විදු නැන නුවණ – Science Literacy for All

විශේෂාංගය: විශ්වයෙන් 95% කම ඇත්තේ අඥාත ශක්තිය (Dark energy) සහ අඥාත ද්‍ර‍ව්‍යයයි (Dark matter).

ඒබල් 1689 නමින් හැඳින්වෙන මේ ගැලැක්සි සමූහය ගුරුත්වාකර්ෂණීය කාචකරණය (gravitational lensing)  නමින් හැඳින්වෙන ප්‍ර‍පංචයට අනුව ආලෝකය වක්‍ර‍කිරීමේ ලා බෙහවින් ප්‍ර‍සිද්ධය.  අඥාත ශක්තිය විසින් විශ්වය හැඩ ගස්වන්නේ කෙසේදැයි මේ ගැලැක්සි සමූහය සමබන්ධව කළ අධ්‍යයන වලින් හෙලිවී තිබේ.

විශ්වයෙන් 4/3 ක්ම සැදී ඇත්තේ Dark energy නමින් හැඳින්වෙන එක්තරා ගුප්ත පදාර්ථයකිනි. මෙහිදී Dark යනුවෙන් හැඳින්වෙන්නේ ‘නොදන්නා‘ යන අදහස බැවින් Dark energy  යන්නට වඩාත් සමීප සිංහල පරිවර්තනය ‘අඥාත ශක්තියයි‘. එහෙත් මේ අඥාත ශක්තිය කුමක්ද එය හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත අවබෝධයක් විද්‍යාඥයන්ට තවමත් නොමැත. එසේනම් අඥාත ශක්තිය යනුවෙන් දෙයක් විශ්වයේ ඇති බව විද්‍යාඥයන් දැනගත්තේ කෙසේද?

සුපර්නෝවා තාරකා වල පිපිරීම් පිරික්සා බලමින් සිටි එඩ්වින් හබල් නමැති අමෙරිකානු තාරකා විද්‍යාඥයා විශ්වය නොකඩවා ප්‍ර‍සාරණය වෙන බව 1929 දී පළ කළේය. එදා සිට විද්‍යාඥයන් තැත් කළේ විශ්වයේ එකී ප්‍ර‍සාරණය කෙතරම් වේගයකින් සිදුවන්නක්ද යන්න දැන ගැනීමටයි. මෙහිදී මූලික අදහසක් වූයේ ගුරුත්වාකර්ෂණ බලය විසින් සියලු ද්‍ර‍ව්‍ය එකිනෙක වෙත ආකර්ෂණය කරන බැවින් මෙසේ විශ්වය ප්‍ර‍සාරණය වීමේ වේගය අනුක්‍ර‍මයෙන් අඩුවිය යුතු බවයි. එනිසා බෙහෝ විද්‍යාඥයන්ගේ විමසිල්ලට ලක් වූ කරුණ වූයේ විශ්වයේ ප්‍ර‍සාරණය කිනම් වේගයකින් අඩුවෙන්නේද යන්නයි.

ඉන් පසු 1990 ගනන් වලදී එකිනෙකින් ස්වාධීනව කටයුතු කළ අජඨාකාශභෞතික විද්‍යාඥයන් කණ්ඩායම් දෙකක් විශ්වයේ ප්‍ර‍සාරණය කෙමෙන් කෙමෙන් අඩුවෙන වේගය සොයා ගණනය කර ගැනීම පිණිස ඈත අගාධ අභ්‍යවකාශයේ පිහිටි සුපර්නෝවා තාරකා පිරික්සුමට ලක්කළේය. එහිදී කණ්ඩායම් දෙකම මවිතයට පත් කළ සොයා ගැනීම වූයේ විශ්වයේ ප්‍ර‍සාරණ වේගය අඩුවෙන බවක් නොව අනුක්‍ර‍මයෙන් වැඩිවෙන බවකි. විශ්වය තුළ අති වස්තු එකිනෙක වෙත ආකර්ෂණය කරන ගුරුත්වාකර්ෂණයට අනුව කිසියම් අවස්ථාවකදී විශ්වයේ ප්‍ර‍සාරණය අඩුවෙමින් ගොස් නැවතිය යුතු නමුත් විශ්වයේ ඈතට යන්නට යන්නට මෙසේ ප්‍ර‍සාරණ වේගය නොකඩවා වැඩිවීම  කිසිසේත්ම සිදුනොවිය යුත්තකි. මේ නිසා විශ්වයේ ඇති කිසියම් දෙයක් ගුරුත්වාකර්ෂණයට ප්‍ර‍තිවිරුද්ධව කටයුතු කරන බව විද්‍යාඥයෝ නිගමනය කළහ. ඔවුන් ඒ දෙය හැඳින් වූයේ ඩාක් එනර්ජි (Dark energy) නොහොත් අඥාත ශක්තිය යනුවෙනි. සමස්ත විශ්වයේ ඇති මුළු ගුරුත්වාකර්ෂණ ධාරිතාවය අභිබවා යෑමට අවශ්‍යවන ශක්ති ප්‍ර‍මාණය ගණනය කර බැලූ විද්‍යාඥයෝ විශ්වයෙන් 68% ප්‍ර‍මාණයක් සමන්විත වී ඇත්තේ මේ අඥාත ශක්තියෙන් බව නිගමනය කළෝය. ඒ හැරෙන විට විශ්වයේ ඉතිරි ප්‍ර‍මාණයෙන් 27% ක් ම සැදී ඇත්තේ අඥාත පදාර්ථයන්ගෙන් (Dark matter) බවත් ඔවුහු පෙන්වාදුන්හ. මේ  නිගමනයට අනුව  අපට සුපුරුදු  ද්‍ර‍ව්‍ය ප්‍ර‍මාණය විශ්වයෙන් 5% ක් පමණි.

පරමසාරය (Quintessence)

විශ්වයේ නොකඩවා ප්‍ර‍සාරණයට මේ අඥාත ශක්තිය බලපාන අන්දම ගැන විද්‍යාඥයන්ට තවමත් ඇත්තේ  සීමිත දැනුමකි. අඥාත ශක්තියේ නියම ගුණාගුන මොනවාද යන්න තවමත් සොයාගත යුතුව ඇති කරුණකි. මෑතකදී කරන ලද සොයා ගැනීම් වලට අනුව විශ්වයේ ඉතිහාසය පුරාම මෙකී අඥාත ශක්තිය නිරන්තර බලපෑමක් ඇති කර තිබේ.

මේ සම්බන්ධයෙන් විද්‍යාඥයන් ඉදිරිපත් කර ඇති එක් අදහසක් වන්නේ මුළුමහත් විශ්වයම පරමසාරය ( “quintessence”) යනුවෙන් හැඳින්වෙන නිරන්තර ශක්ති ක්ෂේත්‍ර‍යකින් පිරී ඇති බවයි. තවත් මතයකට අනුව අඥාත ශක්තිය සම්බන්ධයෙන් අපේ නොදැනුවත් කමට මූලික හේතුව ගුරුත්වාකර්ෂණය යනු කුමක්ද යන්න අප තවමත් හරිහැටි නොදැන සිටීමයි.

එහෙත් මේ සම්බන්ධව ඇති මූලික මතයට අනුව අඥාත ශක්තිය සැලකෙන්නේ අවකාශයේම ගුණාංගයක් ලෙසයි. අවකාශය යනු හිස්දෙයක් නොවන බව අවබෝධ කරගත් මුල්ම තැනැත්තා ඇල්බර්ට් අයින්ස්ටයින් විද්‍යාඥයායි. ඒ අනුව අවකාශය තවතවත් විහිදිය හැකි බවද ඔහු ප්‍ර‍කාශ කළේය. විශ්වය ස්ථාවර බව එකල පැවැති වැටහීම වූ බැවින් එයට අනුකූල වීම පිනිස තම සාමාන්‍ය සාපේක්ෂතාවය (general relativity) පිළිබඳ නියාමය ඉදිරිපත් කරන විට විශ්වවේදීය නියතය (cosmological constant)  යනුවෙන් යමක් තිබිය යුතු බව අයින්ස්ටයින් ප්‍ර‍කාශ කළේය. එහෙත් විශ්වය නිරන්තරයෙන් ප්‍ර‍සාරණය වන දෙයක් බව එඩ්වින් හබල් පෙන්වාදුන් පසු විශ්වවේදීය නියතය යනු තමන් විසින් පළ කළ විශාලතම වැරදීම බව අයින්ස්ටයින් ප්‍ර‍කාශ කළේය.

