ඛනිජ තෙල් යනු අවුරුදු මිලියන ගණනකට පෙර සාගර හා ගංගා මුවදොර විසූ ප්‍රාථමික ජීවීන්ගේ ‍‍ඓන්ද්‍රිය ඵලයකි

Posted by

1901 ජනවාරි 10 වෙනිදා අල් හමිල් (Al Hamill) නැමැත්තා  අමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ස්පින්ඩල්ටොප් නමින් හැඳින්වෙන කඳුගැටය මත ඛනිජ තෙල් ලබා ගැනීමට හැකිදැයි බැලීම සඳහා පොළොව විදිමින් සිටියේය. උදේ 10.30 වන විට ඔහු  වැලිගල් පොලොවේ මීටර 300ක් ගැඹුරට විද තිබුනි. ඒ සා ගැඹුරකට විදීමෙන් පසු සිය බලා පොරොත්තු අතහැර දැමීමට ඇල් හමිල් සූදානම් වන විටම ගොර දෙමින් විදුම ඔස්සේ පැමිණ කන් අඩි පුපුරණ හඬින් නිකුත්වූ මීතේන් වායු ප්‍රවාහයක් ඝණ වලා කීලයක් මෙන් අහසට නිකුත් විය.  ඉන්පසු අඟල් හයක් පමණ ගනකමින් යුත් ස්ථම්භාකාර  ද්‍රව ප්‍රවාහයක් අහසේ අඩි සියගනනක් ඉහලට නැගී කාලවර්ණ ඝණ වර්ෂාවක් මෙන් නැවත පොලොව මතට ඇද හැලුනි. මෙතරම් ගැඹුරක ඛනිජ තෙල් තිබිය හැකි බව දැනගත්මුල් වතාව එය විය. ගෙවල් උණුසුම් කිරීමේදීත් ප්‍රවාහණ කටයුතුවලදීත් ගල් අඟුරු වලට තිබූ තැන එතැන් සිට ඛනිජ  තෙල් වලට හිමි විය. එහෙත් ගල් අඟුරුමෙන් ඛනිජ තෙල් බහුල නැත. එමෙන්ම  ගල් අඟුරු තරම් පහසුවෙන් ඛනිජ තෙල් සොයා ගැනීමටද නොහැක.

ඛනිජ තෙල් යනු අවුරුදු මිලියන ගනණාවකට පෙර සාගර හා ගංගා මුවදොර සැරිසැරූ ප්‍රාථමික ජීවීන්ගේ ‍‍ඓන්ද්‍රිය ඵලයකි. මුලික වශයෙන් ඛනිජ තෙල් සංයුක්තව ඇත්තේ ප්ලැන්ක්ටන් හෙවත් ප්ලවාංග වර්ගයට අයත් පයිටොප්ලැන්ක්ටන් (Pytoplankton) නමැති ඒක සෛලික ශාක ශේෂයන්ගෙනි. ප්ලැන්ක්ටන් ශාක මිය ගිය විට එහි සිරුර ඔක්සිජන් රහිත ගැඹුරු සාගර පත්ලේ තැන්පත් වෙයි. මියගිය පලැන්ක්ටන් වල ඇති කාබනික ඓන්ද්‍රීය ද්‍රව්‍යය බැක්ටීරියා වලට ගොදුරු නොවී කාලාන්තරයක් තිස්සේ එක් රැස්වීමට මේ ඔක්සිජන් විරහිත පරිසරය හේතුවේ.

ඛනිජ තෙල් ඇතිවීමේ භූවිද්‍යාත්මක ක්‍රියාවලිය රොටි සාදන වට්ටෝරුවක් මෙන් නිශ්චිතය.  පළමුවෙන්, මිය ගිය ප්ලැන්ක්ටන් සහිත මන්ඩි සාගර යට වැලලී පාෂාණයන්ගෙන් තදවී සම්පීඩනයවිය යුතුය. ඉන් අනතුරුව නිසි භූගත තත්වයන් යටතේමේ ඓන්ද්‍රීය අවශේෂ ඒවායේ ප්‍රභව පාෂාණයන් වෙතින් මිරිකී මිදී පාෂාණ තට්ටුවල විවර පළුදු ඔස්සේ නිකුත්ව අවශෝෂණ ස්තරයක තැන්පත්වී එක්රැස්විය යුතුය. එසේම මෙසේ තැන්පත්වන තෛලමය ද්‍රව්‍යය මිදී වියකී යෑම වැලැක්වීමට සුදුසු තරම් ඝණපත පාෂාණ තට්ටුවකින් අවශෝෂණ ස්තරය ආවරණය විය යුතුය.

