ලක් වූ තවත් සතෙක් වශයයෙන් “නානුක්”  නම් කිරීමට දැනටමත් නියමිතය.

“නානුක්” ගේ වියෝගය සමස්ත ආර්ටික් පරිසර පද්ධතියේ අනවරත කඩා වැටීම පිළිබඳ නිසැක මග සලකූණ විය හැකිය.

හරිතාගාරවායු නිකුත්වීම සීමා කිරීම සඳහා කඩිනම් පියවර නොගතහොත් 2050 වන විට ගිම්හාන ඍතුවෙදී ආර්ටික් කලාපය තුල එකදු අයිස් කැටයක්වත් දැක ගැනීමට නොහැකි දිනයක් එළඹෙනු නියත බව දේශගුණය වෙනස්වීම පිලිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ටිම් ෆ්ලැනරි කියයි. ඹහුගේ මතයට අනුව එදින ආර්ටික් මුහුද  සුවිශාල අඳුරු බිය ජනක ජල තලයක් මෙන් දිස්වනු ඇත. හිම වලසුන් ජනිතවන ලෙන් ප්‍රදේශ, උන්ගේ ගොදුරු බිම් හා සංක්‍රමණික කොරිඩෝර අවසන් අයිස් කැටය දියවීමට මත්තෙන් ආර්ටික් ප්‍රදේශයෙන් අතුරුදහන් වෙනු ඇත.

එවිට ආර්ටික් ප්‍රදේශයේදී බොහෝවිට අපට දැක ගැනීමට හැකිවනු ඇත්තේ වසරක් පාසා කේඬෑරි ගැසෙන ඉතිරි වූ වයස්ගත හිම වලසුන් කිහිප දෙනෙකු පමණි. සීල් මතස්‍යයන් නොමැති වීම නිසා මුසිකයන්ගෙන් හෝ  දුරාවාරයේ මහුදේ පාවෙන සීල් කුණපයන්ගෙන් යැපීමට ගොරතර ගිම්හාණය හිම වලසුන්ට බල කෙරෙනු ඇත. මේ සා දුර්භික්ෂයකට මුහුණ දීමෙන් පසු  හිම වලසුන්ට ශිත ඍතුවේ සිය සුපුරුදු දීර්ඝ නින්දෙන් නැවත අවදී වීමට සැහෙන තරම් ශක්තියක් ඉතිරි නොවනු ඇත. ආර්ටික් කලාපයේ සීඝ්‍රයෙන් සිදුවන මේ වෙනස්කම් කරණකොට වසර 2030 වන විට පවා හිම වලසුන් සහමුලින්ම නැතිවීම මවිතයට ලක් වියුතු කරුණක් නොවේ.

ධ්‍රැව ප්‍රදේශ වල දැන් සිදුවන මේ විපර්යාසය අතිශයින්ම වේගවත්ය. අප කඩිනම් නොවුව හොත් කළෙක හිම වලසුන්, දළ තල්මසුන් (narwal) හා මුහුදු අලින්ගෙන්(walrus) ගහණ වු ධවල ධ්‍රැව මුහුද වෙනුවට අයිස් වලින් තොර සීතල සාගරයත් එහි කැනේඩියානු, යු‍රෝපීය හා ආසියාතික ඉවුරු කරා පැතිරුණු මහා ටයිගා (Taiga) වනාන්තරයත් දැක ගැනීමට හැකිවනු ඇත.

මෙසේ ධ්‍රැව මුහුදු වෙරළ කරා ටයිගා වනය පැතිරෙන විට එනිසා පැතිරෙන වනය මගින් වඩා වැඩි කාබන් ඩයොක් සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය වීමෙන් දේශගුණය වෙනස් වීම පාලනය වෙතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් විද්‍යාඥයන් විශ්වාස කරණ අන්දමට පැතිරෙන වනය විසින් වසා ආවරණය තරන ධවල හිම කලාපයේ ප්‍රමාණය සැලකූ විට එම වාසිය නැතිවීයයි. ධවල හිම කලාපය හිරු රැස් නැවත පරාවර්තණය කරණ අතර අඳුරු වනය හිරු රැස් අවශෝෂනය කොට පරිසරයේ උණුසුම වැඩි කිරීමට දායක වෙයි. එබැවින් උත්තර ධ්‍රැව ආසන්නයේ ධවල හිම තලය මුළු මනින්ම වසා ටයිගා වනය පැතිරී මෙන් ඇතිවන සමස්ත බලපෑම තවත් වේගයෙන් ගෝලීය උණුසුම වැඩිකර ලීමට හේතු වෙයි.

වරක් මේ කියන තත්වය උද්ගත වු පසු වායුගෝලයට නිකුත් වන හරිතාගාර වායු පුමාණය අඩුකිරීමට කුමණ තැතක් ගත්තද ඒ වන විට ගෝලීය උණුසුම පාලනය කිරීමට අප ප්‍රමාද වී වැඩිය. අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ පැවැති ධ්‍රැව පරිසර පද්ධතිය ඒ වන විට නැවත ගොඩ නැගීමට නොහැකි තරම් අසාධ්‍යය තත්ත්‍වයකට පත්වී අවසානය.

ආචාර්ය ටිමි ෆ්ලැනරි ලි්‍යූ We are the weather makers නම් පොත සහ Nature Climate සඟරාව ඇසුරෙන් සකස් කළේ ජයා පත්මපානි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: