විදු නැන නුවණ – Science Literacy for All

තවමත් අපි ගල් අඟුරු යුගයේ

2012 වසර වන විට රටවල් 59ක ගල් අඟුරු දහනයෙන් ක්‍රියාකරන නව විදුලි බලාගාර ඉදිතිරීමට විදුලිබල සැපයුම සමාගම් 483ක්  සැලැසුම් කර තිබූ බව ලෝක සම්පත් ආයතනය වාර්තා කළේය. මේ තාප බලාගාර වලින් 76%ක්ම පිහිටුවීමට යෝජනා කර තිබුණේ ඉන්දියාව සහ චීනයයි. ගල් අඟුරු නිශ්පාදනය නොකරන ඇතැම් රටවල්ද ගල් අඟුරු තාප බලා ගාර ඉදිකීරීමට කටයුතු කරගෙන යයි. සමස්තයක් වශයෙන් ගත් විට මෙගොවොට් 20,000ක් නිපදවිය හැකි ගල් අඟුරු තාප බලාගාර 36ක් ඉදිකිරීමට අමෙරිකානු එක්සත් ජනපදයද සැලැසුම් කර තිබුනි. මේ ප්‍ර‍වනතාවය ගොලීය උණුසුම වැඩිවීම පාලනය කිරීම සම්බන්ධයෙන් සපලදායී එකක් නොවන බව ලෝක සම්පත් ආයතනය කියයි.

ගල් අඟුරු වනාහී පෘර්‍ථවියේ බහුල වශයෙන්ම මිහිදන්ව පවතින කාබනික ඉන්ධන වර්ගයයි.  ‍ගල් අඟුරු හැඳින්වීමට  ඇතැම් විට භාවිතා කරන “වැළලුණු හිරු එළිය” (buried sunshine) යන අන්‍ය නාමය ඊට මනාව ගැලපෙයි.  මන්ද,  ගල් අඟුරු යනු ප්‍රභාසංස්ලේශණයෙන් වැඩී අවුරුදු මිලියන ගණනාවකට පෙර  හැල් වගුරුවල පාශාණිභූතවූ වෘක්ෂයෝය.  ශාක ගල් අඟුරු බවට පත්වන මුල් අවදියේ ස්වභාවය බෝර්නියෝවේ හෙල් වගුරු බිම් වලින් අද ද දැක ගන්නට පුළුවන.  එහි හෙල් බිම්වල වැවෙන දැවැන්ත වෘක්ෂයන් මඩ වගුර මත වැටී එරී යයි.  මඩ යට ඔක්සිජන් විරල බැවින් ගසේ දාරුමය කොටස දිරා යාම වැලකෙයි. මෙසේ කාලාන්තරයක් තිස්සේ මඩ මත වැටී තට්ටු ගනනින් එකපිට ගොඩගැසෙන දාරුමය කොටස් ගංගාමගින් ගෙනවිත් හෙල් ගොහොරුවල කාලාන්තරයක් තිස්සේ තැන්පත් වන රොන් මඩ නිසා සම්පීඩනයට ලක්වෙයි, එවිට ඒවා තෙතමනය හා අනෙකුත් ජීර්ණ ද්‍රව්‍යයන්ගෙන් වියුක්තව නිධිගතවෙයි.

දීර්ඝ කාල පරිච්ඡෙදයකදී හැල් ප්‍රදේශ කෙමෙන් කෙමෙන් පොලව යටට කිඳා බසින විට පොලොවේ උෂ්ණත්වය හේතු කොට දාරුමය  සහ අනෙකුත් අවශේෂ කොටස් රසායනිකව  ප්‍රතික්‍රියා කිරීම නිසා පීට් නමින් හැඳින්වෙන දහනය වන සුළු ද්‍රව්‍යය බවට පත්වේ. පළමුවෙන් පීට් දුඹුරු ගල් අඟුරු බවටත් වසර මිලියන ගනනකට අනතුරුව බිටුමිනස් නමින් හැඳින්වෙන තෙතමනයෙන් හා අපද්‍රව්‍යයන්ගෙන් අඩු ගල් අඟුරු බවටත් පත්වේ. තවදුරටත් උෂ්ණත්වයට හා පීඩනයට ලක්වූවිට ඒවායේ ඇති අපද්‍රව්‍යය සියල්ල පහව ගොස් තද කළු පැහැයෙන් යුත් ඇන්ත්‍රසයිට් බවට පත්වේ. මේ දිර්ඝ ක්‍රියාවලිය පරිපූර්ණ වීමට වසර මිලියන ගණනාවක් ගතවේ.

පෘථවි ඉතිහාසයේ මිට වසර මිලියන 50කට පෙර පැවැති ඊඔසින අවධිය (Eocene Period) අනෙකුත් අවධිවලට වඩා ගල් අඟුරු ඇතිවීමට බෙහෙවින් හිතකර විය. ඒ අවධියේදී ඔස්ට්‍රෙලියාවේද යුරෝපයේ ද අතිවිශාල ප්‍රදේශ හැල් වගුරු වලින් ගහන විය. එකල මේ ප්‍රදේශවල නිධිගතවූ වෘක්ෂ අවශේෂ මෙකල ගල් අඟුරු වශයෙන් හාරා ගනු ලැබේ. ඇන්ත්‍රසයිට් වර්ගයේ ගල් අඟුරු වශයෙන් අද හාරා ගන්නා වෘක්ෂයන් ජීවත් වූයේ මීට අවුරුදු මිලියන 290 -360 දක්වා පැවැති කාබොනිෆෙරස් අවධියේදීය (Carboniferous Period).   වර්මාන තෙත් කලාපීය වනාන්තර වලට වඩා බෙහෙවින් වෙනස් වූ කාබොනිෆෙරස් වනාන්තර බඳින් වට මීටර දෙකක් තරම් සහ උසින් මීටර 45ක් පමණ දැවැන්ත ලෙපිඩොඩෙන්ඩ්‍රොම් (Lepidodendron)වැනි වෘක්ෂයන්ගෙන් යුක්තවිය. මේ ශාක වර්ග බොහෝමයක් අද දක්නට නොලැබේ.

කාබොනිෆෙරස්  යුගයේ මහපොලොව සිව්පාවන්ගෙන්. පක්ෂීන්ගෙන් හා උරගයන් ගෙන් තොර විය. ඒ වෙනුවට තෙතබරිත කාබොනි‍ෆොරස් වනය ගහණ වුයේ කෘමීන්, හැකරැල්ලන්, මකුළුවන්  වැනි සත්ව වර්ගවලිනි. පරිසරය ඔක්සිජන් වලින් සරු වීතිබූ බැවින් තෙතබරිත කාබොනි‍ෆොරස් වනයේ විසූ පත්තෑයන්, හැකරල්ලන් වැනි සතුන් මීටර දෙකක් පමණ දක්වා දික්වූ අතර මකුළුවන් මීටරයක් පමණ විශාල විය. කැරපොත්තන් සෙන්ටි මීටර 30ක් පමණ දිග විය. ජලය මත තැනින් තැනට පියඹා ගිය කූරෙකුගේ විහිදුනු පියාපත් මීටරයක් පමණ දිගු විය. වගුරුබිම් වල ජලයෙන් යටවු තැන්වල කිඹුලෙකු තරම් විශාල ඉස්ගෙඩියන් වැනි උභයජීවීහු ජිවත්වූහ.

මේ තරම් ඈත යුගයකදී  පොලොව යට සදාකාලිකව තැන්පත්වු මල ශාක ද්‍රව්‍ය අද අපි ගල් අඟුරු වශයෙන් හාරා ගොඩගෙන පුලුස්සා දමමු. අපේම ප්‍රයෝජනය සාධාරණිය කිරීම සඳහා  අපට ඇති හැකියාව නොවන්නට  මේ ක්‍රියාව හා  මලවුන්ට බාධා කිරීම අතර වැඩි වෙනසක් නොමැත.

විදුලි බලය නිපදවීමට ගන්නා ඉන්ධන වර්ග

කාබනික ඉන්ධන මත යැපෙන අනාගතයක් සඳහා මුල් පියවර ගනු ලැබුයේ එංගලන්තයේ පලමුවෙනි එඩ්වඩ් (Edward I)රජතුමාගේ කාලයේදීය.  ගල් අඟුරු දැවීමෙන් නිකුත්වන ගඳ රජතුමාගේ අප්‍රසාදයට ලක් වූ  නමුදු කැලෑවල දර සොයා ගැනිමට තිබු අපහසුවත් ශීත කාලයේ ගල් අඟුරු පාවිච්චිය පහසුවීමත් නිසා එංගලන්තවාසීන් අතර ගල් අඟුරු ක්‍රමයෙන් ජනප්‍රියවිය.  මේ නිසා ගල් අඟුරු භාවිතා කල ප්‍රථම යුරෝපීයෝ එංගලන්තවාසීහු වෙති. එහෙත් ගල් අඟුරු කෙසේ ඇති වන්නේදැයි එකල මිනිසුන්ට අවබෝධයක් නොවිනි. ඒවා පොලොව යට වැවෙන ද්‍රව්‍යයක් බවත් ගොම වැනි පොහොර දැමූවිට වැඩි වේගයකින් වැවෙනු ඇති බවත් ඔවුන්ගෙන් ඇතැමෙක් විශ්වාස කලහ. ගල් අඟුරු දැවෙන විට දැනෙන ගෙන්දගම් ගඳ නිසා පොලොව යට ඇති අපාය හා ගල් අඟුරු අතර සම්බන්ධයක් ඇතැයි තවකෙක් විශ්වාස කලේය.

මේ විශ්වාස කෙසේ වෙතත් වර්ෂ 1700 වන විට ලන්ඩන් නගරයේ පමණක් දිනකට ගල් අඟුරුටොන් දහසක් දැවිනි. පොලොවේ ඉතා ගැඹුරට කනිනු ලැබූ ගල් අඟුරු  පතල් නිරතුරුව ජලයෙන් පිරීම නිසා වරින් වර ඉන්ධන අර්බුදයන්ට මුහුණ දීමට ලන්ඩන් නගර වැසියන්ට සිදු විය. මේ නිසා පතල් වලින් වතුර පොම්ප කොට ඉවත් කිරීමේ වඩා කාර්යක්ෂම ක්‍රමයක් සොයා ගැනිමේ ලා බොහෝ දෙනෙක් උත්සුක වූහ. කුඩා නගරයක කම්මල්කරුවෙකු වශයෙන් වැඩකල තෝමස් නිව්කොමන් (Thomas Newcomen) එහි ලා වඩා සාර්ථක ක්‍රමයක් සොයා ගැනීමට හැකිවූවන් ගෙන් කෙනෙකි.

මේ සඳහා නිව්කොමන් විසින් නිපදවන ලද මෙවලම ක්‍රියා කලේ ගල් අඟුරු  දහනයෙන් රත්වූ ජලයෙන් නිපදවන වාෂ්පයෙන් වැඩකරන පිස්ටනයක් මගින් ජලය පොම්පකිරීම මගිනි. නිව්කොමන්ගේ ජලවාෂ්ප යන්ත්‍රය මුල්වරට 1712දී ස්ටැෆොඩ්ෂයර්හි පතල් වලින් ජලය පොම්ප කිරීම සඳහා යොදාගැනින. ඉන්වසර පණහක් ගතවන විට වාෂ්ප යන්ත්‍ර සියගනනින් රටපුරා පතල්වල ජලය ඉවත් කිරීමට භාවිතා වු අතර එංගලන්තයේ ගල් අඟුරු නිෂ්පාදනය වසරකට ටොන් මිලියන හය දක්වා ඉහල ගියේය.

නිව්කොමන්ගේ මුල් සැලැස්ම වැඩි දියුණු කිරීමෙන් ජේම්ස් වොට් (James Watt)සහ විලියම් මර්ඩොක් (William Murdoch) විසින් දුම්රිය ආදී වාහනාදිය සඳහා වාෂ්ප ඇන්ජිම යොදාගත හැකිබව පෙන්වා දෙන ලදහ. ඒ මොහොතේ සිට 19වන සිය වස ගල් අඟුරු ශතවර්ෂය විය. ආහාර පිසීමට, ගෙවල් උණුසුම් කිරීමට, කර්මාන්ත ශාලා ක්‍රියාකරවිමට හා ප්‍රවාහන කටයුතු වලට ගල් අඟුරු තරම් වෙනත් කිසිදු ඉන්ධනයක් එකල භාවිත නොවින. 1882දී තෝමස් එඩිසන් (Thomas Edison) නිව්යෝක් නගරයට විදුලි බුබුල හඳුන්වා දුන් විට ගල්අඟුරු වලින් කෙරෙන මූලික කාර්යන් අතරට තාප බලාගාර මගින් විදුලි බලය නිපදවීමද එක් කෙරුනි.

දිනපතා වැඩිවන විදුලිබල ඉල්ලුමට මුහුන දීම සඳහා 1999 සිට 2008 වන තෙක් ලොවපුරා ගල්අඟුරු තාප බලාගාර 249 ක් අළුතින් ඉදිවී තිබුණි.   2019 වනවිට තවත් බලාගාර 419 ක්ද 2020 හා 2030 අතර කාලය තුල බලාගාර 710ක්ද ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙකී තාප බලාගාර සියල්ලෙන්ම නිපදවන විදුලිය ධාරිතාවය ගිගාවොට් 710ක් වෙතැයි අපේක්‍ෂා කෙරේ.  මේ සියළු තාප බලාගාර වල දැවෙන ගල් අඟුරින් නිකුත්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය  කාලාන්තරයක් තිස්සේ වායුගෝලයේ රැ‍ඳෙනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: