විදු නැන නුවණ – Science Literacy for All

විශේෂාංගය: වකවානු දොරටු

භූගර්භවිද්‍යාව(geology) හදාරන ශිෂ්‍යයන් විවධ භු-කාල සීමා (geological time scale) ස්මරණය කිරීම සඳහා “කැන් ඔලී සී ඩවුන් මයික්ස් පෑන්ට්ස් පොකට්ස් … ” වැනි වාක්‍යය කට පාඩම් කරති. මෙහි “කැන්” යන්නෙන් කැම්බ්‍රියන් (Cambrian) අවධියද “ඔලි” යන්නෙන් ඔර්දෝවිසියන් (Ordovician) අවධියද “සී ” යන්නෙන් සිලුරියන් (Silurian) අවධියද ඈ වශයෙන් අප වෙසෙන චාතුර්ර්‍ථක අවධිය (Quaternary) දක්වා විවිධ වකවානු මතකයේ රැඳවීමට උපකාර වෙන පද අඩංගුය. මේ ලයිස්තුව කට පාඩම් කිරීමෙන් ශිෂ්‍යයයන්ට මුලික භු-කාල බෙදුම් මතකයට නඟා ගත හැකි නමුත් තවදුරටත් මේ එක් එක් අවධියක් යුගවලටත් ඒ යුග විවිධ අතුරුයුග වලටත් බෙදෙන බැවින් සියලු නම් යෙදුම් සිහියේ තබා ගැනීම අපහසුය. මේ අතුරින් අවසාන බෙදුම් හැදින්වෙන්නේ ඇතැම් නිශ්චිත ප්‍රදේශවලට පමණක් සීමිත භූ-කලාපීය ඒකක වශයෙනි. උදාහරණයක් වශයෙන් උතුරු අමෙරිකාවේදී කේනොසොයික ‍යුගය (Cenozoic era) තවත් විවිධ භූ කලාපීය ඒකක වලට බෙදී ‘උතුරු අමෙරිකානු භුමි සිව්පාවන්ගේ කාලය’ යනුවෙන් හැඳින්වේ. මේ බෙදුම් ඉතා කුඩා නමුත් භූ-කාලසීමා ඒකක වශයෙන් සැලකූ විට ඒ අන්තර් බෙදුම් පවා වසර මිලියන ගනනාවක කාල පරිච්ඡේදයක් ආවරණය කරයි.

භූ-කාල සීමාවන් ඉතා පහසුවෙන් එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීමට හැකිවන්නේ භුවිද්‍යාඥයන් විසින් “සත්වසංහතියේ උද්ගමනය” (faunal turnover) යනුවෙන් හඳුන්වනු ලබන පරිදි ඇතැම් සත්ව විශේෂ හදිසියේ විනාශව ගොස් වෙනස් සත්ව විශේෂ බිහිවීම මඟින් එම වෙනස පිළිඹිඹුවන බැවිනි.

භූ-කාල සීමා

භූ-කාල සීමා

එක යුගයක සිට වෙනත් යුගයකට සංක්‍රාන්තිය සිදුකරන මේ සංසිද්ධි උද්ගතවීම “වකවානු දොරටු (time’s gateways) යනුවෙන් හැඳින්විය හැකිය. මේ යුග සංක්‍රාන්ති සිදුවන අවදිවල දේශගුණය  එක ගතිකයක සිට ඊට මුළුමනින්ම වෙනස් ගතිකයකට කඩිනමින් සංක්‍රමණයවේ.

සාමාන්‍යයෙන් යුග සංක්‍රාන්තිවලට තුඩුදෙන කරුණු අතරින් මහාද්වීප ඝට්ඨන  ඇතිවීම, ග්‍රහ වස්තු ඝට්ටනය හා හරිතාගාර වායු සාන්ද්‍රනය අධික වීම වැදගත් සාධකය. මේ සාධක තුනම එකිනෙකින් වෙනස් ආකාරයට යුගප්‍රාප්තීන් ඇති කරන නමුත් සත්ව පරිණාමයේ ලා  එහි ඵල විපාක එක හා සමානය. මන්ද, ඒ තුන් සාධකය විසින්ම ජීව විශ්ෂ සඳහා අභාවය සහ අවස්ථාව යන තත්ත්‍ව දෙකම ජනිත කරනු ලබන බැවිනි.

