විදු නැන නුවණ – Science Literacy for All

අප කෘෂිකර්මය හඳුනාගත් ඒ දිගු වසන්තය

තවු වසර අටදහස තිස්සේ පැවති සන්සුන් දේශගුණය නිසැක වශයෙන්ම මිනිස් ඉතිහාසයේ තීරණාත්මක සාධකය විය. මීට වසර 10,500 කට පෙර ‍ මැදපෙරදිග ගංගාධාර ආශ්‍රිතව කෘෂිකර්මය ආරම්භ වු බවට සාක්ෂි තිබේ. එහෙත් අපට ප්‍රධාන බෝග වර්ග බෝ කර ගැනීමට ලැබුනේත්, ගෘහස්ථ සතුන් හීලෑ කර ගැනීමට ලැබුනේත්, මුල්ම වාරි කර්මාන්ත තනා ගැනීමට ලැබුනේත්, අක්ෂර වින්‍යාසය පහල වූයේත්, මුල්ම නගර ගොඩ නගා ගැනීමට ලැබුනේත් ගතවූ වසර අටදහස තුළ පැවැති සන්සුන් දේශගුණය හේතුකොටගෙනය. මෙය දිගු වසන්තයක් ලෙස සැලකිය හැකිය.

කෘෂිකර්මය හෝ වේවා අක්ෂරභාවිතය හෝ වේවා යටකී සොයා ගැනීම් එකක්වත් එකම ස්ථානයක සිදුවූ දේවල් නොවේ. ලෝකයේ විවිධ පෙදෙස්වල වෙසෙස් ජනකොට්ඨාශ වශයෙන් හුදකලාව විසූ මනුෂ්‍යන් විසින් ඒ සියලු දෑ වෙන් වෙන්ව සොයා දැන දියුණු කරගන්නා ලදී. අපේ මේ දිගු වසන්තයේ 5000 වෙනි වසර වෙන විට බටහිර හා නැගෙනහිර ආසියාකරයේත්, අප්‍රිකාවේ හා මධ්‍යම ඇමෙරිකාවේත් නගර බිහිවිය. එකිනෙකට බොහෝ දුරින් පිහිටි  වෙනස් දේශ දේශාන්තරවල වාසය කලද මේ මනුෂ්‍යයන් විසින් තැනු ගෙවල්, දේවාල, නගරාරක්ෂක පවුරු ප්‍රාකර විශ්මිත ලෙස බොහෝ දුරට එක හා සමාන විය. එය හරියටම එකී සෑම මනුෂ්‍යකුගෙහිම සිතෙහි එකම පිඹුරුපත තැන්පත්ව තීබී නිසි කල පැමිණිවිට එයට අනුව කටයුතු ඉටුකලා වැන්න.

Cuniform ප්‍රභූ ජනයා විසින් පාලනය කෙරුණු මේ මනුෂ්‍යය සමාජ බොහෝවිට කර්මාර පුත්‍රයන්ගේ (Artisans) සේවා මත යැපුනි. මේ  අතුරින් සමාජයන් අතලොස්සක් විසින් ලිඛිත බස නිපදවා භාවිතා කිරීම ආරම්භ කරන ලදී. මැනවින් සංවිධානය වූ නාගරික සමාජයක දිවිපෙවත මෙසපොතේමියාවෙන් හමුවූ මැටි පුවරුවල කීලාකාර අකුරින් ලියවුණු ආදිතම ලියවිලි වලින් එළිදරවු වේ.

මිනිසාගේ මේ දිගු වසන්තය හුදු අහම්බයක්ද? මිලන්කොවිච් කාල චක්‍ර, සූර්යා, පෘර්‍ථවිය -මේ සියල්ල සන්සුන් දේශගුණයක් සහතික කරමින් මින් පෙර නුවූවිරූ ස්ථාවර භාවයක් මනුෂ්‍යයන්ට ලබාදීමට තීරණය කලේද?. මිලන්කොවිච් කාලචක්‍රවලට අනුකූලව පසුගිය වසර මිලියනය තුල  ඇති වූ උණුසුම් වකවානුවන්වලදී පෘර්‍ථවියේ සාමාන්‍යය උෂ්ණත්වය ඉද්ද ගැසුවාක් මෙන්  ක්‍ෂණිකව ඉහල නැග අනතුරුව අස්ථායී සිසිල් අවධියකට සංක්‍රමණයවූ බව අපි දනිමු. දිගු ගිම්හානයක් සහතික කරන කිසිදු පරම සුවිශේෂයක් සමකාලීන මිලන්කොවිච් කාල චක්‍රයේ තිබිය යුතු නැත. ඇත්ත වයෙන්ම පෘර්‍ථවියේදේශගුණය මුලුමනින්ම තීරණය කරන සාධකය මිලන්කොවිච් කාල චක්‍රය නම් මේ වන විට අප වෙව්ලන  ශීතලෙන් යුතු දේශගුණය සහිත අවධියක විසිය යුතුය.

මේ අසාමාන්‍ය තත්තවයට තුඩුදෙන කිසියම් පරම සුවිශේෂයක් මිලන්කොවිච් කාල චක්‍රයේ ඇතිවීදැයි හැදෑරූ අය අතුරින් වර්ජිනියා විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥ බිල් රුඩිමන් (Bill Ruddhiman) ප්‍රධාන තැනක් ගනී. නොයෙක් සාධක විමසා බැලීමෙන් අනතුරුව මේ අසාමාන්‍ය තත්තවයට වගකිව යුතු පරම සුවිශේෂය වෙනත් කිසිවක් නොව මනුෂ්‍යය වර්ගයා යැයි ඔහු තීරණය කලේය.

මානව වර්ගයාගෙන් පරිසරයට ඇතිවූ බලපෑම සළකුණු කරනු වස් “ඇන්ත්‍රොපොසීන්” (Anthropocene)හෙවත් මනුෂ්‍යයාගේ යුගය යනුවෙන් නව භූවිද්‍යාත්මක අවධියක්  විද්‍යාඥ පෝල් කෘට්සන්(Paul Crutzen) විසින් මේ වන විටත් යෝජනා කොට තිබින. ඕසෝන් විවරය සම්බන්ධ පරීක්ෂණ නිසා නෝබල් ත්‍යාගයෙන් පුදනු ලැබූ ඔහුට අනුව මේ ඇන්ත්‍රොපොසීන්යුගයේ ආරම්භය සලකුණුකලේ 1800 සිට කාර්මික විප්ලවය නිසා ඇතිවූ කර්මාන්තශාලා වලින් අවකාශයට නිකුත්වූ අතිරේක කාබන් ඩයොක්සයිඩ් හා මීතේන් වායුප්‍රමාණය මහපොලොවේ දේශගුණය කෙරෛහි සිය බලපෑම ආරම්භ කල විටය.

පෝල් රුඩිමන් මේ අදහස පෙරළිකාරලෙස තවත් ඉදිරියට ගෙනගොස් මනුෂ්‍ය වර්ගයා මිහිපිට දේශගුණය සිය බලපෑමට නතුකරගත්තේ ක්‍රි.ව. 1800ට බොහෝ ඈත කාලයක සිට බව පෙන්වා දුන්නේය.  ග්‍රීන්ලන්තයේ සහ දක්ෂිණ ධ්‍රැව‍‍යේ ඝණ පතර හිම තට්ටුවල රැඳී තිබූ වසර 8,000 ක් දක්වා පැරණි වායු බුබුලු විශ්ලේෂණය කිරීමෙන් මිලන්කොවිච් කාල චක්‍රයට අනුවම සියළුම කටයුතු සිදුනොවුනු බව රුඩිමන් දැනගත්තේය.  නියමාකාරයට නම් මේ කාලය වන විට මිලන්කොවිච් කාල චක්‍රයට අනුව වාතයේ තිබූ මීතේන් ප්‍රමානය අඩුවෙමින් ගොස් මීට වසර 5000 කට ඉහතදී ක්‍ෂය වී යා යුතුය.  එහෙත් මුලදී මඳක් අඩුවගියද මෙකල මන්දගාමීව නමුත් ප්‍රබල ලෙස මීතේන් සංයුතිය  ඉහල ගිය බව වායු බුබුලු දත්තයන්ගෙන් රුඩිමන්ට දැනගන්නට ලැබුනි.

මෙසේ මීතේන් ප්‍රමාණය ඉහල යාමට හේතුව මනුෂ්‍යය ක්‍රියාකාරීකම් බව රුඩිමන් තර්ක කලේය. මේ නිසා මනුෂ්‍යයාගේ යුගය හෙවත් ඇන්ත්‍රොපොසීන් අවධිය සැබවින්ම ඇරඹුනේ මින් වසර 200කට පෙර නොව වසර 8000කට පෙර බව ඔහුගේ මතය විය.

මින් අටදහස් වසරකට පමණ පෙර කෘෂිකර්මාන්තයේ මඩගොවිතැන් අවදිය එනම් යහමින් ජලයයොදා මඩකරගත් බිම්වල වී, ගහල ආදි බෝග වගා කිරීම ආරම්භ විය. මේ නිසා මහපොලොවේ විවිධ පෙදෙස්වල පැතිරගිය වගුරුබිම් මීතේන් වායුවට සරු නිජභූමියක් විය.

කෘෂිකර්මය කරා එවකටත් යොමු නොවූ දඩයමින් ජීවත්වූ ගෝත්‍රිකයන්ගේ ඇතැම් කටයුතුද මේ තත්ත්‍වයට හේතුවිය. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔස්ට්‍රෙලියානු ගෝත්‍රික ජනයා ආඳන් බහුල වශයෙන් බෝකර ගැනීම සඳහා දිගුවේලි බැඳ තැනු විශාල හෙල් වගුරු දැක්විය හැකිය. ගෝත්‍රිකයන් සමූහ වශයෙන් එක්ව මේ හෙල් වගුරුවල ඇතිකල ආඳන් අල්ලා දුම්ගසා වේලා දුර බැහැර පලාත් වලට ගෙනගොස් වෙළඳම් කිරීම බහුල වශයෙන් සිදුවිය.

කලින් සිතුවාටත් වඩා  පෙර කලක සිට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කෙරෙහි මානව ක්‍රියාකාරකම් බලපෑ බව අයිස් මද තුල සිර වූ වායු බුබලු විශ්ලේෂණය කිරීමෙන් රුඩිමන් සොයා දැන ගත්තේය.  අයිස් සමයාන්තයකදී සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් සංයුතිය වැඩිවී ඊලඟ අයිස් සමය එනතෙක් එය අණුක්‍රමයෙන් අඩුවිය යුතුය. එහෙත් ඒ වෙනුවට අවසන් අයිස් සමයාන්තයේ සිට කාබන් ඩයොක්සයිඩ් සංයුතිය නොකඩවා වැඩිවී තිබින. වර්ෂ 1800 වනවිට එය වායුගෝලීය කොටස් මිලියනකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 280 දක්වා වැඩිවී තිබුනි. (අද එය කොටස් 400 දක්වා වැඩිවී තිබේ) එහෙත් ස්වභාවික ‍ලෙස හුදෙක් මිලන්කොවිච් කාල චක්‍රය මගින් පමණක් ‍පෘර්‍ථවියේ දේශගුණය නිර්ණය වීනම් ඒවනවිට වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කොටස් 240 කට වඩා නොවැඩිවිය යුතු බව රුඩිමන් පෙන්නා දුන්නේය.

මතුපිටින් බැලූවිට රුඩිමන්ගේ තර්කය තරමක් පිළිගැනීමට අසීරු ලෙස පෙනේ. මන්ද, ඔහු පෙන්වාදුන් තත්ත්‍වය ඇතිකිරීමට නම් අප විසින්1850-1990ත් අතර කාර්මිකයුගයේ ඉන්ධන දැවීමෙන් වාතයට නිකුත් කල කාබන් ප්‍රමාණය මෙන් අවම වශයෙන් දෙගුණයක කාබන් ප්‍රමාණයක් ඉන් පෙර යුගයේ විසූ මිනිසුන් විසින් වායුගෝලයට එක්කල යුතුවූ බැවිනි.

එහෙත් සිය උපකල්පනය තහවුරු කිරීමට ඇති ප්‍රධාන සාධකය අදාල මිනිස් ක්‍රියාකාරීකම් දීර්ඝ කාලයක් පුරා සිදු වීමබව රුඩිමන් තර්ක කලේය. සැබැවින්ම වසර අටදහසක් යනු සැලකිය යුතු දීර්ඝ කාල පරිඡ්චේදයකි. මේ කාලය තුල මුළු ලොව පුරා  මානව වර්ගයා විසින් දවා පුළුස්සා දැමූ කැලෑ ප්‍රමාණය සැලකූවිට වායුගෝලයේ හරිතාගාර වායු තුලාව අසම කිරීමට දිගු කලක් තිස්සේ මදින් මද එක් කල අති මහත් කාබන් ඩයොක්සයිඩ් පරිමාව බෙහෙවින් ප්‍රමාණවත් විය.

ගතවූ වසර අට දහසතුල මිනිසුන් විසින් ගොඩ නැගූ දේශගුණික ස්ථාවර භාවය මිලන්කොවිච් කාල චක්‍රයට අනුකූලව අවදානමට ලක්වීමට බෙහෙවින් ඉඩකඩ තිබුනු බවද රුඩිමන් ප්‍රකාශ කලේය.  පුරාතතු විද්‍යාඥ බ්‍රයන් ෆගන්ට අනුවද මිලන්කොවිච් කාල චක්‍රවල  ඇතැම් ලක්ෂණ මනුෂ්‍යන් කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑමට ඉඩ තිබූනි. එයට එක් නිදර්ශණයක් නම් ක්‍රි.පූ 4000 ත් 10,000 ත් අතර පෘර්‍ථවියේ කක්ෂය මඳක් වෙනස් වීම නිසා උත්තරාර්ධගෝලයට වැටුනු හිරුරැස් ප්‍රමාණය 7% – 8% අතර ප්‍රමාණයකින් වැඩිවීමෙන් උද්ගතවූ තත්ත්‍වයයි.

මෙසේ පෘර්‍ථවි කක්ෂය මඳකින් වෙනස් වීම වායුගෝලයේ සංසරණ රටාවද සැලකිය යුතු පමණින් පෙරළියකට ලක් කිරීමට හේතුවිය. එහි එක් ඵලයක් වශයෙන් මෙසපොතේමියාවට වැටුණු වර්ෂාපතණය 25% ත් 30% අතර ප්‍රමාණයකින් වැඩිවිය. වරක් කාන්තාරයක් වශයෙන් පැවැති ප්‍රදේශයක් මේ හේතුව නිසා නිල්වන් තැනිතලාවක් බවට පත්වී ගොවිතැනින් යැපෙන විශාල ජන සංඛ්‍යාවකගේ වාස භූමියක් බවට පත්විය. එහෙත් ක්‍රි.පූ 3800 දී පෘථවියේ කක්‍ෂය යලි කලින් පැවැති තත්වයට පත්වූවිට වර්ෂාපතනය බෙහෙවින් අඩුවී මෙසපොතේමියානු ගොවි  ජනතාව අවතැන්වූහ.

පැරණි උරුක් නගරය චිත්‍ර‍ල්පියෙකුගේ ඇසින්

පැරණි උරුක් නගරය චිත්‍ර‍ිල්පියෙකුගේ ඇසින්

ෆගන් පවසන පරිදි මෙසේ අවතැන්වූ ගොවි ජනයාගෙන් ඇතැමෙක් වර්තමාන ඉරාකයේ දකුණින් පිහිටි එදා වාරිමාර්ගවල බෙදුම් ඇලවල් සන්ධිවූ ‘උරුක්’ (Uruk)නගරය වැනි ප්‍රධාන ස්ථාන කිහිපයකට සංක්‍රමණය විය. උරුක්හි පාලකයෝ මේ සංක්‍රාමනිකයන් වාරිමාර්ග සංකීර්ණය වැඩි දියුණු‍ කිරීමට යෙදවූවෝය.  වර්ෂාපතනය අඩුවීම, උරුක්හි ගොවීන් නව ක්‍රම අත්හදා බැලිම කෙරෙහි යොමු කල බවත් ඒ අනුව ප්‍රථම වරට සතුන් යෙදීමෙන් සී සෑමත්, ශෂ්‍ය මාරුව හඳුන්වා දීම නිසා වසරකට දෙවරක් අස්වැද්දවීමත් ආරම්භ වූබව ෆගන් පවසයි.

උරුක් වැනි උපායික නගර පාදකකොට ධාන්‍යය වගාව මෙලෙස ප්‍රතිසංවිධානය වීම නිසා නගරය අවට තිබූ ඇතැම් ජනාවාසවල පදිංචිකරුවෝ කුඹල් කර්මාන්තය, ලෝහ කර්මාන්තය, මසුන් අල්ලා වේලීම වැනි සුවිශේෂ වෘත්තීන් පිළිබඳ විශේෂඥතාවයක් ඇති කර ගත්හ. මේ නිෂ්පාදන ද්‍රව්‍යය උරුක් වෙළඳ පොලෙහිදී ධාන්‍ය වැනි හිඟ භාන්ඩවලට හුවමාරු විය.

