පැරණි ටිබෙට් ජාතිකයන් මීටර් 3400ක් තරම් ඉහළ වාසය කළේ බාර්ලි වල පිහිටෙන්

Posted by

මීටර් 3000ක උසින් පිහිටි උස්බිමක ජිවත්වීම දුෂ්කරය. එවැනි තැනක වාතය තුනීය. එනිසා හුස්ම ගැනිම ආයාස කර දෙයකි.  මොළය ඉදිමීම පෙනහළු දියරයෙන් පිරීම වැනි තත්වයන්ට මුහුණ දීමට සිදුවීම නිසා එහි ජිවිතය වඩාත් අසිරුවේ. එහෙත් වසර දහස් ගණනක් තිස්සේ ඇන්ඩිස් කඳු සහ ටිබෙට් සානුව වැනි උස් බිම් වල මිනිසුන් ජීවත් වූහ. එසේ උස් බිම් වල සිය ජීවිතය ස්ථාවර කර ගැනීමට ටිබෙට් ජාතිකයන්ට උපකාරී වූ මූලික මෙවලමක් හදුනා ගැනීමට පර්යේක්ෂකයෝ සමත් වී සිටිති.

හිමාල කඳු වැටියෙන් වටව වර්ග කිලෝමීටර් මිලියන 2.5 ක් දුරට පැතිරුණු ටිබෙට් සානුව සාමාන්‍යයෙන් මිනිස්  ජනාවාස පිහිටුවීමට එරෙහිවන තැනක් ලෙස පෙනෙයි. එහෙත් වසර දස දහසකට ඉහත කලෙක සිට තැනින් තැන යන දඩයම්කරුවන් කලින් කලට එහි නතර වූ බවට පුරාවිද්‍යාඥයන්ට සාධක හමුවී තිබේ. වඩා ස්ථාවර වාසයක් අවශ්‍ය කෘෂිකාර්මික කටයුතු කෙදින කෙලෙස මේ උස් සානුව තුළ ඇති වීද යන්න මෙතෙක් අබිරහසක්ව පැවැතුණි. මෙම පැනයට පිලිතුරු සෙවූ චීන, ඇමරිකානු, බ්‍රිතාන්‍යය ගවේෂකයෝ කලින් කලට කළ කැනීම් වලින් රැස්කරගත් තොරතුරු මෑතකදී පර්යේෂකයන් විසින් කැවත විමසුමට ලක් කරන ලදී. 1970 තරම් ඈතක සිට  විවිධ මට්ටමින් පිහිටි විවිධ කාලවකවානු වලට අයත් කැනීම්  53කින් ලබා ගත් දත්ත මේ සඳහා යොදා ගැණිනි. කැනීම් ස්ථාන වලින් ලබාගත් අඟුරු වී ගිය ධාන්‍ය නියැදි 63 මේ රේඩියෝ කාබන් ක්‍ර‍මයට පරීක්ෂා කිරීමෙන් එකී වාසස්ථාන වල දින වකවානු හඳුනා ගැනීමට හැකිවිය.

එසේ හඳුනාගත් දින වකවානු කුතුහලය දනවන සුලු රටාවක් පෙන්වයි. ඒ අනුව වසර 3600 කට පෙර කළ ගොවිතැන් කටයුතු මීටර් 2500 සහ ඊට පහළ බිම්වල සීමාවී ඇත. ඒවායේ සුලබ ලෙස වගා කර තිබූ  ධාන්‍යය වර්ගය මිලට්ය. මිලට් යනු පුරාතනයේදී උතුරු චීන ප්‍රදේශයේ වගාකළ ධාන්‍යය වර්ගයකි.  එහෙත් වසර 3600කට පෙර කාලයක සිට ටිබෙට් ගොවීහු  සිය ගොවිතැන මුහුදු මට්ටමේ සිට මීටර් 3400 තරම් උස්බිම් දක්වා  ව්‍යාප්ත කළහ. මේ වෙනස්වීමට හේතුව කුමක්ද?

පර්යේෂකයන් සිතන අන්දමට මෙලෙස උස් ස්ථාන කරා ගොවිතැන සංක්‍රමණය කිරීමට හැකි වූයේ ගොවියන්ට වගාව සඳහා බාර්ලි බීජ  සොයා ගැනීමට හැකිවීම නිසයි. බාර්ලි සීතල දේශගුණයට සහ හිම පතනයන්ට ඔරෝත්තු දෙන ධාන්‍ය වර්ගයකි. එ නිසා එම බාර්ලි වගාව ටිබෙට්  උස් බිම් ජනාශ්‍රීත කිරීමට හේතුවූ බව වොෂින්ටන් රාජ්‍යය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ ජේඩ් ඩ‘ඇල්පොයිම් ගිඩෙ  විසින් මින් පෙර කළ අධ්‍යනයකින්  පෙන්වා දි තිබුනි

හරියට ම මීට අවුරුදු 3600කට පෙර සිට ටිබෙට් සානුව පුරා බාර්ලි වගාව සහ දැඩි ශිතලට ඔරොත්තුදෙන මාදිලියක තිරිඟු වගාව ආරම්බ වී ඇත. තරමක පහත් මට්ටමේ ඇති බිම්වල jdih කළ අය මිලට් වලින් සපිරි තම ආහාර වේලට බාර්ලි ටිකක්ද එකතු කරගත් බව පෙනේ.  එහෙත් ඉහළ බිමි වල වාසය කළ ගොවීහු මිලට් වගා ව මුළු මනින්ම අතහැර  බාර්ලි වගාව මතම සිය දිවි පෙවත පවත්වා ගත්හ.

බාර්ලි වගාවට හුරු වීම නිසා ශීත සෘතුවේදී වුවද සිය ආහාර සැපයුම නො අඩුව පවත්වා ගැනීමට උස් බිම් වල විසූ ටිබෙට් වැසියන්ට හැකි වන්නට ඇතැයි  පර්යේෂකයෝ සඳහන් කරති. “මීට වසර 10,500 කට පෙර මුලින්ම වගාව සඳහා බාර්ලි සහ තිරිඟු හීලෑ කරගනු ලැබුවේ ටිබෙට් සානුවට හාත්පසින්ම වෙනස් දේශගුණයක් ඇති බටහිර ආසියාවේ සාරවත් තැනිතලාවලය. එනිසා එවැනි  ධාන්‍ය වර්ග මුළුමනින්ම වෙනස් නව දේශගුණයකට ඔරොත්තු දිම අහම්බයක් විය හැකිය. බටහිර ආසියාවේ සිට  නැගෙනහිර ආසියාවට බාර්ලි සංක්‍ර‍ණය වුයේ කෙසේදැ යි අපි නොදනිමු“ යනුවෙන් පර්යේෂණ පත්‍රිකාව පිලියෙල කල කතෘවරු විද්‍යුත් තැපෑලක සඳහන් කර තිබුනි.

“මෙය අභියෝග ජනක ස්ථානයක් ජයගැනිමට සාංස්කෘතික උපක්‍ර‍මයක් යොදාගැනීම පිලිබඳ කදිම උදාහරණයක්” යැ‘යි ඇන්ඩිස් උස්බ්ම්වාසීන් පිළිබඳ අධ්‍යනයක යෙදෙන ජර්මනියේ ටුබින්ජන් සරසවියේ පුරාවිද්‍යාඥ කර්ට් රේඩ්මේකර් පවසයි. ඔහුට අනුව  මීටර් 3400ක් තරම් ඉහළට ගොවිතැන ව්‍යාප්ත වූයේ ටිබෙටයේ දේශගුණය වඩ වඩාත් ශිතල වූ අවදියක වීම පුදුමයට කරුණකි. එහෙත් එකී දේශගුණ බාධකය ජයගැනිමට බාර්ලි වලට හැකිවිය.  ටිබෙට් සානුවේ කැනීම් සිදුකළ තවත් පුරාවිද්‍යාඥයෙකු වන කැලිෆෝනියා විශ්ව විදයාලයේ මාක් ඇල්ඩෙන්ඩර්ෆර් විශ්වාස කරන අන්දමට ටිබෙට් සානුවේ ගොවිතැන් කටයුතු කිරීම සඳහා මුළු අවුරුද්ද පුරාම එහි වාසය කිරීම අත්‍යවශ්‍ය නොවන්නට ඇත.

“මා හිතන අන්දමට ටිබෙට් වැසියන් අවුරුදු 3600 කට පෙර ඉහල බිම් වලට සංක්‍ර‍මණය වීම පසුකාලීනව සිදුවුදෙයක්. කෙසේවෙතත් ජාන පරීක්ෂණ වලින් පෙන්නුම් කරන අන්දමට ටිබෙට් ජාතිකයන් උස් බිම් වල වාසයට හුරු වූයේ අවුරුදු 10,000ක් තරම් ඈත අතීතයේ” යැ‘යි ද ඹහු පවසයි.

එහෙත් ඉහළ බිම්වල වැසියන්ට ඇතිවන ජානමය සලකුණු පිලිබඳ මෑතකාලීන ජාන පරීක්ෂණ වලට අනුව ටිබෙට් ජාතිකයන් වැඩි ඉහළකින් පිහිටි ස්ථාන වාසභුමි කරගෙන ඇත්තේ මීට අවුරුදු 2750ටත් 5500ටත් අතර වූ කාලයකදීය. එය බොහෝදුරට මෙකී උස්බිම් වල කෘෂිකර්මාන්තය ඇරඹුනු අවදිය හා සමපාත වෙයි.  ජාන අධ්‍යන වලින් එකිනෙකට වෙනස් අදහස් පැවසෙන විට කාල වකවානු පිළිබඳ නිශ්චිත නිගමන වලට පැමිනිමට පුරාවිද්‍යාත්මක සාක්ෂි අවශ්‍ය වෙන බව පවසන  රේඩ්මේකර් ඉහළ බිම් පිලිබඳ පර්යේෂන කිරීම අසීරු නමුත් ඒ සම්බන්ධ වඩා නිශ්චිත නිගමන වලට පැමිණිමට තව තවත් දත්ත එකතු කරගැනීම වැදගත් බව පෙන්වා දෙනවා.

 

සයන්ස් සඟරාව ඇසුරෙන් සකස් කළේ රුවන් හරිස්චන්ද්‍ර  –

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.