2015 දී අපට පිට සක්වල ජීවීන් මුණගැසෙයිද?

Posted by

සමහර විට නැති වෙන්නත් පුළුවන් හැබැයි ඉඩකඩ තිබෙන්නත් පුළුවන් බවයි විද්‍යාඥයන්ගේ මතය.

පරසක්වල ජීවීන් ගැන සෙවීමේ උනන්දුව මිනිසාට ඇත්තේ ඈත අතීතයේ සිටමයි. මේ මුළු මහත් විශ්වයෙන් අප වැනි තවත් ජීවීන් ඇතැයි ද අප තනිවී නැතියි ද යන  සිතුවිලි ඊට හේතු පාදක වන්නට ඇත. එම සිතුවිලවලට ඇතැම්විට ඇදහිලි හා විශ්වාසයන් ද බලපෑම් කරන්නට ඇති බව පෙනී යයි. අප ඉන්නා සෞර ග‍්‍රහ මණ්ඩලය ගැන පමණක් නොව විශ්වයේ දුර ඈත ප‍්‍රදේශ ගැන විවිධාකාර තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී සිටින විද්‍යාඥයන්ට ද පරසක්වල ජීවින් සෙවීමේ කාර්යය බෙහෙවින් ප‍්‍රබෝධ ජනක කටයුත්තක් වී ඇත. විද්‍යානුකූල කරුණු කාරනා පදනම් කරගෙන තර්ක කරන විට මේ විශ්වයේ තවත් ප‍්‍රාණීන් සිටිය යුතු බව ඔවුහු දනිති. එහෙත් ගැටළුව වී ඇත්තේ ඊට .ජීවමාන. සාක්ෂි නොමැති කමයි. එසේ නම් ලැබු මේ නව වසරේදී ඒ ප‍්‍රාර්ථනා ඉටුවේද?

ගෙවී ගිය 2014 වසරේදී මේ සම්බන්ධව වඩාත්ම සුබදායක ආරංචිය ලැබුනේ, අඟහරු ලොවිනි. ඒ, අඟහරු ග‍්‍රහයාගේ වායුගෝලීය මීතෙන් ප‍්‍රමාණයේ එකවර ඉහළයාමක් ගැන කියුරියෝසිටි  රෝවර්(ගවේෂණ) යානයෙන් වාර්තා වීමත් සමගයි. මේ ගැන ස්ථිර යමක් පැවසීමට තවමත් කල් මදි වුවත්, අඟහරු මත වඳවී ගිය හෝ පවතින ජීවීන් ගැන මෙය සලකුණක් විය හැකි යයි ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති. එහෙත් ඇත්ත නැත්ත විමසීම අභියෝගාත්මකය. ප‍්‍රායෝගික වශයෙන් බැලූවහොත්, තවත් හෝඩුවාවල් සෙවීම සඳහා සමස්ථානික විශ්ලේෂණයක් (isotopic analysis)  සිදුකළ යුතුෙවි. එසේ කිරීමට නම් ගවේෂණ යානයට අති විශාල බලයක් හා කාලයක් යෙදවිය යුතුවේ.

අනෙක් කාරණාව විය හැක්කේ මෙවැනි  දත්ත සැලකීමේදී ඇතැම් විද්‍යාඥයන් වුවමනාවටත් වඩා පරීක්‍ෂාකාරී වන්නේ දැයි යන සැකයයි. ජීවය වැනි අතිශය වැදගත් දෙයක පැවැත්ම ගැන ඔප්පු කිරීමට යාමේදී විද්‍යාව ඉතාමත් ඉහළ ප‍්‍රමිතියක් බලාපොරොත්තුවෙයි. සියල්ල සලකා බලද්දී මෙය ඉතාමත් නිවැරදි ප‍්‍රවේශයක් බව සත්‍යයකි. එහෙත් සමහර විද්‍යාඥයන් කියා සිටින්නේ, වැඩිපුර සුපරීක්‍ෂාකාරී වීමෙන් පරසක්වල ජීවීන් ගැන සෙවීම සමිබන්ධ ප‍්‍රගතියට බාධා පැමිණිය හැකි බවයි. ඉතින්, පාරභෞම (පෘථිවියෙන් බැහර) ජීවය සොයායාමේදී (මෙයට සියවස් ගණනාවක් ඉහත සිටම සිදුවුවා සේ) 2015 වසරේදී අවධානය යොමුවිය යුතු තැනක් වන්නේ අඟහරු ග‍්‍රහයායි.

ඒ වගේම  බ‍්‍රහස්පතිගේ උප ග‍්‍රහයෙකු (චන්ද්‍රයෙකු) වන යුරෝපා සහ සෙනසුරු උප ග‍්‍රහයෙකු වන එන්සෙලාඩස් වැනි වස්තූන් කෙරෙහි සැලකිල්ල යොමු කිරීමටත් හේතු සාධක ඇත. එසේ සලකද්දී අභ්‍යන්තරයෙහි ජල සාගර තිබිය හැකි, අයිස්වලින් වටවු  ඕනෑම අභ්‍යාවකාශ වස්තුවක් කෙරෙහි අපේ අවධානය යොමු කිරීම වටී. මොකදැයි පවසතොත්, ජලය ඇති තැන ජීවය තිබිය හැකි වීමයි. මෙවැනි වස්තූන්ගේ පෘෂ්ඨයට යටින්, පෘථිවියේ සාගරවල ඇති ද්‍රව ජලය (පෘථිවිය සියයට 70 ක් ජලයෙන් වැසී ඇත) මෙන් අඩුතරමින් පසළොස් ගුණයක් තරම් ජලය සැඟවී ඇති බවට දැනටමත් විද්‍යාඥයෝ අනුමාන කරති. ගැනිමීඞ් (බ‍්‍රහස්පති උප ග‍්‍රහයෙකු) , ටයිටෑන් (සෙනසුරු උප ග‍්‍රහයෙකු) මෙන්ම බාගවිට ප්ලූටෝ හෝ එරිස් වාමන ග‍්‍රහයන් ද මෙම ගණයට වැටෙයි.

2015 වසර නාසා ආයතනයේ යුරෝපා ක්ලිපර් Europa Clipper හා යුරෝපා අභන්‍වකාශ ඒජන්සියේ (ESA) JUICE යන මෙහෙයුම් වල තවදුරටත් සැලසුම් කිරීමට හා අධ්‍යයනයට කැපවී ඇති වර්ෂයකි. මේ පුරෝගාමී මෙහෙයුම් වලින් පිටසක්වල ජීවීන් සෙවීමට එක එල්ලේ සැලසුම්කර නැතත්, අපේම සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ පාරභෞම ජීවීන් සෙවීම ගැන බලාපොරොත්තු තැබිය හැකි  දැකට ආගන්තුක වශයෙන් පවතින  පරිසර ගැන වඩාත් හොඳ අවබෝධයකට මග පැදිය හැකිවෙයි.

Exoplanets  හෙවත් බහිර්ග‍්‍රහයන් (අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පිටත තරුවක් වටා ගමන් කරන ග‍්‍රහයන්) ගතහොත්, නාසා ආයතනයේ කෙප්ලර් දත්ත පදනමේ තොරතුරු වලින් තවත් මෙවැනි ග‍්‍රහලෝක සොයා ගැනීම ගැන 2015 දී බලාපොරොත්තු තැබියි හැකියි. මෙහෙයුමේ K 2 දිගුව මගින් වඩාත් ආකර්ශණීය තොරතුරු ලැබෙතැයි උපකල්පනය කළ හැකිය. 2015 දී මේ සම්බන්ධව අවධානය යොමුවිය යුතු වැඩසටහනක් වන්නේ ‘MEarth’ ව්‍යාපෘතියයි. මේ අභියෝගාත්මක, සෞර සමීක්‍ෂණය තනිකරම මෙවැනි ග‍්‍රහයන් සෙවීමට කැපවී සිටියි. මීටම අදාලව සළකතොත්, අපේ සෞර ග‍්‍රහමණ්ඩලයේ ඇතැම් අයිස්පිරි චන්ද්‍රයන්, ධුමකේතු හා ග‍්‍රහක වැනි .ආදිකල්පිත. වස්තූන් ගවේෂණය තුළින් හදිසියේ පරසක්වල ජීවීන් සොයා ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු නොවුවද, සුර්්‍යයා වටකොට ගත් පරිසරය ගැන ඒවායින් පුදුමාකාර සාරවත් ඉතිහාසයක් මතුකර ගත හැකි බව ස්ථිරය.

එසේම 2015 පෙබරවාරියේදී නාසා ආයතනයේ ඩෝන් මෙහෙයුම (Dawn mission) සීරිස් ග‍්‍රාහකය වෙත ළඟාවෙයි. වාමන ග‍්‍රාහයෙකු ලෙසද සැලකීමට වටිනා මෙහි ඝන අයිස් තට්ටුවට යට ධුලි පෘෂ්ඨය ඇතුළත ජලය යහමින් ඇතැයි සැලකේ.

 

Scientific American හි ලිපියක් ඇසුරුකොට තතු මාණ්ඩලිකයකු සැකසු වාර්තාවකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.