මීට අතිරේකව මේ තෛලමය ඓන්ද්‍රය ද්‍රව්‍යය වසර මිලියන ගනනාවක් තිස්සේ සෙන්ටිග්‍රෙඩ් 100º-135º අතර උෂ්ණත්වයකින් පාෂාණ අතර පැසවිය යුතුය. උෂ්ණත්වය මේ ප්‍රමාණය ඉක්මවා ගිය විට ඛනිජ තෙල් වෙනුවට ගෑස් ඇතිවීම හෝ කාබනික ඉන්ධන සම්පූර්ණයෙන්ම වියැකීයාම සිදුවිය හැක.

ඛනිජ තෙල් නිධි ඇතිවීම විරල සිදුවීමකි. මන්ද නියමිත ‍ඓන්ද්‍රීය කොටසින් යුත් පාෂාණයන් නියමිත ආකාරයට නියමිත කාලයක් තුල පැසීම යන ක්‍රියාවලිය සැබවින්ම අහම්බයක් වන බැවිනි. මේ අහම්බයේ වාසිය අද වැඩියෙන්ම ලබාගන්නේ ඛනිජ තෙල් ආකර හිමි මැදපෙරදිග පාලකයන් විසිනි. මැදපෙරදිග පාෂාණ ස්තරයන් යටකී ක්‍රියාදාමයට මනාව අනුගත වු බව මේ පුදේශය ලෝකයේ විශාලතම ඛනිජ තෙල් නිධිවලට නිජබිම වීමෙන් පෙනේ.

1961 වනතෙක් වසරක් පාසාම වැඩි වැඩියෙන් ඛනිජ තෙල් නිධි සොයා ගැනීමට බොහෝ ඛනිජ තෙල් සමාගම්වලට හැකිවිය. වැඩි වශයෙන්ම ඛනිජ තෙල් නිධි සොයාගනු ලැබුවේ මැදපෙරදිග ප්‍රදේශයෙනි.  එවක සිට ඛනිජ තෙල් නිධි සොයා ගැනීමේ වේගය කෙමෙන් අඩුවු නමුත් ඛනිජ තෙල් භාවිතය සීඝ්‍රයෙන් වැඩිවිය.

1995 වන විට ඛනිජ තෙල් පරිභොජනය වසරකට බැරල් බිලියන 24 ක්විය. එහෙත් සොයාගනු ලැබූ නිධිප්‍රමාණය  වසරකට බැරල් බිලියන 9.6ක් පමණි.  2006 වන විට ඛනිජ තෙල් බැරලයක මිල ඩොලර් 70 දක්වා ඉහල ගියේය. (වසර 2008 අප්‍රියෙල් වන විට මේ මිල ‍ඩොලර් 122 දක්වා ඉහල නැග තිබුනි -පරිවර්තක) බොහෝ විශ්ලේෂකයන්ට අනුව මේ මිල තවත් ඉහල යා හැකි අතර 2010 සිට ඛනිජ තෙල් ඉන්ධන අර්බුධයක් ඇතිවිය හැක. මේ මගින් කියැවෙන්නේ 21 වන ශතවර්ෂයේ ආර්ර්‍ථකය දිවවීමට නම්  තෙල් වෙනුවට අප ‘වෙන යම් දෙයක්” භාවිත කල යුතු බවයි.

ඉන්ධන කර්මාන්තයේ නියුතු බොහෝ අයගේ මතයට අනුව මේ “වෙන යම්දෙය” නම් 90%ක්ම මීතේන් වලින් යුත් ගෑස්වායුවයි. ඹිටමීට අවුරුදු 30කට පෙර ගෑස් වායුව ලෝකයේ ඉන්ධන භාවිතයෙන් 20%ක් පමණි. එහෙත් වර්ෂ 2050 වන විට ඛනිජ තෙල් පරදවා ලෝකයේ බෙහෙවින්ම භාවිතවන කාබනික ඉන්ධන වර්ගය ගෑස්වායුව බවට පත්වනු ඇතැයි බලා පොරොත්තුවේ. තවත් වසර 50කට සෑහෙන ගෑස්වායු නිධි දැනටමත් හඳුනාගෙන ඇති බැවින් විසි එක් වන සියවස ගෑස් ඉන්ධන සියවස බවට පත්විය හැකිය.