එහෙත් තමන්ගේ විශාලතම වැරැද්ද යනුවෙන් අයින්ස්ටයින් අදහස් කළ ඒ විශ්වවේදීය නියතය පිළිබඳ අදහස බොහෝවිට විශ්වයේ අඥාත ශක්තිය තේරුම් ගැනීමට දායක විය හැකිය. හිස් අවකාශයකට එයටම හිමි ශක්තියක් ඇති බැවින් විශ්වවේදී නියතියට අනුව අවකාශය වැඩි වන විට තව තවත් ශක්තිය විශ්වයට එකතු වෙමින් විශ්වය ප්‍ර‍සාරණය වෙයි.

නිරීක්ෂණ වලට අනුව අයින්ස්ටයින්ගේ විශ්වවේදී නියතිය මනාව ගැලපෙන නමුත්, එසේ එය ගැලපෙන්නේ ඇයිදැයි  හරියටම පැවැසීමට විද්‍යාඥයන්ට තවම අපහසුය.

අඥාත ශක්තිය සහ අඥාත පදාර්ථ

විශ්වයෙන් වැඩිම කොටස අඥාත ශක්තියෙන් සමන්විත වුවද අඥාත පදාර්ථද සෑහෙන ප්‍ර‍මාණයක් විශ්වයේ පවතී. විශවයෙන් සියයට 27% මෙන්ම එහි අති පදාර්ථ වලින් 80%ක් පමණම සැදී ඇත්තේ මේ අඥාත පදාර්ථ වලිනි. අඥාත ශක්තිය මෙන්ම අඥාත පදාර්ථද විදයාඥයන්ට මහත් ගැටළුවක් වී ඇත. විශ්වය ප්‍රසාරණය වීමේ සාධකයක් වශයෙන් අඥාත ශක්තිය වැදගත් වන අතර අඥාත පදාර්ථ වැදගත් වන්නේ විශ්වයේ ඇති වස්තු සමූහ වශයෙන් හැසිරෙන අන්දම තේරුම් ගැනීමේදීය.

1950ස් ගණනවලදී විද්‍යාඥයන් ගැලැක්සි වල ස්වාභාවය නිරීක්ෂණය කරන විට සියල්ලන්ගේම බලා පොරොත්තුව වූයේ ගැලැක්සියක කේන්දුයේ ගුරුත්වාකර්ෂණය පරිධියේ පවතින ගුරුත්වාකර්ෂණයට වඩා වැඩි නිසා කේන්ද්‍ර‍යට ආසන්නව පිහිටිග්‍ර‍හ වස්තු ගැලැක්සියේ පරිධියට ආසන්නව පිහිටි ග්‍ර‍හ වස්තු වලට වඩා වැඩිවේගයකින් ගැලැක්සියේ කේන්ද්‍ර‍ වටා කරකැවිය යුතු බවයි. එහෙත් සියල්ලන්ගේ විමතියට ලක් වූ කරුණ වූයේ කේන්දුයට ආසන්නව පිහිටියද පරිධිවය ආසන්නව පිහිටියද ගැලැක්සියක ඇති සියලුම වස්තු තරකැවෙන්නේ එකම වේගයකින් බවයි. මේ අනුව සර්පිලාකාර ගැලැක්සියක ස්කන්ධය සාමාන්‍යයෙන් පෙනෙනවාට වඩා බෙහෙවින් වැඩිවිය යුතු බව විද්‍යාඥයෝ ප්‍ර‍කාශ කරති. ඉලිප්සියාකාර ගැලැක්සි සහ ගැලැක්සි සමූහයන් පිළිබඳව කරන ලද විවිධ අධ්‍යයන වලට අනුව මේ නොපෙනෙන අඥාත ද්‍ර‍ව්‍ය විශ්වය පුරා පැතිරී පවතින බව නිගමනය කළ හැකිවිය.

මෙකී අඥාත ද්‍ර‍ව්‍ය කෙබඳු විය හැකි දැයි මෙතෙක් කළ විමසීම් වලට අනුව ඒවා ඉතාමත් නොපැහැදිලි දේවල් වල සිට අද්භුත ආකාරයක අංශු වර්ගයක් දක්වා වු සවරූපයකින් පැවැතිය හැකියැයි විස්තර කර ඇත. කෙසේ වෙතත්  අඥාත ශක්තියේ හා අඥාත ද්‍ර‍ව්‍යයේ ප්‍ර‍භවය කුමක් වුවද සම්ප්‍ර‍දායික ක්‍ර‍මවලින් පමණක් විස්තර කළ නොහැකි විශ්වයේ පැවැත්මට බලපාන නොයෙක් දේවල් ද තිබෙන  බව පැහැදිලිය.

SPACE.com අඩවියට නෝලා ටේලර් රෙඩ් ලියූ ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: