විදු නැන නුවණ – Science Literacy for All

භින්නෝන්මාදයේ (Schizophrenia) ප්‍රවේණික සුල මුල හෙළිවෙයි

කොරැසීන් වැනි ඩෝපමින් අවහිර කරන ඹෞෂධ රෝගය පාලනය කිරීමේදී උපකාර වන්නේ ඇයිදැයි යන්න පැහැදිළි කිරීමට ජාන විශ්ලේෂණ ප්‍රතිඵල උපකාරී වෙනවා.

මානසික ව්‍යාධිය ගැන එතෙක් මෙතෙක් කළ සුවිසල් ම අධ්‍යයනයෙන් සංකීර්ණ තොරතුරු රැසක් එළියට.

භින්නෝන්මාදය (Schizophrenia) කියන්නේ භ්‍රාන්ති, මායා දර්ශන, පීඩනෝන්මාදී බව, සහ වික්ෂෝභය යන තත්ත්ව හා බැඳුණු දොම්නස් හැඟුම් ඇති කරවන මානසික අාබාධ තත්ත්වයකටයි. මෙහි රෝග ලක්ෂණ මුලින්ම ඇති වන්නේ වයස අවුරුදු 16 – 30 අතර කාලයේ දීයී. අමරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් 100 කට එක් අයෙක් මෙම ආබාධයෙන් පීඩා විඳින බව හෙළි වෙලා තියෙනවා.  මෙම ආබාධය ඇති වීමට හේතුව, විශේෂයෙන්ම එයට ජානමය පදනමක් තිබේ ද යන කරුණ බොහෝ කාලයක් තිස්සේ විවාද සම්පන්න ව පැවතුණා. රෝගය බොහෝ සෙයින් පාරම්පර්ක බව දැන සිටියත්. නියැදි විශාලත්වය ප්‍රමාණවත් නොවීම, සහ වෙනත් ක්‍රමවේදීය බාධක නිසා ජානමය සම්බන්ධතාවය පැහැදිළිකර ගැනීමට දැරූ වෑයම් අසාර්ථක වී තිබුණා.

රෝගය පිළිබඳ එතෙක් මෙතෙක් සිදු කෙරුණු සුවිශාලම ජාන අධ්‍යයනය විසින් දැන් මානව ජෙනෝමයේ නිශ්චිත ස්ථාන 108 ක පිහිටි භින්නෝන්මාදය හා බැඳුණු ජාන ප්‍ර භේද 128 ක් හඳුනාගෙන තියෙනවා. මෙයින් වැඩි හරියක් ජාන, මෙයට පෙර මේ රෝගය හා සම්බන්ධ බවට හඳුනාගෙන තිබුණේ නැහැ. මේ සොයාගැනීමත් සමග, මේ රෝගයට ජානමය පදනමක් නැතැයි කියා නැගුණ තර්ක සියල්ලම අවලංගු වෙනවා.

නේචර් සඟරාවේ ජූලි කලාපයේ පළ කෙරුණු මේ අධ්‍යයනය සිදු කෙළ් ,ජානමය මනෝචිකිත්සාව පිළිබඳ සමූහයේ භින්නෝන්මාදය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට අයත්, රටවල් 35 කින් පැමිණි විද්‍යාඥයන් 300 ක එකමුතුවෙනුයි. පූර්ණ ජෙනෝම සම්බන්ධතා  අධ්‍යයනයක් යැයි කියන ලද මෙම අධ්‍යයනයේ දී පර්යේෂකයන් විසින් භින්නෝන්මාදය ඇති පුද්ගලයන් 37,000 ක ගේ පූර්ණ ජෙනෝමයන් භින්නෝන්මාදය නැති පුද්ගලයන් 113,000 කගේ ජෙනෝමයන් හා සසඳනු ලැබුවා. ජාන ද්‍රව්‍යයන්, නො එසේ නම් ඩී.එන්.ඒ (DNA ) සෑදී ඇත්තේ අණුක යුගල ශ්‍රේණියක් වශයෙනුයි. මේවා දහස් ගණනක් දාමයක් වශයෙන් බැඳීමෙන් ජානයක් බිහි වෙනවා.  පූර්ණ ජෙනෝම සම්බන්ධතා අධ්‍යයනයක දී සිදුවන්නේ රෝගය ඇති සහ නැති පුද්ගලයන්ගේ මෙම අනුක් යුගලයන් ඒවායේ පවත්නා පොදුවේ හඳුනාගෙන ඇති ජාන විකෘති සඳහා සංසන්දනය කර බැලීමයි. රෝගය ඇති පුද්ගලයන් කණ්ඩායම තුළ වෙසෙසි වශයෙන් බහුලව හමුවන විකෘති රෝගයට “අදාල” යැයි කියනු ලබනවා. පූර්ණ ජෙනෝම සම්බන්ධතා අධ්‍යයනය, පෙර පැවති ජාන අධ්‍යයනයන්ට වඩා රෝගයක ජෛවමය හේතුකාරකයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීමේ හැකියාවෙන් යුක්ත යැයි මේ අධ්‍යයනයේ මූලිකයෙකු වූ කේම්බ්‍රිජ් සරසවියේ බ්‍රෝඩ් ඉන්ස්ටිටියුට් හි බෙන්ජමින් නේල් පවසනවා.

මෙම තාක්ෂණයෙන් රෝගයට හේතු කාරක නිවැරදිම ජානය හඳුනා ගැනීමට හෝ අඩු තරමින් නිශ්චිත ජාන කිහිපයක් ඉලක්ක කිරීමට හෝ බැහැ. වඩාත්ම එයින් සිදු වන්නේ ජෙනෝමයේ රෝග අවදානම ඇති කරවන ප්‍රෙද්ශ සළකුණු කිරීමයි. මෙම ප්‍ර දේශයන් වැඩැදුර අද්‍යයනය කිරීම මගින් රෝගයට හේතුකාරක ජෛවීය ක්‍රියාවලිය අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති. “ අප විසින් අගුළු බිඳ දැමු කවුළු රැස තුළින් ඇතුළු වී භින්නෝන්මාදයට හේතු වන ජෛවීය කාරකය හා සටන් වදින්නට අන් අයට හැකියාව ලැබෙනු ඇතැයි“ මේ අධ්‍යයනයට මූලික වූ තවත් පර්යේෂකයකු වන වේල්ස් හි කාඩිෆ් සරසවියේ මයිකල් ඔ‘ඩොනවන් පවසනවා.

රසායනික පණිවිඩ කරුවකු වන ඩොපමයින් හි ක්‍රියාකාරීත්වය පහත හෙළන ඖෂධ සොයා ගත්තාට පසු, ගත වූ පනස් වසරකටත් වැඩි කාලය තුළ ම භින්නෝන්මාදය සඳහා වූ ප්‍රතිකාර විධි වැඩි දියුණු වී නැහැ. එබැවින් වඩා ප්‍රකට සිද්ධාන්තය කේන්ද්‍ර වී ඇත්තේ අධි-සක්‍රිය ඩොපමින් වෙතයි. නිසැක ලෙසම, ජෙනෝමයේ හඳුනාගත් ප්‍රදේශ තුළ ප්‍රති මනෝව්‍යාධික ඖෂධ වලින් අවහිර කරනු ලබන ඩෝපමයින් ප්‍රතිග්‍රාහක වර්ගය නිපදවන ජානයක් පවතිනවා.

මොළයේ අඩංගු තවත් රසායන ද්‍රව්‍යයක් වන ග්ලූටමේට් වෙතත් අවධානය යොමු වී ඇති නමුත්, එය ඉලක්ක කරගත් ඖෂධ සායනික පරීක්ෂාවන්වල දී එතරම් සාර්ථකත්වයක් පෙන්වා නැහැ. නව අධ්‍යයනය තුළින් ග්ලූටමේට් හා සම්බන්ධ ජාන කිහිපයක් පිළිබඳව ද ඉඟි ලැබී තිබෙනවා. “මෙය භින්නෝන්මාදයට ග්ලූටමේට් සම්බන්ධ බව තහවුරු කරන වැදගත් සාක්කියක්“ යැයි ඔ‘ඩොනවන් පවසනවා. ඔහු කියන්නේ “හරියටම එය වෙන්නෙ කොහොමද කියන එක වෙනම ප්‍රශ්නයක්” බවයි. පෙර යොදාගත් ඖෂධ අසාර්ථක වීමට හේතු විය හැකි කාරණයක් සඳහා උදාහරණයක් ලෙස ඒවායින් ඉලක්ක කෙරුණේ වැරදි ග්ලූටමේට් ප්‍රතිග්‍රාහකයක් විම දැක්විය හැකියි. ජාන විශ්ලේෂණ ප්‍රතිඵල ඖෂධ පර්යේෂකයන්ගේ ප්‍රයත්නයන්ට උපකාර වනු ඇති.

වෙනත් ඇතැම් නිගමනයන් එතරම් පැහැදිළි නැහැ.  කලින් දුම්බීමට සම්බන්ධ ලෙස දැක් වූ ජානයන්  ප්‍රතිශක්ති පද්ධති ජානයන්  ලෙස හඳුන්වා තිබෙනවා. මෙම නිගමනයන්, අවශ්‍යෙයන්ම භින්නෝන්මාදය ප්‍රතිශක්තිය හා සම්බන්ධයක් ඇති බව හෝ, දුම්බීමෙන් භින්නෝන්මාදය ඇති කරවන බව අදහස් කරන්නේ නැහැ. ජෙනෝමයේ ප්‍රතිශක්තියට අදාළ කොටසෙහි ඇති සිය ගණනක් ජාන අතුරින් සමහරක් ජෛවයේ වෙනත් කාර්යයන්ට අදාළයි. එමෙන්ම, ජානයන් විවිධ පටක තුළ දී විශේෂිත කාර්යයන් ඉටු කරනවා. “ ප්‍රතිශක්ති පද්ධති ප්‍රෝටීන බොහොමයකට මොළය තුළ විවිධ කාර්යයන් පැවරී තිබිය හැකි යි.” ඔ‘ඩොනවන් කියයි. දුම්බීම හා තිබෙන සම්බන්ධයත් එසේම අපැහැදිළියි. උදාහරණයක් ලෙස  ඇතැම් විට දුම්බීමට නැමියාවක් අැති කිරීමත්, භින්නෝන්මාදය වැළඳීමේ  අවදානම ඉහළ දැමීමත් යන කාර්යයන් දෙක, එකකින් අනෙක ඇති වනු වෙනුවට, ඒ දෙකම ඇති වීම එකම ජාන විකෘතිය නිසා සිදු වනු විය හැකියි.

සමස්තයක් ලෙස වැදගත් නිගමනයක් වන්නේ වෙනත් ඕනෑම එකක් මෙන් භින්නෝන්මාදයත් සංකීර්ණ සහජ ලක්ෂණයක් බවයි.  නමුත්  සංකීර්ණ වීම යන්නෙන් එය අභිරහසක් ලෙස පැවතිය යුතු බව අදහස් වන්නේ නැහැ. මෙයට පෙර කරන ලද පූර්ණ ජෙනෝම අධ්‍යයනයන්  දිවැඩියාව සහ ක්රෝන්ගේ රෝගය වැනි  ජානමය සහ පාරිසරිකමය මූලයන් හා ගැට ගැසුණ  රෝගයන් පිළිබඳ අතිශය වැදගත් සොයාගැනීම් වලට මුල් වූවා සේ ම මෙම අධ්‍යයනය භින්නෝන්මාදය පිළිබඳවත් වැදගත් තොරතුරු හෙළි කරනු ඇති බවට විශේෂඥයින් විශ්වාසය පළ කරනවා. “ ජෙනෝමය පුරා විසිරී ඇති කුඩා කුඩා පොදු ජානමය ලක්ෂණ රාශියක් අැති බවදැන ගැනීම ම වැදගත් සොයා ගැනීමක් “ බවයි නේල් කියන්නේ.” මෙහි විවිධ ජෛවීය ක්‍රියාවලීන් රාශියක් තිබෙන“ බව ඔහු පවසනවා.

 

සයන්ටිෆික් ඇමෙරිකන් සඟරාවට සයිමන් මාකින් ලියූ ලිපියක් ඇසුරෙන් සකස් කළේ ප්‍රියන්ත වීරසිංහ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: