විදු නැන නුවණ – Science Literacy for All

සංගීතය අාහාරයට ගත හැකිද?

‘සංගීතය පේ‍්‍රමයේ ආහාරය වේ’ යන කියමන අප කවුරුත් අසා ඇතත් එය ආහාරයක් ලෙස පිළිගන්නේ පෙම්වතුන් පමණක් විය හැකියි. සැබවින්ම, සංගීතයට වෙනත් ආහාර වර්ගවලට මෙන් ‘රසයක්’ තිබිය හැකිද? එසේ තිබිය හැකි නම් ඒ කෙබඳු රසයක් විය හැකිද? සම්පරීක්‍ෂණ මනෝවිද්‍යාඥ චාල්ස් ස්පෙන්ස් සහ ඔක්ස්ෆර්ඞ් සරසවියේ   මාන අන්තර පර්යේෂණාගාරයේ පර්යේෂකයන්ට මේ ගැන යම් අන්දමක පැහැදිලි කිරීමක් කළ හැකිවේ.

මේ පර්යේෂණාගාරයේදී සිදුකෙරෙන්නේ ස්පර්ශය, රසය, ආඝ‍්‍රාහනය, දර්ශනය හා ශ‍්‍රවණය යන ඉන්ද්‍රීය සංවේදන පහ ගැන ගවේෂණය කිරීමයි. ඔවුන්ගේ සොයා ගැනීම් අතුරෙන්, රසේන්ද්‍රීය හා ශ‍්‍රවනේන්ද්‍රීය  ප‍්‍රබෝධකයන්ට අදාළ පර්යේෂණ වලින් කියැවෙන්නේ රසය හා තාරතාව(pitch) අතර ගම්‍යමාන සම්බන්ධතාවක් තිබීමට ඉඩ ඇති බවයි. ඉහළ තාරතාවක් (high pitched) ඇති ශබ්ද පැණි රසයක් හා ඇඹුල් රසයක් සහිත ආහාරවලට ප‍්‍රධාන වශයෙන් සම්බන්ධතාවක් දක්වන අතර අඩු තාරතාවක ස්වර සාමාන්‍යයෙන් සම්බන්ධ කෙරෙන්නේ වඩාත් තිත්ත හා (පැණි, ඇඹුල්, තිත්ත, ලූණු යන රසවලට වඩා වෙනස්) අමුතු ප‍්‍රණිත රසයක්මය (umami)

එමෙන්ම, ශ‍්‍රවණය කෙරෙන ධ්වනි පථය මත ආහාර රසය වෙනස්විය හැකි බවද ඔවුන්ගේ පර්යේෂණ වලින් හෙළිවෙයි. ඔවුන්ගේ එක් අධ්‍යයනයකදී, සහභාගි වන්නන්ට ටොෆි කමින් ඉහළ තාරතාවක ස්වර සහිත ධ්වනි පථයක් සහ පහළ තාරතාවක ස්වර සහිත ධ්වනි පථයක් වෙන වෙනම ශ‍්‍රවණය කිරීමට අවස්ථාව සැපයිණ. පැණි රස සිට තිත්ත රස දක්වා පරාසයක් ඇතුළත ටොෆියේ රස වර්ග කරන්නැයි    ඔවුනට දැනුම් දී තිබුණි. ඉහළ තාරකාවක ස්වරවලට ඇහුම්කන් දෙද්දී ටොෆියේ පැණි රසයක් දැනුනු බව සහභාගීවන්නෝ ප‍්‍රකාශ කළහ. පහළ තාරතාවක ස්වර සහිත ධ්වනි පථයකට සවන් දෙද්දී දැනී ඇත්තේ වඩාත් තිත්ත රසයකි. ශබ්දයෙහි වෙනසක් සිදු වුවා මිස ලබාදෙන ලද්දේ එකම සමාන වර්ගයේ ටොෆිය. එහෙත් සහභාගී වන්නන්ට ඒ බව දන්වා නොතිබුණි.

මේ ‘ටොෆි’ පරීක්‍ෂණයෙන් අනුප‍්‍රාණය ලත් ස්පෙන්ස් ලන්ඩනයේ House of Wolf නම් පර්යේෂණාත්මක ආපණ ශාලාවකද සිය පරීක්‍ෂණය පැවැත්වීය. ආහාර ගැනීමට පැමිණ පිරිසට කේක් ආලේපිත තිත්තපැණිරස (bittersweet) ටොෆියක් අතුරුපස ෙලස සපයා තිබුණි. ඒ සමග ජංගම දුරකතන අංකයක් ද දෙනු ලැබීය. සංගීතයට සවන්දෙමින් අතුරුපස ගනිද්දී ලබා දුන් අංකයට ඇමතුමක් ගෙන එක සහ දෙක යනුවෙන් නම් කළ බොත්තම් එබීමට අවස්ථාව සලසා තිබුණි.  අතුරුපස වඩාත් පැණි රස නම් ‘එක’ බොත්තම එබිය යුතු වු අතර වඩාත් තිත්ත රසය සඳහා ‘දෙක’ බොත්තම එබිය යුතු විය. ස්පෙන්ස් සඳහන් කරන අන්දමට ධිවනි පථයේ වෙනස්කම් අනුව තිත්ත හා පැණි රස අගයෙහි සියයට 5-10 ක වෙනසක් පෙන්නුම් කෙරිණ.

පර්යේෂකයන් සිදුකළ තවත් අත්හදා බැලීමකදී එක් එක් ජනවාර්ගික රටා අනුව ඉවුම් පිහුම් කළ ආහාර වර්ග හා එම ජනවාර්ගික කොට්ඨාශයට අයත් සංගීතය සවන් දීමෙන් රසයෙහි උද්දීපනයක් ඇතිවන්නේ දැයි සොයා බැලිණ. උදාහරණයක් ලෙස ඉන්දියානු ආහාර ගනිද්දී වටපිටාවේ සිතාර් සංගීතය ඇසෙන්නට සලස්වනු ලැබු අතර ප‍්‍රංශ ආහාර කෑමට ගනිද්දී ප‍්‍රංශ ඇකෝඩියන්  හඩ මිශ්‍ර සංගීතය අසන්නට ලබාදුනි. ආවේනික සංගීත රටා අසන්නට ලැබීමෙන් ආහාරයෙහි ප‍්‍රත්‍යක්‍ෂ තථ්‍යභාවය එනම් අදාළ ජනවර්ගයට සැබවින්ම ආවේනික ආහාර විශේෂයක් යන හැඟීම වඩාත් තීව‍්‍රව දැනී ඇති බව පෙනී ගියේය.

කෙසේ වෙතත්, සංගීතය (හඩ) හා රසය අතර ඇති සම්බන්ධව තේරුම් ගැනීමට නම් අවබෝධ කර ගත යුතු, දැනගත යුතු දෑ තව බොහෝ ඇතැයි පවසන ස්පෙන්ස් දැනට සොයාගෙන ඇති තොරතුරු සංගීතය හා රසය අතර අන්තර් සබඳතාව කෙබඳු දැයි පැහැදිලි කෙරෙන විද්‍යාත්මක සොයා ගැනීම් වලට  වඩා උපාඛ්‍යාන හා ලූහු අන්දර ලෙස තමන් සළකන බව ප‍්‍රකාශ කරයි. ඔහුගේ දිගුකාලීන අපේක්‍ෂාවන් වන්නේ සංගීතය හා කෑම රසය එකට එක් කිරීම තුළින්, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ රටාවකට දායක වන්නේ කෙසේදැයි සොයා බැලීමයි.

 

Scientific American සඟරාවේ පළවූ  The Sound (And Taste) Of Music ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: