සෑහෙන කලක් තිස්සේ එක්සත්ජාතීන්ගේ සංවිධානය ලෝක ජනගහනයේ වැඩිවීම ගැන දැඩි අවධානයක් යොමු කරමින් සිටියේය. එමගින් අවුරුදු කිහිපයකට පෙර ඇස්තමේන්තු කළ ආකාරයට අනුව දැනට බිලියන 7 ඉක්මවාගොස් ඇති ලෝක ජනගහනය 2070 වන විට බිලියන 9 ක් දක්වා ඉහළ නැග අනතුරුව ජනගහන වර්දධන වේගය අඩුවීම නිසා 2100 වන විට බිලියන 8.4 දක්වා පහළ බසිනු ඇතැයි විශ්වාස කෙරිණි. එහෙත් මේ ඇස්තමේන්තුව එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ළඟදී ප්‍රතිශෝධනය කරන ලදී. ඒ අනුව 2050 වන විට ලෝක ජනගහනය බිලියන 9.6ක් වන බවත් එය 2100 වන විට බිලියන 10.9 ද්කවා ඉහළ යන බවත් නිගමනය කර ඇත. ජන ගහනය මෙසේ ඉහළ නැගීම මුළු මනින්ම පාහේ අප්‍රිකානු ජනගහනයේ වැඩිවීම නිසා සිදුවන බව ගණන් බලා තිබේ. කලින් ඇස්තමේන්තු වලට අනුව අප්‍රිකාවේ දරුපල අනුපාතය සැලකිය යුතු ලෙස පහළ යතැයි සිතා සිටි නමුත් තව දුරටත් එය එසේ නොවන බව වොෂින්ටන් සරසවියේ සංඛ්‍යාන විශේෂඥ ඇඩ්රියන් රැෆ්ටරි පවසයි. මෙසේ බිලියන ගණනින් වැඩිවන ලෝක ජනගහනයේ ආහාර අවශ්‍යතා සපයන්නේ කෙසේද යන්න ඉමහත් ප්‍රශ්නයක් වනු නිසැකය.