එකින් එක සිදුවූ මේ වෙනස්කම් නිසා නගරය හා ජනාවාස පාලනය කිරීම සඳහා වඩ වඩා මධ්‍යයගතවූ අධිකාරයක් ඇතිවිය. මේ පාලන අධිකාරය විසින් ලෝකයේ මුල්ම නිලධාරී පැලැන්තිය බිහිකරන ලදී.  ජන ජීවිතයට අත්‍යවශ්‍යවූ ධාන්‍යය තොග ගැසීම හා බෙදාහැරීම එදා එම නිලධාරීන්ගේ මූලික කාර්යභාරය විය.

මේ පරිවර්තණ සියල්ලෙහිම අවසාන ප්‍රතිඵලය මානව සමාජ සංවිධානය නව තලයකට පිවිසීමයි. ඒ අනුව ක්‍රි.පූ 3100 වන විට මෙසපොතේමියාවේ දකුණුදිග පිහිටි නගර ලෝකයේ පළමු ශිෂ්ඨාචාරවපට නිජ බිමවිය. ෆගන් පවසන පරිදි නගර වනාහී වියලි දේශගුණ තත්ත්‍වයන්ට අනුවර්තනය විම සඳහා මිනිසා විසින් දරන ලද උත්සාහයේ විශිෂ්ඨ ප්‍රතිඵලයකි.

දැන් අපි යළිත් වරක් බිල් රුඩිමන්ගේ විශ්ලේෂණය සලකා බලමු.  වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ ප්‍රමාණය හා යේර්සිනියා පෙස්ටිස් (yersinia pestis)නමැති බැක්ටීරියාව නිසා ඇතිවූ බරපතල වසංගත අතර කිසියම් සම්බන්ධතාවයක් පවතින බව ඔහු සඳහන් කරයි. මේ බැක්ටිරියාව නිසා ඇතිවූ කළු වසංගතය (black plague) යනුවෙන්  මධ්‍යකාලීන යුරෝපා ඉතිහාසයේ හැඳින්වෙන බලවත් ව්‍යසනය හේතුකොට  මියගිය අතිවිශාල ජන සංඛ්‍යාව නිසා ගොවිතැන් පාළුවී විශාල ගොවිබිම් ප්‍රදේශයක් නැවත වනයෙන් යට විය. මේ නව වනගහණයන් නිසා අවශෝෂණය වු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝලයේ කාබන් සංයුතිය මිලියනයකට කොටස් 5 ත් 10 ත් අතර දක්වා ප්‍රමානයකින් අඩුකිරීමට සමත් විය. මේ නිසා පෘර්‍ථවි උෂ්ණත්වය මඳකින් පහල බැස නිවර්තන කලාපවලට යලි සිසිල් දේශගුණය උදාකරලීය.

රුඩිමන්ගේ තර්කයෙන් ගම්‍යයවන පරිදි උෂ්ණත්වය පමණට වඩා නැංවීමකින් තොරව  අවශ්‍යය තරම් හරිතාගාර වායු වාතයට එක් කිරීම හේතු කොටගෙන තවත් අයිස් සමයක් එළඹීම වලක්වා ගැනීමට අපේ මුතුන් මිත්තන්ගේ කටයුතු නිසා හැකි විය. එහෙත් වර්තමාණයේ විද්‍යාඥයන් විසින් අනාවරණයකරගෙන ඇති කරුණුවලට අනුව වායුගෝලීය සංයුතියේ ඇතිවෙන වෙනස්කම් කෙතරම් ප්‍රබලදැයි කිවහොත්  නිසැකවම බලවත් දේශගුණ විපර්යාසයකට අපි මුහුණදී සිටිමු.  මානව වර්ගයාගේ යුගය හෙවත් ඇන්ත්‍රොපොසීන අවධිය අසුන්දර කඩඉමකට පා තබා ඇති බවට  සාධක එමටය. ඇන්ත්‍රොපොසීන අවධිය ඉතාමත් කෙටිම භූ විද්‍යාත්මක අවධිය වීම හෝ නොවීම අපේ චර්යාව, විශේෂයන්ම වායුගෝලයට අප විසින් දිනපතා එක් කරන අතිමහත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඇති පමණින් අඩු කිරීමට අපට ඇති කඩිනම් හැකියාව මත රඳා පවතී.

ආචාර්ය ටිම් ෆ්ලැනරිගේ We are the weather makers නමැති කෘතියෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: