විදු නැන නුවණ – Science Literacy for All

කුරුලූ ගීත හා මිනිස් කතාව අතර ඇති සබඳතාව තහවුරු වේ

සීබ්‍රා ෆින්ච් පක්ෂියා

පක්‍ෂී විශේෂ 48ක ජෙනෝම හෙවත් ජීවයක ප‍්‍රවේණී ද්‍රව්‍ය අනුක‍්‍රමණය කර ඇති ආකාරය හඩ(ස්වර) නැගීමෙහි(vocalization) පරිණාමීය මුලයන් පැහැදිලි කරන අතර මිනිසුන්ගේ කථන ආබාධ පිළිබඳ සැඟවුණු කරුණු හෙළිකර ගැනීමට ද මග පෑදිය හැකිය.

ගායක කුරුල්ලන්(songbirds) වශයෙන් වර්ග කෙරෙන පක්ෂීහු ඇතැම්විට මිනිස් අප මෙන් ගොත ගසති. ළමා කල .බහ තෝරති.. මොළයේ කොටසකට හානි පැමිණියහොත් ගොළුවෙති. එමෙන්ම ඔවුන් සිය වැඩිහිටියන්ගෙන් සින්දු කීම ඉගෙන ගන්නා අතර ඇතැම් විට ද්විභාෂික (bilingual)  කුසලතා ද වර්ධනය කර ගැනීමට පවා සමත් වෙති. මිනිසුන් ද එසේමය. වෙන අන්දමකට පෙන්වා දුනහොත් ගීගයන කුරුල්ලන්ගේ හඬ නැගීම් සහ මිනිසුන්ගේ කථනය අතර බොහෝ සමාන ගති ලක්‍ෂණ(traits) ඇත. එහෙත් එම සමානතාව හුදෙක් චර්යාවේ කොටසක් නොව ඉන් ඔබ්බට ගමන් කරන්නක් බව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත. දෙපාර්ශ්වයම එකම මුලයක සිට පරිණාමනය වු කාල වකවානු ගතහොත් පක්ෂීන් හා මානවයන් අතර වසර මිලියන ගණන් පරතරයක් ඇතත් අපට කතනය හුරුපුරුදු වීමට මග පෑදු ජාන හා පක්ෂීන්ට කුරුලූ සර නැගීමට උදව් වී ඇති ජාන අතර පොදු සමානකම් බොහොයක් තිබෙන බව නව පර්යේෂණයන්ගෙන් හෙළි වී තිබේ.

වසර හතරක් මුළුල්ලේ පැවති මෙම පර්යේෂණයට ලොව පුරා පර්යේෂකයන් සියයකට වැඩි සංඛ්‍යාවක් සහභාගී වු අතර කුරුලූ විශේෂ 48ක ජෙනෝම විශ්ලේෂණය පිණිස සුපිරි පරිගණක (super computers)  නවයක ප‍්‍රබල හැකියාව යොදා ගැනිණ. මෙම පර්යේෂණ ප‍්‍රතිඵල ලොව පිළිගත් Science සඟරාවේ ලිපි අටක් ලෙසටත් වෙනත් සඟරාවල පර්යේෂණ ලේඛන 20ක් ලෙසටත් පළකරනු ලැබ ඇත. පක්‍ෂී පෙළපත් සටහන පිළිබඳව මෙතෙක් ලැබී ඇති පරිපුර්ණ චිත‍්‍රයක් ඒවායින් සැපයේ. ගී ගැයුම උගෙන ගන්නා කුරුල්ලන්ගේ මොළයෙහි ජාන සංඥා සහ මානව කථනයේ ප‍්‍රවේණි ලක්‍ෂණ අතර පුදුම සිතෙනසුලූ සමානකම් හෙළිකර ගැනීමට ද මෙම අධ්‍යයනය මග පාදා ඇත.

නව අධ්‍යයනයෙන් පළවෙන්නේ, ඩයිනසෝරයන්ගේ නෂ්ට ප‍්‍රාප්තිය හෙවත් විනාශයෙන් වසර මිලියන දහයක් ගතවු අවස්ථාවේම සිද්ධ වු කුරුලූ නානාංගීකරණයෙහි .මහා පිපුරුමක්. බඳු වු කැපී පෙනෙණ විශේෂ ප‍්‍රාප්තියක් (speciation)  හෙවත් නව සත්ව විශේෂ ඇතිවීමක් තුළින් නුතන පක්‍ෂීන් බොහොමයක් මතුවු බවයි.  කලින් සිදුකළ ජාන විශ්ලේෂණ වලදී පළවුවාට වඩා මෑත කාලයක් ලෙස මෙම යුගය සැලකෙන අතර එය ෆොසිල වාර්තා සමගද මනාව ගැලපේ. මෙම පර්යේෂණයේදී එකතු කරගෙන ඇති අගනා දත්ත විමර්ෂණය කිරීමෙන්, වැදගත් කරුණු ගණනාවක්ම ඉස්මතු කර ගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති. පක්‍ෂීන්ගේ දත් හැලූණු (පක්‍ෂීන්ගේ දත් නැතිවී ගිය) කාලය හඳුනාගැනීම, කිඹුලන්ගේ සාපේක්‍ෂ මන්දගාමී පරිණාමය ගැන සොයා බැලීමට හැකිවීම, මානවයන් හා කුරුල්ලන් අතර හඬ නැගීම ඉගෙන ගැනීමේදී දැකිය හැකි සමානතා දැන ගැනීම එම කරුණු අතර වේ.

ස්වර නැගීම ඉගෙනීමේදී පක්‍ෂීන් අතර ඇති රටා සොයා ගැනීම මානව කථනය හා කථන ආබාධ අධ්‍යයනය කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කළ හැකිවේ. ජානවල සමානතාවක් ඇත්නම් මිනිසුන් යොදවා ගෙන කළ නොහැකි එහෙත් ගායක කුරුල්ලන් ගැන අධ්‍යයනය මගින්, අදාල ජාන කාර්යයන් ගැන පරීක්‍ෂණ පැවැත්වීමට අවකාශ ලැබෙන බව මෙම අන්තර් ජාතික ප‍්‍රයත්නයේ ප‍්‍රධානියෙකු වන ඩියුුක් සරසවියේ ස්නායු ජීව විද්‍යා (neurobiology) සහාය මහාචාර්ය එරික් ජාවිස් පවසයි. භාෂාව උගැනීමේදී මානවයන්ට මතුවන ගැටළු ගැන සොයා බැලීමට විද්‍යාඥයෝ දැනට දිගු කාලයක් තිස්සේම ගායක කුරුල්ලන් උපයෝගී කර ගනිති. ඊට හේතුව මෙම හැකියාව සහිත අනෙකුත් විශේෂ එතරම් නොමැති කමයි. හඬ නැගීම වෙනස් කිරීමේ හැකියාව ප‍්‍රිමාටේස් (primates) අතුරෙන් ඇත්තේ හෝමෝ සේපියන්ස් විශේෂයට පමණකැ.යි ස්නායු විද්‍යාඥවරියක සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා හා භෞතවේද මහාචාරිණීී ස්ටෙෆ්නි වයිට් කියා සිටියි. ඇය නව පර්යේෂණයට සම්බන්ධ නොවු ස්වාධීන විද්‍යාඥවරියකි. අනෙකුත් ප‍්‍රිමාටේස් සතුන් හෙවත් අගේ‍්‍රශයන් හඬනගමින් සංනිවේදනයෙහි නොයෙදන බවක් මින් හැඟවෙන්නේ නැත. එහෙත් නිදසුනක් ගතහොත් චිම්පන්සියන් නගන ගෙරවිලි හඞ, යටි ගිරියෙන් කෑ ගැසීම්, හුහඬ නැගීම් ඉබේටම සිදුවන ඒවාය. (ඉගෙනගත් ඒවා නොවේ). වයසින් වැඩි චිම්පන්සියෙකුට වඩා ගැඹුරු හඬක් තරුණ චිම්පන්සියෙකුට තිබිය හැකි වුවත් වයසක චිම්පන්සියාත් තරුණ චිම්පන්සියාත් නගන හඬ බොහොමත්ම සමානයයි වයිට් පෙන්වා දෙයි. එහෙත්, මානවයන් හා ගීගයන කුරුල්ලන් කුඩාකල .බහතේරීම්. සිට සංකීර්ණ ස්වර නැගීම් දක්වා ඉගෙනීමේ කාර්යයේ දී කාලයාගේ අවෑමෙන් වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ස්වර නැගීමේ හැකියාව ඇති අතළොස්ස අතර (ඒ කියන්නේ ස්වර නැගීම උගෙන ගන්නා විශේෂ) ඩොල්පින් සතුන්, මුහුදු සිංහයන් වවුලන් හා අලි ඇතුන්ද ඇත.

