අප ඉන්නේ අයිස් සමයක ඉන්ටවල් එකේ?

Posted by

අයිස් සමයක් (Ice-Age) යනු පෘථිවියේ උෂ්ණත්වය සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම නිසා ධ්‍රැවාසන්න හිම තට්ටු වල ව්‍යාප්තියෙන් පෘථිවි ගෝලයෙන් සැලැකිය යුතු ප්‍රමාණයක් ඝන අයිස් තට්ටුවකින්වැසීයන වකවානුවකි.  මීට වසර බිලියන 4.5 කට පෙර පෘථිවිය ඇතිවීමෙන් පසු අද දක්වා ප්‍ර‍ාධාන පෙළේ අයිස් සම පහක් ඇතී වූ බවට සාක්ෂි තිබේ. ඉන් වඩාත් ප්‍ර‍බල වූ අවුරුදු මිලියන 850කට පෙර ඇරඹී අවුරුදු මිලියන 650 වන තෙක් පැවැති මහා අයිස්සමයේදී පෘථිවිය සමකය දක්වාම අයිස් වලින් වැසී තිබුනු බව සොයාගෙන තිබේ. මෙයට වසර මිලියන 2.6කට පෙර ඇරඹුනු මෑත අයිස් සමයේ බිහිවූ හිමතට්ටු තවමත් ධ්‍රැව ප්‍රදේශ වල දැක ගන්නට ලැබේ.  ඉහළ අමෙරිකානු එක්සත් ජනපදය. ජර්මනිය, පෝලන්තය හා රුසියාව මේ අයිස් සමයේදී මුළුමනින්ම පාහේ අයිස් වලින් වැසී ගිය අතර උත්තරාර්ධ ගෝලයේ දේශගුණය බෙහෙවින් සිසිල්විය.  තවමත් අවසන් නැති මේ අයිස් යුගයේ  අවුරුදු 40,000 සිට 100,000 දක්වා කාලාන්තර වල විටින් විට ග්ලැසියර පැතිරීමත් පසුබෑමත් නොකඩවා සිදුවෙමින් පවතී. මෙලෙස ග්ලැසියර පැතිරීම හා පසුබෑම අතර ඇති කාලය හඳුන්වන්නේ අන්තර්ග්ලැසියරීය අවධිය යනුවෙනි. අවසන්වරට ග්ලැසියර පැතිරීම නතර වූයේ මීට අවුරුදු 10,000 කට පමණ පෙරය.  ඒ ග්ලැසියර වලින් පසුබා ගිය කොටස් වලින් දැන් ඉතිරිව ඇත්තේ ග්‍රීන්ලන්තය හා ඇන්ටාටිකාව වසාගත් හිමතට්ටු පමණි. ප්‍ර‍ථම වරට මනුෂ්‍ය වර්ගයා කෘෂිකර්මය ආරම්භ කළේ එකී ග්ලැසියර පසුබෑමෙන් පසු ඇතිවූ යහපත් දේශගුණය ඇසුරෙනි.  එහෙත් දැන් අප ජීවත්වන්නේ ග්ලැසියර පසුබා ඇති ඉන්ටවල් එකක් ලෙස හැඳන්විය හැකි අන්තර්ග්ලැසියරීය අවධියකය.

අයිස් සම ඇතිවන්නේ ඇයි?

අයිස් සම පිළිබඳ ප්‍රථම අදහස ඉදිරිපත් කළේ ජිනීවා නුවර විසූ පියරේ මාර්ටල් නමැති ඉංජිනේරුවෙකු විසින් 1742 දීය.  වරක් ප්‍ර‍න්ස දේශසීමාවට නුදුරු  ඇල්ප්ස් කඳුකරයේ චෙවොනික්ස් නිම්නයට ගිය මාර්ටෙල්ට නිම්නයේ තැනින් තැන තිබූ විශාල ගල් කුට්ට් පිළිබඳ කුතුහලයක් ඇතිවිය. නිම්න වාසීන් ඔහුට පැවසූ පරිදි මේ දැවැන්ත ගල් කුට්ටි නිම්නයනට පැමිනෙන්නට ඇත්තේ බොහෝ කලකට පෙර නිම්නය වසාගෙන පැතිරුණු ගැලසියර නිසාය.  ඒ අනුව කලින් කලට පෘථිවියේ සැලැකිය යුතු ප්‍රදේශයක් අයිස් ග්ලැසියර වලින් වැසීයන්නට ඇතැයි මාටෙල් කල්පනා කළේය.