වර්ෂ 1900 දී ලෝකයේ මුළු ජනගහනය බිලියන එකකි. වසර 2000 වන විට ලෝකය මනුෂ්‍යන් බිලියන 6 කට වාසභූමිය වී ඇත. මේ හැම මනුෂ්‍යයෙක්ම මීට අවුරුදු 100 කට පෙර ඔහුගේ මුත්තණුවන් විසින් පාවිච්චි කර දවා ලූ බල ශක්තිය මෙන්  සිවුගුණයක බල ශක්තියක් අද පරිභොජනය කරයි.  විසිවන ශත වර්ෂය අවසන්වන විට කාබනික ඉන්ධන දැවීම 16 ගුණයකින් වැඩිවී තිබුනි.

කාබනික ඉන්ධන වල කාබන් සහ හයිඩ්‍රජන් ලෙස සංගත වි ඇත්තේ යුග ගනනාවකට පෙර ශාක මගින් සංස්ලේෂණය වූ හිරු එලියේ ශක්තියයි. පර්යේෂකයෙකුවන ජෙෆ්රි ඩියුක් (Jeffrey Duke) ගණනයකර ඇති අන්දමට පෙට්‍රල් ලීටර හතරක් නිපදවීමට දල වශයෙන් ඈත යුගයේ ශාක ජීව ද්‍රව්‍යයවලින් ටොන් 100 භාවිතා විය.

මෙහි තේරුම කාර්මික යුගයේ හැම වසරක් පාසාම ලෝක ආර්ථිකය පවත්වාගෙන යාම උදෙසා අප ශතවර්ශ ගණනාවක් තිස්සේ පොලොවට පතිතවුනු හිරු එලිය යොදාගත් බව නොවේද. මේ අනුව 1997 වර්ෂයේදී පමණක් අප අවුරුදු 422 ක් පුරා ‍ෆොසිල ගතවූ හිරු එළිය පරිභොජනය කර ඇත.  අපගේ මේ ඉන්ධන ලොල් බව, ශතවර්ෂ හතරක හිරු එළිය එක වසරකින් දවාලීමට තරම් සමත්වෙයි.

කාබනික ඉන්ධන වල බලය සහ ඒ කෙරෙහි අපේ ඇති ආකර්ශණය ලෙහෙසියෙන් අතහැර දැමීමට අපට අසීරුය. කාබනික ඉන්ධනවලට ආදේශකයක් වශයෙන් අමු ශාක  ද්‍රව්‍යයෙන් නිශ්පාදිත ඉන්ධන ( ධාන්‍යය තෙල් වර්ග, මොලසැස්, ජීව වායු ආදිය ) යොදා ගැනීමට තීරණය කලහොත් අප දැනටමත් වගා කොට පරිභෝජනය කරන ශාක ද්‍රව්‍ය ප්‍රමාණය 50% කින් වැඩිකිරීමට සිදුවනු ඇත. මේ වන විටත් අපි මහපොලොවට දරාගැනීමට හැකි ප්‍රමාණය 20% කින් ඉක්මවා වගාව සඳහා භුමිය යොදාගෙන ඇත. මේ නිසා, කාබනික ඉන්ධන වෙනුවට ආදේශක සෙවීමේදි වඩා නවපන්නයේ ක්‍රම උපයෝගීකර ගෙන දිර්ඝ කාලීන විසඳුම් සොයා ගැනීමට අපට සිදුවනු ඇත.

1961 වන විට ලෝකයේ ජනගහණය බිලියන 3 ළංවී තිබුනි. එහෙත් ඒ වන විටත් අපි පොලෝ පරිසර පද්ධතිය මගින් නිශ්පාදිත මුළු සම්පත් ප්‍රමාණයෙන් හරි අඩක් පරිභෝජනය කරමින් සිටියෙමු. 1986 වන විට ජනගහණය බිලියන 5 ක් වූ අතර අපි මහපොලොවට නඩත්තු කල හැකි සමස්ත නිෂ්පාදනයම පාවිච්චි කලෙමු.

මේ අනුව වර්ෂ 2050දී පාර්‍ථවියේ ජනගහණය බිලියන 9ක් වන විට අප විසින් පරිභෝජනය කරන සම්පත් ප්‍රමාණය සොයා ගැනිමට – එසේ සොයා ගැනීම කල හැකි වේ නම්- අඩුම වශයෙන් පෘර්‍ථවි දෙකක්වත් තිබිය යුතුවේ. එපමණ සම්පත් ප්‍රමාණයක් එක් රැස්කර ගැනීම කෙසේ වෙතත් ඒ වන විට අප විසින් හරිතාගාර වායු වශයෙන් නිකුත් කරනු ලබන අප ද්‍රව්‍යය හේතුකොට ගෙන අපට ඇති එකම පොලොවේ සම්පත් වපසරියද දැනට ