දරුවන්ට අධ්‍යාපනය නිරස ඇයි?

Posted by

කොයිතරම් මුදලක් අපි දරුවන්ගේ අධයාපනයට වැයකලත්, පාසැල් වල ගුරු ශිෂ්‍ය අනුපාතය සතුටුදායක මට්ටමක පවත්වාගෙන ගියත්, අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම ඉහළ නැංවීමට යම්යම් දේවල් කලත් ඒ එකකින්වත් වර්තමාන පාසැල් අධ්‍යාපන ක‍්‍රමය බහුතරයක් ලමයින්ට ප‍්‍රීතිදායක අත්දැකීමක් බවට පරිවර්තනය කරන්න අපි සමත් වෙලා නැහැ. බොහෝමයක් ලමයි පාසැලට යන්නේ ඔහේ යන්නන් වාලේ මිස සතුටකින්, ප‍්‍රමෝදයකින් නොවෙයි. සම්ප‍්‍රදායික පාසැල් අධ්‍යාපනය ඔවුන්ගේ සිත් ඇදගන්නා ආකාරකට සකස් වී නැහැ. ඒ නිසාම ළමයින්ගෙන් බහුතරයක් උසස් අධ්‍යාපනයට යොමු කරගන්න අපිට බැරිවෙලා තියෙනවා. අපේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඔක්කොම වාගේ වැරදි බවයි පෙනී යන්නේ.

මනුෂ්‍ය ජීවිතය මුළුමනින්ම විකසිතවී පුබුදුවන්න අත්‍යවශ්‍ය වෙන කොන්දේසි තුනක් තියෙනවා. ගුරුවරු කොයිතරම් වලි කෑවත් ළමයි කොයිතරම් ඉවසගෙන හිටියත් අපේ අධ්‍යාපන ක‍්‍රමය ළමයින්ට ප‍්‍රියජනක අත්දැකීමක් නොවෙන්නේ ඒ මූලික කොන්දේසි තුනම ඇති පදමට සලකා නැති නිසයි.

ඉන් පළමුවෙනි කොන්දේසිය තමයි මනුෂ්‍ය වර්ගයා ස්වාභාවයෙන්ම විවිධය යන්න පිළිගැනීම. මනුෂ්‍යා එකිනෙකාගෙන් වෙනස්. දරුවෝ දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නා ගතිගුණ අතින්, ඕනෑ එපාකම් අතින්, ඇවැතුම් පැවතුම් අතින් එකිනෙකාගෙන් වෙනස්. ඒත් අපේ අධ්‍යාපන ක‍්‍රමයට පදනම වෙලා තියෙන්නේ දරුවන්ගේ ඒ විවිධත්වය නෙවෙයි. ඒ වෙනුවට ළමයි ඔක්කොම එක වගේ වෙන්න ඕනෑ. ඒ නිසා අධ්‍යාපනයේ කාර්යය ළමයි හැකිතරම් දුරට ළමයි සමානුරූපගත කරන එකයි කියන හැඟීමෙනුයි පාසැල් අධ්‍යාපනය සැකසිලා තියෙන්නේ. පාසැල් විෂය මාලාව හැදිලා තියෙන්නේ සීමිත විෂය ධාරාවන් කිහිපයක් මගින් අනුක‍්‍රමයෙන් ළමයි සමානුරූපී කොටස් කිහිපයකට අනුගත කළ යුතුයි කියන මතයෙනුයි. මෙහිදී මංකියන්නේ නැහැ දරුවන්ට විද්‍යාව සහ ගණිතය උගන්වන එක නරක දෙයක් කියලා. ඒවා අවශ්‍යයි. නමුත් ඒක පමණක් ප‍්‍රමාණවත් නැහැ. විද්‍යාව හා ගණිතයට සමාන බරක් සෞන්දර්යය ඇතුළු මානව ශාස්ත‍්‍රීය විෂයන්ටත්, ශාරීරික අධ්‍යාපනයටත් තියෙන්න ඕනෑ. සෞන්දර්ය සාහිත්‍ය කලා ඉගෙන ගන්න ඕනෑ, ඒ මගින් දරුවන්ගේ විකසිත නොකළ විවිධ ප‍්‍රිය මනාපයන් පුබුදු කළ හැකි නිසයි. එහෙම නැතුව ඒ නිසා ගණිතය විෂයට වැඩි ලකූණු ගානක් ගන්න පුළුවන් වේවි කියල හිතාගෙන නොවෙයි.