ග්ලැසියරයක් මගින් තල්ලුවී ඇවිත් රැඳුනු ගල් පර්වතයක්.  නොඅනුමානව මෙයනම් යෝධයෙකුගේ හෝ අතිමානුෂික බලවේගයක වැඩක් යැයි මේ ගැන ජනප්‍ර‍වාදයේ එන්නට ඇති.
ග්ලැසියරයක් මගින් තල්ලුවී ඇවිත් රැඳුනු ගල් පර්වතයක්. නොඅනුමානව මෙයනම් යෝධයෙකුගේ හෝ අතිමානුෂික බලවේගයක වැඩක් යැයි මේ ගැන ජනප්‍ර‍වාදයේ එන්නට ඇති.

පෘථිවියේ දේශගුණය බරපතල ලෙස වෙනස් කරන මෙවැනි අයිස් සම ඇතිවන්නේ ඇයිද  යන්න විද්‍යාත්මකව පැහැදිලි කළ  පුද්ගලයා වශයෙන්. ඔස්ට්‍රො-හන්ගේරියානු අධිරාජ්‍යයයේ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස කට යුතු කල මිලියුටින් මිලන්කොවිච් (Milutin Milankovich) සැලකේ. වර්තමානයේ සර්බියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේදී 1879 ජනිත වුන මිලියුටින්ට ප්‍රථම ලෝක යුද්ධය සිදුවු අවධියේදී  බුඩාෆේස්ට්හි හන්ගේරියානු විද්‍යා ඇකඩමි පුස්තකාලයේ රාජකාරි කටයුතු කිරීමට අවස්ථාව සැලසුනි.  ඒ වන විටත් ඔහු එකල මතුවූ විශාලතම විද්‍යාත්මක ගැටළුව වු අයිස් සමය (Ice-Age) ඇතිවීම පිළිබඳව හදාරමින් සිටියේය. ඉන් දශක දෙකකකට පසු 1941 දී ලෝකය තවත් මහා යුද්ධයකට අවතීර්ණ වී සිටියදී ඔහු සිය විශිෂ්ඨ කෘතිය “Canon of Insolation of the Ice-Age Problem” යනුවෙන් ප්‍රකාශයට පත් කලේය

අයිස් සම ඇරඹෙන මිලන්කොවිච් කාලචක්‍ර‍ තුන් ආකාරයකට ඇතිවෙයි.
මිලන්කොවිච් කාලචක්‍ර‍ තුන් ආකරයකට ඇතිවෙයි.

පෘර්‍ථවියේ දේශගුණය විචලනයට කාරක වන අයිස්-සමය ඇතිවීම මූලික වශයෙන් කාල චක්‍ර  තුනකට වෙන්කල හැකි බව මිලියුටින් මිලන්කොවිච් විසින් 1941දී තහවුරු කලේය. මේ කාල-චක්‍ර මිලන්කොවිච් චක්‍ර වශයෙන් හැඳින්වෙයි.මින් වඩා දීර්ඝතම කාල-චක්‍රයට හේතුව  පොලොව සූර්යා වටේ ගමන් කරන කක්ෂය  වසර 100,000 වරක් දික්වී වෙනස්වීමයි.  පොළොව සූර්යා වටේ ගමන්කරන්නේ  නියම වෘත්තාකාර කක්ෂයක නොවේ. වඩා නිවැරදිව කිවහොත් අණ්ඩාකාර හෙවත් ඉලිප්සියාකාර කක්ෂයක් ඔස්සේ පොළොව භ්‍රමණය වෙයි.  වසර 100,000 වරක් මේ කක්ෂයේ ඉලිප්ස(ellipse) මාර්ගය ඉඳුරා ත්‍රීව්‍රවෙයි. එවිට එම සංසිද්ධිය සිදුවන වකවානුව තුළ ප්‍රථීවිය වරෙක සූර්යාට වඩාත්ම නුදුරින්ද තවත් වරෙක සූර්යාට වඩාත්ම ඈතින්ද  ගමන් කරයි. මෙහි ප්‍රතිඵලය පොළොවට වැටෙන සූර්ය තාපයේ තීව්‍රබව තත් කාලය පුරා සැලකිය යුතු පරාසයකින් වෙනස් වීමයි.

පොළොව සූර්යා වටා යන කක්ෂ‍යේ ඉලිප්සීය ස්‍වභාවය වර්තමානයේ එතරම් තීව්‍ර නැත. එබැවින් ජනවාරි හා ජූලි මාස අතර පොලොවට වැටෙන හිරුරැස්වල වෙනස 6% වැඩිනොවේ. එහෙත් වසර ලක්ෂයකට වරක් පොළොවේ ඉලිප්සියාකාර කක්ෂය අතිශයින් තීව්‍ර වූ විට එම වෙනස ප්‍රමාණයෙන් 20%-30% අතර දක්වා ඉහළ යයි. පොළොව මත පතිත වන සූර්ය තාපය මෙතරම් විශාල පරාසයකින් වෙනස් කරන එකම කාල චක්‍රය මෙයයි. එනිසා එමගින් පොළොවේ දේශගුණයට ඇතිවන බල පෑම අති විශාලය.

වසර 42,000 ට වරක් ඇතිවෙන දෙවන වර්ගයේ කාල චක්‍රවලට හේතු වන්නේ සූර්යා වටා භ්‍රමණයවන පෘර්‍ථවිය සිය අක්ෂයේ සිට මඳක් පසෙකට ඇලවීමයි. මෙසේ ඇලවීමේ කෝණය  අංශක 21.8° සිට 24.4° ද දක්වා වෙනස්විය හැක.  පෘථිවිය මෙලෙස පසෙකට ඇලවීම ඒ මත වැටෙන සූර්ය තාපයේ ප්‍රබලතාවය වෙනස් කිරීමට හේතු වෙයි.

වඩාත් කෙටිම තුන්වන කාල චක්‍රය උද්ගත වන්නේ වසර 22,000 වරකි. ‍මෙයට හේතුව පෘර්‍ථවිය භ්‍රමණය වන අක්‍ෂය 22,000 වසරකට වරක් උතුරු තරුවේ සිට වේගා තරුව දිසාවට දෝලනය වීමයි. මේ සංසිද්ධිය සිදුවූවිට ශීත සෘතුව ඉතා අධික ශීතලයෙනුත් ගිම්හානය ගිනියම් රස්නයෙනුත් යුක්ත වෙයි.

ඉහත කී කාල චක්‍රයන් තුනම හැදින්වේන්නේ මිලන්කොවිච් කාල චක්‍ර යනුවෙනි. එහෙත් මිලන්කොවිච් කාලචක්‍ර අනුව අයිස්-සම (ice ages) උද්ගතවන්නේ ඊට අනුගාමීව මහාද්වීප  චලනය හෙවත් මහද්වීපිත ප්ලාවිතය (continentle drift)විසින් පෘර්‍ථවියේ ගොඩබිම් ප්‍රදේශ පෘර්‍ථවි  ධ්‍රැවයන්ට වඩාත් ලංකරනු ලැබූවිටයි. මේ සිදුවීම මිලන්කොවිච් කාල චක්‍ර සමග නියම කලට උද්ගත වූ විට ඇතිවන දෘඩ ශීත සෘතු (හා  සිසිල් ගිම්හාන) ධ්‍රැව ප්‍රදේශ වල අති විශාලවශයෙන් හිම එක්රැස්කරලිමට දායක වේ. ඒ සුවිශාල හිම කන්දරාව පැතිරීම නිසා අයිස්-සම උද්ගතවේ.

දෘඪ මිලන්කොවිච් කාල චක්‍ර තත්වයන් යටතේ වුවද වසරකට මහපොළොවට වැටෙන සමස්ත සූර්ය තාපයේ ප්‍රමාණය 1% කින් දහයෙනුත් පංගුවකට වඩා වෙනස් නොවේ. එහෙත් සූර්ය රශ්මි ප්‍රමාණයේ ඒ සා සුළුතර වෙනසට වුවද මහපොළොවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 5° කින් වෙනස් කල හැක.

මෑත අයිස් සමය දක්වන සිතියමක්  – සුදු පැහැයෙන් ඇත්තේ දැන් මෙයට අවුරුදු 15,000 කට පමණ පෙර  ග්ලැසියර පැතිරී තිබුන අාකාරයයි

