ග්ලැඩියේටර්වරුන් සටනට ගියෙත් ශක්තිජනක පාන බීලා

Posted by

කී‍්‍රඩා කරන අතර තුර හීන වී යන ශක්තිය නැවත ඇති කර ගැනීම සඳහා ශක්ති ජනක පාන වර්ග භාවිතා කිරීමට මලල ක‍්‍රීඩකයන් පුරුදුව සිටින්නේ කලකට පෙර සිටමය. කාබෝහයිඩ්‍රේට්, ජලය හා අයන වලින් සපිරි මෙම පාන වර්ග භාවිතයෙන්, කී‍්‍රඩාව අතර තුර දී ශරීරය විජලනය වීම වැළකී ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබෙන බව පෙනි ගොස් ඇත. මේ ශක්තිජනක පාන වෙනුවට ‘තහනම් උත්තේජකෙ’ වශයෙන් හඳුන්වන  ස්ටෙරායිඩ(steroids)  පාන තරඟවලට පොරාතුව ගැනීමට සමහර ක‍්‍රීඩකක‍්‍රීඩිකාවන් පෙළඹෙන බව ද නොරහසකි. අතිතයේ දී රෝම අධිරාජ්‍යයේ විසූ ග්ලැඩියේටර් සටන්කරුවන් මෙවැනි ශක්තිජනක පාන භාවිත කර ඇති බවට සාක්ෂි හෙළි කරගැනිමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.

අතීතයේ  සිටි ග්ලැඩියේටර්වරුන්ගේ සොහොන් පිටියක් තුර්කියෙන් සොයා ගෙන ඇති අතර ඔවුන්ගේඅස්ථි කොටස් විශ්ලේෂණයේ යෙදුණු  ඕස්ටි‍්‍රයාවේ වියනා වෛද්‍ය විද්‍යාලයේ වෝහාරික මානව විද්‍යාඥ ෆේබියන් කාන්ස්  ( Fabian Kanz, a forensic anthropologist at the Medical University of Vienna in Austria ) ඇතුළු පර්යේෂකයින් අනාවරණය කරන්නේ, අතීතයේ රෝමයේ විසූ සටන්කරුවන් පිරිසක් වූ, ග්ලැඩියේටර්වරුන් ද දැව අළු, විනාකිරි සහ ජලයෙන් සැදුම්ලත් (අයන වලින් සපිරි) ශක්තිජනක පානයක් භාවිතා කර ඇති බවයි. (ග්ලැඩියේටර්වරුන් වශයෙන් හඳුන්වන්නේ සැබැවින්ම යුධ සිරකරුවන්ය. සාමාන්‍ය මිනිසුන් හෝ වහලූන් වන මොවුන් මරණයට කැප වූ  වරදකරුවන්ය. රෝමයේ කොලීසියම් වැනි ක්‍රීඩාංගන වල පැවැත්වෙන සංදර්ශන  වලදී එකිනෙකා හා සටන් කොට ජය ගැනීම සඳහා පුහුණු කරුවන් විසින් ග්ලැඩියේටර්වරුන් පුහුණු කරන ලදී  )

ප්ලොස්වන් (PLOS ONE) සගරාවට අදහස් දක්වමින් කාන්ස් සඳහන් කළේ, සටන්කරුවන් විශේෂිත ‘ග්ලැඩියේටර්‘ ආහාර  භාවිතා කර ඇති බව ඓතිහාසික වාර්තා වල සඳහන් ව ඇතත් එය සැක සහිත බවය. බොහෝ් ග්ලැඩියේටර්වරු ශාකමය ආහාර වර්ග පමණක් භාවිතා කර ඇති  බවත්, සටන්කරුවන් හා එකළ විසු සාමාන්‍ය ජනයාගේ ආහාර අතර වෙනසක් නොවු බවත්, නවතම පර්යේෂණ මගින් සනාථ වන බව ඔහු පවසයි.

කාන්ස් ඇතුළු විද්යාඥයින්ගේ අරමුණ වූයේ, ග්ලැඩියේටර් වරුන් විශේෂිත ආහාර පාන භාවිතා කර ඇත්දැයි සොයා බැලීමයි. ඒ අනුව, තුර්කියේ එපිසස් ( Ephesus ) ප‍්‍රදේශයේ පුරාවිද්‍යා කැනීම් වලදී සොයා ගන්නා ලද, ග්ලැඩියේටර්වරුන්ගේ සුසාන භූමියෙන් ලබාගත් අස්ථි කොටස් විශ්ලේෂණය කරන ලදී. කාන්ස්් ප‍්‍රමුඛ ඔහුගේ සගයෝ අස්ථි කොටස් වල අඩංගු කාබන්, සල්පර් සහ නයිට‍්‍රජන් සමස්ථානිකවල ප‍්‍රතිශත විශ්ලේෂණය කළහ. සමස්ථානික යනුවෙන් හඳුන්වන්නේ එකම මූලද්‍රව්‍යක තිබෙන වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා සහිත පරමාණුයිි. එසේ සමස්ථානික පවතින ප‍්‍රතිශත ගණනය කිරීමට හේතුවුයේ, විවිධ ශාඛ හා සත්ත්ව ශරීරවල ඉහත සඳහන් මූලද්‍රව්‍ය වල සමස්ථානික විවිධ ප‍්‍රතිශත වලින් පැවතීමයි. අස්ථිවල අඩංගු වන මෙම සමස්ථානික ප‍්‍රතිශත වලින් අතීීත මනුෂ්‍යන්ගේ දිගුකාලීන ආහාර රටාවන් හෙලිදරව් කරගැනීමට හැකියාවක් පවතී.

විශ්ලේෂණයේදී, ග්ලැඩියේටර් අස්ථි කොටස් වල අඩංගු වන නයිට‍්‍රජන්-15 සමස්ථානික ප‍්‍රමාණය  අඩු බව දක්නට ලැබුණි. එය පරිප්පු, බෝංචි වැනි රනිල කුලයේ භෝග ආහාරයට ගන්නන් ගේ අස්ථි කොටස් වල පැවතිය යුතු නියම ප‍්‍රමාණයයි. පෙනී ගිය ආකාරයට ග්ලැඩියේටර්වරුන්ගේ ආහාරය, ශාකමය ආහාර වර්ග පමණක් භාවිතා කල රෝමවරුන්ගේ ආහාර වේලට වඩා  වෙනස් නොවුණු බව කාන්ස් පැවසීය. රෝම ඉතිහාසඥයින් පවසන්නේ ද ග්ලැඩියේටර් වරුන්ගේ ප‍්‍රධාන ආහාරය වුයේ බාර්ලි බවයි. රෝම පඩිවරුන් වන ප්ලයිනි(Pliny) ගැලෙන් ( Galen) සහ ටැසිටස් (Tacitus) ඔවුන්ගේ ග‍්‍රන්ථ වලින් විස්තර කර ඇති පරිදි ග්ලැඩියේටර් වරුන්ගේ ආහාර වී ඇත්තේ බාර්ලි සහ බෝංචි වර්ගයකි.

දිගුකාලයක් තිස්සේ ගන්නා ලද ආහාර පිළිබඳව රසායනික සලකුණු අස්ථි කොටස් වල දක්නට ලැබෙන නමුත්, ග්ලැඩියේටර්වරු වෙනස් ආහාර භාවිතා කළත් , අස්ථි කොටස් වල රසායනික සලකුණු දක්නට තරම් ප‍්‍රමාණවත් තරම් ජීවිත කාලයක් ගතකරන්නට ඔවුන්ට නොලැබෙන්නට  ඇතැයි කාන්ස් පැවසීය.

මෙම කණ්ඩායම අස්ථි වල අඩංගු ස්ට්‍රොන්ටියම් සහ කැල්සියම් යන මූලද්‍රව්‍ය වල ප‍්‍රතිශත පිළිබඳව ද අධ්‍යනය කලහ. ස්ට්‍රොන්ටියම් මූලද්‍රව්‍ය ශාක මගින් පහසුවෙන් පසෙන්  උරා ගනී. නමුත් මෙම ශාක ආහාරයට ගන්නා සතුන්ගේ ශරීරවලින් ස්ට්‍රොන්ටියම් ඉවත්වෙන බව කාන්ස් පවසයි. ඇතැම්විට, ස්ට්‍රොන්ටියම් පරමාණු විසින් අස්ථි වල ඇති කැල්සියම් පරමාණු ඉවත් කර එම ස්ථානය අත් කරගනු ලබයි. එම නිසා ශාකමය ආහාර පමණක්  ගන්නන්ගේ අස්ථි වල අඩංගු වන ස්ට්‍රොන්ටියම් ප‍්‍රමාණය ඉහළ බව කාන්ස් පෙන්වා දෙයි.

ග්ලැඩියේටර්වරුන්ගේ ඇටකටුවල තිබු ස්ට්‍රොන්ටියම් හා කැල්සියම් අතර ප‍්‍රතිශතය ග්ලැඩියේටර්වරුන් හා සෑම අතින්ම සමාන ආහාර වේලක් ගන්නා ලද, සාමාන්‍ය අයගේ ශරීරවල තිබූ ස්ට්‍රොන්ටියම් හා කැල්සියම් අතර ප‍්‍රතිශතය මෙන් දෙගුණයක් බව පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගන්නා ලදී.

පුරාණ ලේඛන වල විස්තර කර ඇති පරිදි, ග්ලැඩියේටර්වරු සටනට යෑමට පෙර, දැව අළු, විනාකිරි සහ ජලය මිශ‍්‍ර කර සෑදු බීමක් (ශක්ති ජනක පානයක්) පානය කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකි බව පර්යේෂකයින් ගේ අදහසයි. රෝමවරු තම කෑමට දුම් රසයක් එක් කර ගැනීමට මෙන්ම ඖෂධ ලෙස ද දැව අළු භාවිතා කර ඇත. ග්ලැඩියේටර්වරුන්ගේ අස්ථිවල ඇති ස්ට්‍රොන්ටියම් ප‍්‍රමාණය, ඉහළ මට්ටමක පැවතීමට මෙම ශක්ති ජනක පානය හේතු වන්නට ඇති බව කාන්ස් විශ්වාස කරයි.

‘‘ඔවුන්ට පානය කිරීමට තේ හෝ කෝපි තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට වයින් තිබුණා. ඔවුන් විනාකිරි වතුර සමග මිශ‍්‍ර කර පානය කොට තිබෙනවා. එය, කියන තරම් අප‍්‍රියජනක දෙයක් නොවේ. හොඳ විනාකිරි පානයකින්, ලෙමනේඞ් පානය කළ විට මෙන් ගත ප‍්‍රබෝධමත් කරන්නේය’’යි කාන්ස් කියා සිටියි.

 

Gladiator Gatorade: Ancient Fighters Drank Tangy ‘Sports Drink’ ඇසුරෙන් සකස් කළේ  චන්දන තෙන්නකොන්

 

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.