ජංගම දුරකතන තිරයට කණ්ණාඩි පැළඳවීමේ තාක්ෂණය

Posted by

මැදි වයස් වෙනකොට අපි බොහෝ දෙනෙකෙුට පොතක් පතක් බලන්න, ඉඳිකටුවකට නූලක් දාගන්න  ඕන වූණහම, කණ්ණාඩි කුට්ටමක් හෙවත් උපැස් යුවලක් භාවිත කිරීමට සිදුවේ.  මෙම තත්ත්වය පොදු වහරේ හඳුන්වන්නේ ‘හතළිස් ඇඳිරිය’  යනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත් 40 වියේ පසුවන්නන් ගෙන් සියයට 40කටම කියැවීම සඳහා කණ්ණාඩි භාවිත කළ යුතුවේ. අවුරුදු 80 සහ ඊට වැඩි වයස් මට්ටම්වල දි මෙම සංඛ්‍යාව සියයට 70 ට ආසන්න වෙයි. ’’වයස් ගතවෙද්දී ආවර්තනය හෙවත් දිශාව වෙනස්වීෙම් දෝෂ අපේ ජිවිතවල වඩාත් වැදගත් කාර්යයක් ඉටුකරනවා’’ යනුවෙන් ස්ටැන්ෆර්ඞ් සරසවියේ විදුලි ඉංජිනේරු ශිල්පය පිලිබඳ සහකාර මහාචාර්ය ගෝඞ්න් වෙට්ස්ටීන් පවසයි.

කෙසේවෙතත් පිටතින් පළඳින කණ්ණාඩි හෝ ඇස තුළ රඳවන කාච පෙනීමේ දුර්වලතා මගහරවා ගැනිම සඳහා හැම අවස්ථාවකම සාර්ථකව යොදා ගත නොහැක. උදාහරණයක් ගතහොත් දුර පෙනීමේ දෝෂ නොමැති රිය පදවන්නෙකුට මාර්ගයේ වාහන සහ පදිකයන් හොඳින් පෙනුණත්, රථයේ වේග මාපකය කියැවීමට උපැස් අවශ්‍යවීම ගැටළු සහගත විය හැක. වෙට්ස්ටීන් පෙන්වා දෙන අන්දමට එවැනි ගැටළු සහගත අවස්ථාවල දී හොඳම විසඳුම වන්නේ පෙනීම ස්වයංක‍්‍රීයව නිවැරදි කරන සන්දර්ශකයි(displays)– ඒ කියන්නේ ජංගම දුරකතනයේ හෝ අදාල උපකරණයේ තිරයට උපැස් පැළඳවීමයි. එවන්  තිරයක් වෙට්ස්ටීන් ,  මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ  සහ කැලිෆෝනියා සරසවියේ ඔහුගේ සගයන් හා එක්ව දැන් නිර්මාණය කර තිබේ.

පෙනීම නිවැරදි කරන සන්දර්ශක මගින්, බුහුටි දුරකතනයක(smartphone)හෝ ටැබ්ලට් පරිගණකයක උසස් තත්ත්වයේ සම්මත තිරයට වෙනස් කිරීම් දෙකක් සිදු කරනු ලැබේ. ඉන් පළමුවැන්න, අඩු වියදම්, විනිවිද පෙනෙන සූචි(කුඩා) සිදුරු ගහණ මුද්‍රිත ආවරණයක් තිරයට සවි කිරීමයි. දෙවැන්න තිරයට සාපේක්ෂව බලන අය සිටින තැන තීරණය කෙරෙන ඇල්ගොරිතම උපකරණයට කේත ගත කිරීමයි. තිරය බලන්නාගේ දෘෂ්ටියට උචිත පරිදි රූපය එ මගින් වෙනස් කරයි. එසේ වෙනස් කරන ලද හෙවත් විපරීත රූපය විනිවිද පෙනෙන ආවරණයේ සූචි සිදුරු හරහා යද්දී, මෘදුකාංග හා දෘඪාංග සංයෝගයෙන්(එක්වීමෙන්) තිරය මත ඇතිකරන ‘දෝෂ‘ ඇස්වල ඇති දෝෂ අවලංගු කර පැහැදිලි චිත‍්‍රයක් මතු කර දෙයි. මෙවැනි උපැස් පැළැන්දූ තිර, මයෝපියාව හෙවත් අවිදුර දෘෂ්ටිකත්වයට, උපරිදෘෂ්ටිකත්වයට(hyperopia), විෂම දෘෂ්ටිකතාව(astigmatism) සහ තචත් සංකීර්ණ දෘෂ්ටි ආබාධ ඇති අයට සහනයක් වනු ඇත.

නව තාක්ෂණය සාර්ථක බව සුළු පිරිසක් යොදා ගෙන සිදු කරන ලද නොනිල පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පවසන වෙට්ස්ටීන් එහෙත් එය වඩාත් යහපත් බවට පත් කිරීමට නම් මහ පරිමාණ පරීක්ෂාවන් අවශ්‍ය බව කියා සිටියි. තිරයේ පතිත රූපය වුවමනා අන්දමට නාභිගත කිරීම පිණිස ස්ලයිඩරයක් සවි කිරීමට ද පරීක්ෂකයෝ සැලසුම් කරති.

සයන්ටීෆික් ඇමෙරිකන් හී Smartphone Screens Correct for Your Vision Flaws  ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.