පුරා විද්‍යාඥ බ්‍රයන් ෆගන්ට අනුවද මිලන්කොවිච් කාල චක්‍රවල  ඇතැම් ලක්ෂණ ඓතිහාසික වශයෙන් මනුෂ්‍යන් කෙරෙහි තීරණාත්මක ලෙස බලපා ඇත. එයට එක් නිදර්ශණයක් නම් ක්‍රි.පූ 4000 ත් 10,000 ත් අතර පෘර්‍ථවියේ කක්ෂය මඳක් වෙනස් වීම නිසා උත්තරාර්ධගෝලයට වැටුනු හිරුරැස් ප්‍රමාණය 7% – 8% අතර ප්‍රමාණයකින් වැඩිවීමෙන් උද්ගතවූ තත්ත්‍වයයි. මෙසේ පෘර්‍ථවි කක්ෂය මඳකින් වෙනස් වීම වායුගෝලයේ සංසරණ රටාවද සැලකිය යුතු පමණින් පෙරළියකට ලක් කිරීමට හේතුවිය. එහි එක් ඵලයක් වශයෙන් මෙසපොතේමියාවට වැටුණු වර්ෂාපතණය 25% ත් 30% අතර ප්‍රමාණයකින් වැඩිවිය. වරක් කාන්තාරයක් වශයෙන් පැවැති ප්‍රදේශයක් මේ හේතුව නිසා නිල්වන් තැනිතලාවක් බවට පත්වී ගොවිතැනින් යැපෙන විශාල ජන සංඛ්‍යාවකගේ වාස භූමියක් බවට පත්විය. එහෙත් ක්‍රි.පූ 3800 දී පෘථවියේ කක්‍ෂය යලි කලින් පැවැති තත්වයට පත්වූවිට වර්ෂාපතනය බෙහෙවින් අඩුවී මෙසපොතේමියානු ගොවි  ජනතාව අවතැන්වූහ.

නිසැක වශයෙන්ම කෙසේ සිදුවන්නේ දැයි විස්තර කළ නොහැකි නමුත් අයිස්-සම උද්ගතවීමට වායුගෝලයේ පවතින හරිතාගාර වායු සාන්ද්‍රණයද බලපාන බව අනුමාණ කෙරේ. මේ අනුමාණයට හේතුව නම්  දක්ෂිණාර්ධගෝලයේ හරිතාගාර වායු ප්‍රමාණය පහත දැමීමකින් තොරව මෙතෙක් කිසිම දේශගුණ කොම්පියුටර මොඩලයකට (computer model) අනුරූපී අයිස් සමයක් නිර්මාණය කිරීමට නොහැකිවීමය.  පෘථිවියේ, වායුගෝලයේ හා අභ්‍යවකාශයේ  ඇතිවිය හැකි විවිධ විචලනයන් පිළිබඳ උපකල්පනික දත්ත ඒ සඳහා විශේෂයෙන් පිළියෙල කළ කොම්පියුටර වැඩසටහන් වලට කැවීමෙන් දේශගුණික තත්වයන් නිර්මාණය කොට සැසඳීම මෙවැනි කොම්පියුටර මොඩල මගින් සිදුකෙරේ.

අයිස්-සම උද්ගතවීම පිලිබඳ ප්‍රහේලිකාව මිලියුටින් මිලන්කොවිච් විසින් 1941දී නිවැරදිව විසඳනු ලැබු නමුදු ඔහු එකල පළකල විශිෂ්ඨ ලේඛණය ප්‍රථම වරට ඉංග්‍රිසි බසට පෙරළුනේ 1969 වසරේදීය. ඒ වන විට සාගර පත්ලේ රොන් මඩ අතරින් විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූ සාධක මිලන්කොවිච් කාල චක්‍ර වලට අනුකූලව අයිස්-සමය නිසා ඇතිවන භූවිෂම ලක්ෂණ කදිමට තහවුරු කලේය. මිලන්කොවිච් කාල චක්‍ර වල බලපෑම  නිසා ඇත්තවශයෙන්ම මේ වන විට පෘර්‍ථවිය සිසිල්විය යුතුබවත් අප තවත් හිම යුගයකට මුහුණපාමින් සිටින බවත් යටකී අධ්‍යයනයන්ට අනුව බොහෝ විද්‍යාඥයෝ විශ්වාස කලහ. එහෙත් හුදෙක් එය වායුගෝලයේ හරිතාගාරවායු සමතුලිතය මානව ක්‍රියාකාරීකම් නිසා කෙතරම් තියුණු ලෙස වෙනස්  වී ඇත්දැයි දැන නිශ්චය කර ගැනීමට ටික කලකට පෙර තිබූ විශ්වාසයක් පමණි.

 

ආචාර්ය ටිම් ෆලැනරි ලියූ  We are the weathermakers නමැති පොත ඇසුරෙන් සකස් කළේ ජයා පත්මපාණී

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.