දෙවෙනි කාරණය තමයි මනුෂ්‍ය ජීවිතය උත්කර්ෂණිය එකක් වෙන්නේ මනුෂ්‍යාගේ නිසග ලක්ෂණයක් වන නොතිත් කුතුහලය නිසයි කියන එක. ඒ නිසා දරුවන්ගේ කුතුහලය අවුස්සන දේවල් අපේ අධ්‍යාපන ක‍්‍රමයට කරන්න පුළුවන්නම් වැඩි ආයාසයක් නැතිවම ඉගෙනීම ප‍්‍රියජනක කටයුතුතක් බවට පත් කරන්න පුළුවන්. ඉගෙන ගැනීමේ හැකියාව කියන එක දරුවන්ට ස්වාභාවිකවම පිහිටන දෙයක්. ඒ ස්වාභාවික හැකියාව අනිවාර්තේ මොටකරනවා වෙනුවට ඉස්මතු කරගැනීමයි හොඳ අධ්‍යාපන ක‍්‍රමයකින් සිද්ධ වෙන්න ඕනෑ. එක් ආකාරයකින බැලූවොත් කුතුහලය කියන්නේ ප‍්‍රියමනාප දෙයක් දිනාගැනීම සඳහා යොදාගන්නා යාන්ත‍්‍රණයක්. මං මේකෙදි වැඩියෙන්ම අවධාරණය කරන්නේ ගුරුභවතුන්ගේ කාර්යටයි. අවාසනාවකට අපි ගුරුකමට තිබිය යුතු වෘත්තීයමය තත්තවය නොසලකා හැර තිබෙනවා. වෘත්තියමය පරිචයක් තියෙන ගුරුවරු තමයි අධය්‍යාපන ක‍්‍රමයක ප‍්‍රාණ වායුව. ඒත් ගුරුවෘත්තිය කියන්නෙ නිර්මාණශීලී වෘත්තියක් මිස හුදෙක් තමුන් ළඟ තියාගෙන ඉන්න දැනුම අනුන්ට දෙන එකම නෙවෙයි. වෘත්තීය ගුරුවරයෙක් කියන්නේ උපදේශකයෙක්. ඒ විතරක් නෙවෙයි උත්තේජකයෙක්, පොළඹවන්නෙක්, කුලප්පු කරන්නෙක්. අධ්‍යාපනය කියන්නේ ඉගෙනගැනීමට. ඉගෙන ගැනීමක් වෙන්නේ නැත්නම් අධ්‍යාපනයක් ඇතිවෙන්නෙත් නැහැ. ඉගෙන ගැනීම ගැන කතාකරන්නේ නැතුව අධ්‍යාපනය ගැන කතා කිරීමෙන් පලක් නැහැ. අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ ඉගෙන ගැනීමට දරුවන් පෙළඹවීමයි.

ඒ නිසා ගුරුවරයාගේ කාර්යය ඉගෙනගැනීම පහසු කිරීමයි. එහෙත් මං හිතන විදියට ප‍්‍රශ්නෙ වෙලා තියෙන්නේ අපේ අධ්‍යාපන ක‍්‍රමය වැඩි සැලැකිල්ලක් යොමුකරලා තියෙන්නේ ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමට වැඩිය විභාග සමත් කිරීමට. මං කියන්නේ නැහැ විභාග වැදගත් නැහැ කියලා. කිසියම් ප‍්‍රමිතියක් පවත්වා ගැනීමට විභාග වැදගත් වෙනවා තමයි. ඒත් ඒක අධ්‍යාපනයේ මූලික කටයුත්ත නෙවෙයි. ඉගෙන ගැනීමේදී විභාගයක් කියන්නේ නිරාකරණය කර ගැනීමේ කටයුත්තක් මිස ආකූල කිරීමේ කටයුත්තක් නොවිය යුතුයි. කොටින්ම විභාගය ඉගෙන ගැනීම අවහිර කරන දෙයක් නොවිය යුතුයි. අවාසානාවට කුතුහලය ඇවිස්සීම වෙනුවට අපි විභාග යොදාගන්නේ ළමයි යටත් කරගැනීමට සහ ඔවුන් අතර සමරූපී මට්ටමක් ඇතිකර ගැනීමට. ගුරුවරුන් සහ ළමයින්ගෙන් අපි බලාපොරොත්තු වන්නේ නිශ්චිත ගණිත වගු වනපොත් කිරීමට කිරීමට මිස ඔවුන්ගේ කුතුහලය සහ අපූරු පරිකල්පන ශක්තිය අවදි කිරීමට නොවෙයි.

තුන්වෙනි කාරණය තමයි මනුෂ්‍ය ජීවිතය කියන එක සහජයෙන්ම නිර්මාණශීලී දෙයක්ය යන බව. අපේ ජීවිත නිර්මාණය කරගන්නේත් ජීවන ගමනේ විවිධ අවස්ථාවලදී එය ප‍්‍රතිනිර්මාණය කරගන්නේත් අපිමයි. ඒ නිර්මාණශීලීකම නිසයි මනුෂ්‍යන් සංස්කෘතික වශයෙන් විවිධ හා විචිත‍්‍ර වෙන්නේ. ජීවිකයේදී අපට ඇති නොයෙකුත් ආකාරයේ විකල්ප ගැන තක්සේරු කිරීමේ අනවරත ක‍්‍රියාවලියක් හරහා අපි අපේ ජීවිත නිර්මාණයකර ගැනීමේ නිරන්තර ක‍්‍රියාවලියක යෙදෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ එක වැදගත් කාර්යයක් වෙන්න ඕනේ අපේ මේ නිර්මාණාත්මක හැකියාව අවදිකර වැඩිදියුණු කිරීමයි. ඒත් ඒ වෙනුවට සම්ප‍්‍රදායික අධ්‍යාපනයේ පදනම වෙලා තියෙන්නේ සියලූ දරුවන් එකම විදියට ප‍්‍රමිතිගත කිරීමයි.

මූලිකම දේ අධ්‍යාපනය කියන්නේ මානුෂීය ක‍්‍රියාවලියක් මිස යාන්ත‍්‍රික ක‍්‍රියාවලියක් නොවෙන බව වටහා ගැනීමයි. එය මිනිසුන් පිළිබඳ කටයුත්තක්. අපේ අධ්‍යාපන ක‍්‍රමයෙන් අතරමග හැලෙන හැම ළමයෙක්ම එසේ හැලෙන්නේ ඒ ළමයාගේ චරිත ස්වභාවයට අදාළ කිසියම් මූලික හේතුවක් අධ්‍යාපනයෙන් ඉටු නොවෙන නිසයි. ඒ නිසා ළමයා අධ්‍යාපනය නීරස දෙයක් විදියට සලකනවා විය හැකියි. නැත්නම් එය තමන්ට එතරම් අදාළ දෙයක් නොවන බව කල්පනා කරන නිසා විය හැකියි.

ඉගෙන ගැනීමට ළමුන් පොළඔවන සාර්ථක විකල්ප අධ්‍යාපන ක‍්‍රම පිළිබඳ උදාහරණ කොතෙකුත් තිබෙනවා. ඒවායේ මූලික ලක්ෂණ වන්නේ එක් එක් දරුවාගේ සුවිශේෂ ස්වාභාවය සැලකිල්ලට ගන්නා පුද්ගල පාදක ඉගෙනීම, ඒ සඳහා ගුරුවරුන්ගේ වෘත්තීය දක්ෂතාවය වැඩි කිරීම, ආශ‍්‍රිත ප‍්‍රජා කන්ඩායම හා දැඩි සබඳතා පවත්වා ගැනීම, විවිධත්වය පදනම්ි කරගත් පලල් පරාසයක විෂය මාලාවක් තිබීම සහ පාසැල තුළ මෙන්ම පාසැලෙන් බැහැර නිර්මාණශීලී ක‍්‍රියාකාරකම් වලට සිසු දරුවන් පෙළඹවීම වැනි දෑයි.

මං හිතන විදියට අධ්‍යාපනය සම්බන්ධයෙන් අප දරන ආකල්ප සෑහෙන්න වෙනස් විය යුතුයි. ඉගෙනීම කියන්නේ මානුෂීය කටයුත්තක්. ඒ කටයුත්ත නිසි ලෙස ඉටුවෙන්න නම් ඒ සඳහා අවශ්‍ය කොන්දේසි සපුරා තිවේව් ඕනෑ. අපි ඓනද්‍රීය සත්වයෝ. පාසැල් සංස්කෘතියත් ඓන්ද්‍රීය දෙයක් වෙන්න ඕනෑ. සංස්කෘතිය කියන්නෙම ඓන්ද්‍රීය දෙයක් නේ.

මුලින්ම අපේ අධ්‍යාපනය පුද්ගල පාදක ඉගෙනීම හා ඉගැන්වීම මත ගොඩනැගිය යුතු බව අපි හිස් මුදුනින් පිළිගන්න ඕනෑ. ඉගෙන ගන්නේ එක් එක් දරුවා බවත් අධ්‍යාපනයේ කාර්යය ඒ එක් දරුවා තුළ ඇති කුතුහලය ඇවිලවීම, පුද්ගල ස්වාභාවය හා නිර්මාණශීලීත්වය මෙලවීම බව වටහා ගන්න ඕනෑ.

ඒ කටයුත්ත කල හැකි කෘතහස්ත නිර්මාණශීලී ගුරුවරුන් යොදා ගැනීමත් ඒ ගුරුවරුන්ට අවශ්‍ය කරන සම්පත් ලබා දීමත් ඊළඟ කාර්යයි. මෙහිදී ගුරුවරුන්ගේ වෘත්තීය හැකියාව වැඩිදියුණු කිරීමට වැයකරන මුදල් වියදමක් වශයෙන් සැලකීම වැරදියි. ඒක හොඳ ආයෝජනයක් විදියටයි අපි සලකන්න ඕනෑ.

තුන්වැනිව ඒ සඳහා අවශ්‍ය පූර්ණ බලය හා සම්පත් පාසැල් මට්ටමට විමධ්‍යගත කරන්න ඕනෑ. පාසැල් වල අවශ්‍යතාවයන් තමුන්ට අභිමත විදියට තීරණය කරමින් චක‍්‍රලේඛ, අණාඥා පණවන ආණ්ඩු ප‍්‍රාදේශීය ආණ්ඩු අධ්‍යාපන ක‍්‍රමයකින් මේ කටයුත්ත හරියට ඉටුවෙන්නේ නැහැ. ඉගෙනීම සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තු, පළාත් සභා ඇතුලේ නෙවෙයි. ඉගෙනීම සිද්ධ වෙන්නේ පාසැල් පංති කාමර තුළ, ඉගෙනීම කරන්නේ ගුරුවරු සහ ශිෂ්‍යයෝ. ඒ නිසා ඔවුන්ගේ මනාප නොමනාප කම් නොසලකන අධ්‍යාපන ක‍්‍රමයක් නිරස වීම පුදුමයක් නොවෙයි.

අධ්‍යාපනඥ කෙන් රොබින්සන් පැවැත්වූ ටෙඩ් කතාවක් ඇසුරෙන් සාර සංග‍්‍රහ කළේ ජයා පත්මපාණී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.