සීබ‍්‍රා ෆින්ච් (Zebra Finches)  යන කුරුලූ විශේෂයට අයත් කුරුල්ලන්ගේ හඬ නැගීම් වලට බලපාන මොළයේ ප‍්‍රදේශ විශ්ලේෂණය කර (ඇත්තටම ලේසර් මගින් විච්ජේදනය කර) අනතුරුව එම ප‍්‍රදේශවල ජාන ක‍්‍රියාකාරිත්වය විශ්ලේෂණය කිරීම කෙරෙහි ස්වර නැගීම ඉගෙනීම ගැන සිදුකෙරෙන නව අධ්‍යයන වලදී වැඩි අවධානය යොමුවිය. ඉන් පසුව පර්යේෂකයෝ එම ජාන මට්ටම මානවයන්ගේ මොළයෙහි (එම ප‍්‍රදේශවල) ජාන මට්ටම හා සසඳා බැලූහ. එවිට පෙනී ගියේ හඬ නැගීම ඉගැනීමට අදාල මිනිස් හා කුරුලූ මොළ කොටස් අතර ජාන 55ක සමාන නම් ඇති බවයි. ගිරව් සහ ගුමන කුරුල්ලන් වැනි ස්වර නැගීම උගෙන ගන්නා අනෙකුත් කුරුලූ විශේෂ වල ජාන විශ්ලේෂණ වලදී ද මෙම ප‍්‍රතිඵලම දැකිය හැකි විය. ගී ගැයීමට උගෙන ගන්නා කුරුල්ලන්ගේ ජෙනෝම වලින් සියයට 10 ක් ගායනයට සම්බන්ධ බව තවත් පර්යේෂණ ලිපියකින් කියැවිණ. මේ ලිපි දෙකම බලගතු සාක්‍ෂි ලෙස වයිට් දකියි.

මිනිසුන් හා කුරුල්ලන් අතර ස්වර නැගීම ඉගෙනීමට අවශ්‍ය ජාන ජාලයේ සමානකම් එතරම් පුදුම සහගත නොවේ. මෙම හැකියාව මිනිසා හා පක්‍ෂියා අතර ස්වාධීනව වර්ධනය වුවත් එහි මුලයන් පරිණාමීය වශයෙන් ගත් කළ එකට එක්ව තිබෙන්න ඇතැයි සැලකේ. මිනිසුන් හා පක්‍ෂීන් පරිණාමය වී ඇත්තේ මේ මිහිතලයේ සමාන පරිසර තුළ වීමද මෙයට බලපෑ හැකි සාධකයකි. විශේෂ බොහෝ ගණනාවක්, පෙනීමට අදාල ප‍්‍රශ්නවලට සමාන විසඳුම් සොයා ගත්තාසේම ස්වර නැගීම ඉගෙනීමේදී මිනිසුන් හා කුරුල්ලන් සමාන උපාය මාර්ග යොදා ගන්නට ඇත.

මෙම නව සොයා ගැනීම් අනාගත ගවේෂණයන් සඳහා බොහෝ ඉඩකඩ සලසනු ඇතැයි විශ්වාස කෙරේ. ඉතින්, ළමාවියේදී බහතෝරන්න, කෑකෝ ගසන්න, ගී ගයන්න මිනිස් අපට තියෙන හැකියාව ගැන සීබ‍්‍රා ෆින්ච් කුරුල්ලන් මගින් තවත් නොයෙක් දේ අනාවරණය කර ගන්න ඉඩකඩ ඇතැයි විශ්වාසයෙන්ම කිව හැකිවේ.

SCIENTIFIC AMERICAN සඟරාවේ Massive Genetic Effort Confirms Bird Songs related to Human Speech ලිපිය ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: