විදු නැන නුවණ – Science Literacy for All

ප්ලූටෝ ගවේෂණ යානය නින්දෙන් අවදිවෙයි

නිව් හොරයිසන් යානය චිත්‍ර‍ ශිල්පියෙකුගේ ඇසින්

ඇමරිකා එකසත් ජනපදයේ නාසා ආයතනයේ නිව් හොරයිසන්ස් (New Horizons) යනුවෙන් නම් කෙරුණු ප්ලූටෝ ගවේෂණ යානය දිගු ‘නින්දකින් ‘ පසුව යළි අවදිවීමට නියමිතයි. ක‍්‍රි.ව.2006 දී පෘථිවියේ සිට ගමන් ඇරඹු මෙම ගවේෂණ යානය මහ පොළවේ සිට කි.මී.බිලියන 4.8 ක් පමණ දුර ඈත ප්ලූටෝ වාමන ග‍්‍රහයා (ග‍්‍රහ තත්වයෙන් සිට ප්ලූටෝ වාමන ග‍්‍රහයෙකු ලෙස අළුතෙන් නම් කෙරුනේ 2006 වසරේම අගෝස්තු මාසයේ දීය) ආසාන්නව නිරුපද්‍රිතව නිහඬ ගමනක යෙදී සිටියි. ”නිදාගෙන සිටියා දැන් ඇති අවදිව, වැඩට බැස ඵෙතිහාසික මෙහෙවරක් කිරීමට සුදුසු කාලය දැන් එළඹ තිෙබි” යයි ඇලිස් බෝමන් පවසයි. ඇමරිකාවේ මේරිලන්ඞ් හී ජෝන් හොප්කින්ස් සරසවියේ ව්‍යවහාරික භෞතික විද්‍යාගාරයේ සේවය කරන ඇය නිව් හොරයිසන් දුත මෙහෙවරෙහි මෙහෙයුම් කළමණාකාරිය ලෙස ක‍්‍රියා කරයි.

ප්ලූටෝ බලා යන දිගු ගමනේ තුනෙන් දෙකක් පමණම පසුගිය වසර 8 තුළ මෙම ගවේෂණ යානාව ගතකර ඇත්තේ නිදි සුවයෙනි. මෙම කාලයේදී වෙන වෙනම කාලජේද 18ක් තුළ දින 32 සිට 202 දක්වා වු කාල සීමාවන් වල යානාව ‘නිදිකරවා’ තිබුණි. අවසන් නිදි සමය ආරම්භ වුයේ පසුගිය අගෝස්තු 29 දාය. දින 99 ක් ඇවෑමෙන් ලබන මස (දෙසැම්බර්) 4 දා එය අවදිවීමට නියමිතයි. ඒ, 2015 වසරේ ජුලි 14 දා ප්ලූටෝට වඩාත්ම ළං වී ගවේෂණ කටයුතු කිරීමටය. ප්ලූටෝ ගවේෂණය ඇත්තටම ආරම්භ වන්නේ 2015 ජනවාරි 15 දායි. ඉන් පසුව ගතවන මාස හය තුළ නිව් හොරයිසන් යානය විවිධ විද්‍යා උපකරණ හතක් භාවිත කරමින් ප්ලූටෝ සහ එහි විශාලතම චන්ද්‍රයා වන චැරොන් හි භූවිද්‍යා තොරතුරු හා භූලක්ෂණ අධ්‍යයනය කරන අතර මේ වාමන ග‍්‍රහ පද්ධතියේ මෙතෙක් සොයාගෙන නැති චන්ද්‍රයන් සහ ග්‍ර‍හක වලලූ සෙවීමට ද බලාපොරොත්තු වන බව මෙහෙයුම් කණ්ඩායම කියා සිටිති.

1930 දී සොයා ගන්නා ලදුව අපේ සෞර ග‍්‍රහමණ්ඩලයේ නවවැනි ග‍්‍රහයා බවට පත්වු ප්ලූටෝ ගැන තොරතුරු බොහෝ දුරට මෙතෙක් අභිරහසක්ව පවතී. ඊට හේතුව එය බොහෝ කුඩාවීම, එහි අඳුරු බව සහ එය බොහෝ ඈත පිහිටා තිබීමයි. සාමාන්‍යයෙන් ගත් කළ සෞර ග‍්‍රහ මණ්ඩලයේ ඈතින්ම පිහිටි මේ අධිශීත අභ්‍යවකාශ වස්තුව සුර්යයාගේ සිට බිලියන 5.87 පමණ කක්ෂයක ගමන් කරයි. (මෙම දුර සුර්යයා හා පෘථිවිය අතර දුරමෙන් 3 න් ගුණයකි). නිව් හොරයිසන් ගවේෂණ යානය වරින්වර ‘නිදිගන්වන්නේ’ එහි විද්‍යුත් උපකරණ ‘ගෙවීයාම’ අඩුකිරීමට මෙන්ම මෙහෙයුම් වියදම් අරපිරිමැස්මටයි.

”දෙසැමිබර් 6 දා අවසන් නින්දෙන් අවදිවීම, සමස්ථ සෞර ග‍්‍රහ මණ්ඩලය හරහා ගිය ඵෙතිහාසික ගමනක අවසානය සංකේතවත් කරනු ඇත” යි නිව් හොරයිසන්ස් ප‍්‍රධාන ගවේෂක ඇලන් ස්ටර්න් පවසයි. ”අපි දැන් ඔන්න ප්ලූටෝගේ දොරකඩ ළඟටම ඇවිල්ලා”.

ප්ලූටෝ ආසන්නයෙන්ම ගමන් කළ පමණින් නිව් හොරයිසන් ගවේෂණ යානයේ මෙහෙවර නිමාවට පත් නොවනු ඇත. නෙප්චුල් ග‍්‍රහයා ඔබ්බෙන් පිහිටි කුයිපර් පථයේ (Kuiper Belt) එක්තරා වස්තුවක් අසළින් ගමන් කොට එමගින් ගවේෂණ කටයුතු සිදු කිරීමට මෙහෙයුම් කණ්ඩායම අපේක්‍ෂා කරති. එහෙත් 2019 දී පමණ එය සිදුකළ හැක්කේ පශ්චාත් ප්ලූටෝ මෙහෙයුමකට නාසා ආයතනයේ අරමුදල් ලැබුණොත් පමණකැයි ස්ටර්න් කියා සිටියි. නිව් හොරයිසන් වත්මන් මෙහෙයුමට නාසා ආයතනය වැය කරන මුදල ඩොලර් මිලියන 700 කි.

Scientific American වාර්තාවක් ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: