‘හීන් අඩියක්‘ ගැහීම හෘද රෝගීන්ට හිතකරද?

මද්‍යසාරය මිනිස් සිරුරට අහිතකරයි යන්න කලක් තිස්සේ පැවති පොදු පිළිගැනිමයි. එසේවුවත්, ‘හීන් අඩියක් ගැහීම’ විශේෂයෙන් හෘද රෝග තිබෙන අයට හිතකර ප්‍රතිපල අත්කර දිය හැකිය යන්න මෑත කාලවල ප්‍රචලිත මතයකි. මෙම අදහස බිමට ප්‍රියමනාප සගයන්ගෙන් පමනක් නොව වෛදය ක්ෂෙත්‍රයෙන්ද ඇතැම් අවස්ථාවල තහවුරුවන්නකි. එහෙත්, හෘද රෝගීන්ට එවැනි වාසියක් අත්පත් කරගතහැක්කේ එක්තරා සුවිශේෂී ජානයක් තම සිරුරු තුළ ඇත් නම් පමණක් බව අළුත්ම අධ්‍යයනයකින් පෙන්නුම් කරයි.
ස්විඩනයේ ගොතෙන්බර්ග් සරසවියේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද පර්යේෂණයට හෘද රෝග වැළඳී තිබෙන ස්වීඩන ජාතික ස්ත්‍රී පුරුෂ හයසිය දෙනෙකු සහභාගී කරගැනුණු අතර එමගින් ලබා ගත් දත්ත සෙෙව්ච්ජාවෙන් එක්වූ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් 3,000 කගේ පමණ දත්ත හා සංසන්දනය කෙරිණ. මද්යාසාරය පානයකිරීමේදී මොවුන්ගේ චර්යා රටා ගැන පර්යේෂකයෝ කරුණු වමසා බැලූ අතර ඔවුන්ගේ රුධිර කොලෙස්ටරෝල මට්ටම මැන ඒ ඒ පුද්ගලයාගේ කොලෙස්ටරෝල අක්මාවට ‘ප්රවාහණය කිරීම‘ පාලනය කෙරෙන ජානයක් ගැන ද කරුණු හැදෑරූහ.
එහිදී පෙණී ගියේ සාමාන්‍ය මට්ටමකින් මද්‍යසාරය පානය කිරීම, ඒ කියන්නේ දවසකට වඩි එකක් හෝ දෙකක් ගැනීමෙන් සමස්ථයක් වශයෙන් හෟද රෝග අවදානම සියයට 20 කින් අඩුවන බවකි. එහෙත්, පෙර කි කොලෙස්ටරෝල අක්මාවට ගෙන යාම පාලනය කෙරෙන සුවිශෙෂී ජානය ඇති අයගේ හෘද රෝග අවදානම සියයට 80 කින් පමණ අඩුවන බවත් අධ්‍යයනයෙන් හෙළිවිණ. එපමණක් නොව මෙම ජානය සිරුරේ තිබීමම හෟද රෝග අවදානම අඩු කිරීමට හේතු නොවන බවත් ‘අඩිගැසිම‘ හා එක්වූවිට පමණක් එවැනි හිතකර ප්‍රතිඵල අත්වන බවත් අධ්‍යයනයේ ප්‍රධානී ගොතෙන්බර්ග් සරසවියේ ඩැග් තේල්(Dag Thelle) පවසයි.
‘මද පමණින්‘ මද්‍යසාරය පානය කිරිම හෘදයට මද වශයෙන් හිතකර බව මෙයට පෙර සිදු කරන ලද අධ්‍යයනවලින් සංඛ්‍යාලේඛනාත්මකව පෙන්නුම් කෙරිණ. එසේ වූයේ විශාල ජනගහනයක් අතුරෙන් මෙම ‘වාසනාවන්ත‘ ජානය තිබෙන සුළු පිරිසකගේ දත්ත අහඹු ලෙස එකතු වීෙමන් දැයි සැක පහළ කරන පර්යේෂක තේල්, මද්‍යසාරය පානය කරන විශාල පිරිසකට කිසිදුවාසියක් අත්නොවන බව පවසයි. කෙසේවෙතත් නව සොයාගැනීම ගැන ස්ථිර නිගමනයකට ඒමට පෙර නැවත නැවතත් මේ පර්යේෂණය සිදු කළ යුතු බව ඔහුගේ අදහසයි. වාසිදායක ජානය ඇති සහ නැති අය අතර මද්‍යසාරය පානයකිරීමෙන් ඇතිවන ප්‍රතිඵල සම්බන්ධ විශාල වෙනසක් තිබෙන බව ඔහු දකියි. එහෙත් ස්ථිරවම කිවහැකි වන්නේ, හීන් අඩියක් ගැහීමට පුරුදුව සිටින අය මේ ගැන ඉදිරියටත් හොඳ විමසිල්ලෙන් සිටීම හිතකර බවයි.
සයන්ටිෆික් අමෙරිකන් සඟරාව ඇසුරෙන්
One Response to “‘හීන් අඩියක්‘ ගැහීම හෘද රෝගීන්ට හිතකරද?”
ඔයාලගේ මේ වැඩේ ඇත්තටම හොඳයි ..මොකද අපි වගේ අයට ඒක ගොඩක් වටිනවා..