ගෝලීය උණුසුම අනුක්රමයෙන් ඉහළයාම දේශගුණ විපර්යාසයට බලපාන අන්දම ගැන කලක සිටම විද්‍යාඥයෝ විමසිලි මත් වූහ. කලාපීය දේශගුණ රටාවන්ට අනුව දරුණු සුළි සුළං සහ ටොනාඩෝ කුණාටු වැඩිවිශයෙන් ඇතිවන්නේ පෘථිවියේ නිශ්චිත ප්‍රදේශවල නමුත් විදුලි කෙටීම් ලෝකයේ ඕනෑම තැනක ඇති විය හැකිය. හැම තත්පරයක් පාසාම ලෝකය පුරා අඩුම වශයෙන් විදුලි කෙටීම් 100ක්වත් ඇති වන බව ගණන් බලා තිබේ. ඒ අනුව එක් දිනකට ඇතිවන විදුලි කෙටීම් සංඛ්‍යාව මිලියන 8කි.
මෑතදී කැලිනෛියා විශව විද්‍යාලය විසින් කරන ලද කරන ලද අධ්‍යනයකට අනුව ගෝලීය උණුසුම ඉහළයාම විදුලි කෙටීම් සංඛ්‍යාව වැඩිකිරීමට හේතුවන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නොවැම්බර් 13 වන දින ජර්නල් සයන්ස් (the journal Science)සඟරාවේ පළ වූ නව අධ්‍යනයකට අනුව ගෝලීය උණුසුම වැඩිවන සෑම සෙල්සියස් අංශකයක් පාසාම විදුලි කෙටීම් සංඛ්‍යාව 12%කින් ඉහළ යා හැකිය. ඒ අනුව මේ ශත වර්ෂය අග වන විට විදුලි කෙටීම් සංඛ්‍යාව 50%කින් වැඩිවිය හැකිය.
මෙතෙක් කලක් වැඩි අවධානයක් යොමුවූයේ වඩා විනාශකාරී කුණාටු සුළිසුළං සහ ධාරානිපාත වර්ෂාපතනය වැඩිවීම සහ ගෝලීය උණුසුම ඉහළයාම අතර ඇති සම්බන්ධයටයි. කුණාටු සුළිසුළං හා දැඩි වර්ෂාවෙන් ඇතිවන ගංවතුරෙහි ප්‍රතිඵල ජීවිත හානි අතින් ඉහළ මට්ටමක පැවැතිය හැකි නමුදු විදුලි කෙටීම් නිසා සිදුවිය හැකි ව්‍යසනද අවතක්සේරු කළ හැකි ඒවා නොවේ. අමෙරිකාවේ පමණක් මේ වසරේ ඇතිවූ විදුලි කෙටීම් නිසා සිදු වූ අකුණු ගැසීම් වලින් මිය ගිය සංඛ්‍යාව 25 කි. අනෙකුත් රටවල සංඛ්‍යා එකතු කළ විට මෙය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යා හැකිය. එමෙන්ම වාර්සික ලැවිගිනිවාර්තාවලට අනුව ඇමෙරිකාවේ ඇතිවූ ලැව්ගිනි වලින් අඩකටම වග කිව යුත්තේ විදුලි කෙටීම් සහ අකුණු ගැසීම්ය. මේ ලැව්ගිනි නිසා පරිසර පද්ධතියට වන හානිය සුලුපටු නොවේ. එහෙත් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය වැඩිවීමෙන් ගෝලීය උණුසුම ඉහළයාම සහ විදුලි කෙටීම් අකුණු ගැසීම් වැඩිවීම අතර තිබිය හැකි සම්බන්ධතාවය ගැන මෙතෙක් එතරම් අවධානයක් යොමුවී නොතිබිණි. අනෙක් අතට ලැවිගිනි නිසාද හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් සැලකිය යුතු ප්‍රාණයක් වායු ගොලයට එක් වේ.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වායුගෝලිය ගතිකයන් පිළිබඳ පර්යේෂකයේකයකු වූ ඩේවිඩ් රොම්ප්ගේ ප්‍රධානත්වයෙන් කරන ලද මෙම අධ්‍යනය සඳහා අමෙරිකානු විදුලිකෙටීම් සටහන් කිරීමේ ජාතික ජාලය (National Lightning Detection Network) විසින් වාර්තාකරන ලද අමෙරිකාවේ විදුලි කෙටීම් මිලියන 20ක් පිළිබඳ දත්ත උපයොගී කරගෙන ඇත.
වාර්තාවේ නිගමන ගැන සඳහන් කරන ඊශ්‍රායලයේ ටෙල් අවීව් සරසවියේ වායුගෝලී ය විද්‍යාඥ කොලින් ප්‍රයිස් ගොලීය උණුසුම සහ විදුලි කෙටීම් පිළිබඳව ඔහු විසින් 1994 දී පළ කරන ලද අධ්‍යන වාර්තාවත් සමග මේ සොයා ගැනීම මනාව ගැලපෙන බව සඳහන් කරයි.
සයන්ටිෆික් ඇමෙරිකන් සඟරාවේ පළවූ වාර්තාවක් ඇසුරෙන්