“වකවානු දොරටු” හෙවත්  මේ යුග සංක්‍රාන්ති කුඩා, මැද හා මහා යනුවෙන් තෙවදෑරුම්ය. මහාද්වීප එකිනෙක ඝට්ටනය වීම, සාගර ජලමට්ටම තියුණු ලෙස වෙනස්වීම හා  පෘර්‍ථවි උෂ්ණත්ව විචලනය නිසා ඇතිවන කුඩා යුග සංක්‍රාන්ති වලදී නව සත්ත්‍ව විශේෂ ඇතිවී කලින් සිටි තරඟකාරීහු බොහෝවිට වඳවී යති.  මැදතරමේ යුග සංක්‍රාන්තිවලදී සියලුම සංකීර්ණ ජීවීන් වඳවීගොස් නව පරිසරයකට උචිත ජීව විශේෂ විකාසයවීම ඇර‍‍ඹේ. මහා සංක්‍රාන්ති යනු සැබවින්ම භද්‍රකල්පයන් එකිනෙකින් වෙන්කරන්නාවූ අවධීන්ය. එවැනි කල්පාන්තයන් ඇතිවෙන්නේ අති දැවැන්ත උතික්ෂිප්තයන් නිසා අහසද සාගරයද මහපොලොවද ඇතුළු සකලවිධ වාසභූමී කැළඹී මථනය වූ විටය. එවිට සියලු ලෝකවාසී ජීවී විශේෂ අතුරෙන් 95% ම විනාශවී යයි. අපේ පෘර්‍ථවිය බිහිව ගතවු වසර බිලියන හතර හමාර තුල එවැනි කල්ප විනාශයන් සිදුව ඇත්තේ පස්වතාවක් පමනි. අවසාන කල්ප විනාශය සිදු‍වුයේ මෙයට වසර මිලියන 65කට පෙරය. ෆොසිල වලින් නිගමනය ‍වන පරිදි ඒ වතාවේ කිලෝග්‍රෑම් 35කට වැඩි සියලු කුදු මහත් සත්ව වර්ගයෝ විනාශවීයැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. ඩයිනසෝරයන් සහමුලින්ම විනාශවී ගියේ මේ වතාවේදීය. පුළුල් ලෙස පිළිගත් මතයට අනුව මේ නස්පැත්තියට හේතුව ආගන්තුක ග්‍රහවස්තුවක්  මහපොලොව සමග ගැටීමයි.

කාබන් ඩයොක්සයිඩ් වල කාර්යභාරය මේ සංසිද්ධියේදී මැනවින් කැපීපෙනේ. මේ අවධියේ පාෂානිභූතවූ ශාඛ පත්‍ර පරීක්ෂාකල විට මේ සංසිද්ධියට ඉක්බිතිව වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හදිසියේ අධික වශයෙන් ඉහල ගිය බව පෙනේ. අභ්‍යවකාශයෙන් පැමිනි දැවැන්ත ග්‍රහකයක් (asteroide) පෘර්‍ථවියේ හුණුගලින් බහුලවූ පෙදෙසක ගැටී දැවීම නිසා මෙසේ වෙන්නට ඇත. එක් සැණෙන්අහසට විදිනු ලැබූ මේ දැවැන්ත හරිතාගාර වායු ස්කන්ධය නිසා වායුගෝලයේ උෂ්ණත්වය පිම්මකින් ඉහල ගිය බව පෙනේ. ඉන් ජනිතවූ දැඩි උණුසුම දරාගත නො හැකි වූ සියලුම සත්ව වර්ගයන් පාහේ විනාශ වූ බව විද්‍යාඥයන්ගේ මතයයි.

ඉන් වසර මිලියන 10කට අනතුරුව  එනම් මීට වසර මිලියන පනස් පහකට ඉහතදී තවත් උග්‍ර ලෝක සංසිද්ධියකට ‍මහ පොළොව මුහුණ දුන්නේය.  එවර පොලෝ මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍යය හිටි හැටියේ සෙන්ටිග්‍රෙඩ් 5°-10° අතර ප්‍රමාණයකින් ගිනියම් විය. මෙය හෙලිදරව් වුයේ 2003 නොවැම්බරයේදී උතුරු පැසිපික් සාගරයේ පතුලට යටින් කිලෝ මීටර දෙකක් කැණ බැලූවිට සෙන්ටිමීටර 25 ක් තරම් ඝණීභවනය වු ගොහොරු මඩ තට්ටුව විශ්ලේෂණය කර බැලීමේදීය.  විශ්මය දනවන වැදගත් කරුණු මේ මගින් අනාවරණය විය.

පළමු කාරණය මඩතට්ටුවේ ඉහල ස්තරය ආම්ලික ඛාදනයට ලක්වී තිබීමයි. සාගරයේ ආම්ලික ස්වභාවය හදිසියේ වැඩිවූ බවට මෙය සාක්‍ෂි දරයි.  සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මුහුදු ජලය මගින් අවශෝෂණය වූවිටයි.  මේ යුගයේ මුහුදු පත්ලේ විසූ කුදු මහත් ජීවීන් අති විශාල ප්‍රමාණයක් එකවර විනාශවු බව පාෂානිභූත වලින් දැනගත් විට එය තවදුරටත් විශ්මය ජනක කරුණක් නොවීය.

ගොඩබිමින් සොයාගත් ඇතැම් සාක්ෂි වලට අනුව මේ යුගයේ වර්ෂාපතණය සැලකිය යුතු මට්ටමකින් හදිසි වෙනස්වීමකට මුහුණ දුන්බව පෙනිණ. මීට අතිරේකව ආසියාකරය නිජබිම්කරගත්  සත්ව ශාක ජීවීන් මේ යුගයෙදී උත්තර ධ්‍රැවාසන්නව තිබූ ගොඩබිම් තීරු හරහා උතුරු අමෙරිකාවටත් යුරෝපයටත් සංක්‍රමණය වූබව පැහැදිලි විය තහවුරු. මේ ආගන්තුකයන්ගේ සංක්‍රමණය තත් ප්‍රදේශවල කලක සිට ජීවත්වු ප්‍රාණීන් මිහිපිටින් පළවා හැරියේය.

මේ සංසිද්ධියේදී කාබන් ගිගාටොන් 1500 – 3000 දක්වා විශ්මය ජනක ප්‍රමාණයක් වායුගෝලයට මුදා හරින ලද බව දැන් අපි දනිමු.  මේ දැවැන්ත මුදා හැරීම දශක කිහිපයක් වැනි සුළු කාල පරිච්ඡෙදයක් තුලදී සිදුවූ බව නිගමනය කර ඇත. භූවිද්‍යාත්මක කෝණයකින් බැලූවිට මෙය ක්‍ෂණික සිද්ධියකි. වායුගෝලයේ කාබන් ඩයොඩ්ක්සයිඩ් සාන්ද්‍රණය මේ සිදුවීම නිසා මිලියනයකට කොටස් 500 සිට 2000 දක්වා වැඩිවූබව ගණනය කොට ඇත.

විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට නෝර්වීජියානු වෙරලට ඔබ්බෙන් මුහුදු පත්ලේ පිහිටි ආවාට වලින් විප්‍රෙෂණයවු දැවැන්ත ගෑස්වායු ප්‍රමාණයද මේ සංසිද්ධියට හේතුවකි. මෙලොව නිධිගතව ඇති අතිවිශාලතම මීතේන් ගෑස්වායු සංචිත පිහිටා ඇත්තේ මේ කලාපයේය.  උණුවී ගිනියම්ව ආවාට හරහා  නිකුත්වූ ලාවා කන්දරාව ගෑස් ඉන්ධන සංචිතයට ලඟාවන විට ගොර දෙමින් විදාරණය වූ මහ පොළොව සැනෙන් දෙදරා මහා හඬක් නගමින් ඉන් පෙර නුවූ විරෑලෙස පුපුරා ගිය අයුරු අපට සිතින් මවා ගතහැකිය.  කෙසේවෙතත් මෙයින් නිකුත්වු මීතේන් වායුවෙන් වැඩි කොටසක් වායුගෝලයට මුසුවූ බවක් නොපෙනේ.  ඒ වෙනුවට මීතේන් වායුව මුහුදු ජලයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාකොට කාබන් ඩයොක්සයිඩ් මුහුද මතුපිටට නිකුත් කරන්නට ඇත. ඔක්සිජන් විරල වීම නිසා සාගරය සත්ත්‍ව වාසයට අසීරු තැනක් විය. ඉන් ඉක්බිති කාබන් ඩයොක්සයිඩ් මුහුද ආම්ලීකරණය කරමින් පතුලට කිඳාබසින විට අවශේෂ මුහුදු ප්‍රාණීහු සහමුලින්ම පාහේ විනාශවූහ. දැන් අපට ගැඹුරු මුහුදේ දක්නට ලැබෙන ජීවීන් යටකී යුගයෙන් අනතුරුව බිහිවූවන් බවට සාක්‍ෂි එමටය. මේ සංසිද්ධියෙන් අනතුරුව වැඩිපුර පැවැති කාබන් ප්‍රමාණය අවශෝෂනයකොට වායුගෝලයේ සමතුලිත බව යලි ගොඩ නැගීමට පෘර්‍ථවියට තවත් වසර 20,000ක් ගතවිය.

හරිතාගාරවායුවල හදිසි වැඩිවීමකින් ඇතිවූ ලෝක සත්ත්‍වයන්ගේ මේ විනාශය අප අද මුහුණපා ඇති ව්‍යසනය හා සසඳා බැලීමට අවැසි කදිම සාධක රැසක් කරා අප යොමුකරවයි. කෙසේවෙතත් මේ අවස්ථා දෙක එකිනෙකට සැලකිය යුතු ලෙස වෙනස් සාධක මත උද්ගතවන බව අමතක කල යුතු නැත.

වර්තමාන පෘර්‍ථවිය වසර මිලියන ගනනාවක් තිස්සේම සිසිල් යුගයක පැවතිනි. එහෙත් වසර මිලියන 55කට පෙරදි වායුගෝලය අදට වඩා බෙහෙවින් උණුසුම් වී තිබිණි. එකල වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අද මෙන් දෙගුණයක් වූ අතර මෙකල දක්නට ලැබෙන ධ්‍රැවාසන්න හිමතලාවලින් ලෝකය තොරවිය. ඒ රත්වූ ලෝකයේ අද අපට දක්නට ලැබෙන හිමවලසුන් හෝ සාගරයේ වෙසෙන විවිධ විචිත්‍ර සත්ත්‍වයෝ හෝ නොවූහ.

එහෙත් වායුගෝලය උණගැනීම උත්සන්න වීම නිසා  එදාට වඩා  අතිවිශාල  ජීව ප්‍රාණීන්  සංඛ්‍යාවක් හා ජෛව විවිධත්වයක් අනතුරට ලක් කිරීමට වර්තමාන ලෝකයට සිදුනොවේයයි අප කිසිසේත්ම නොසිතිය යුතුය.

ආචාර්ය ටිම් ෆ්ලැනරිගේ We are the weather makers නමැති කෘතිය ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: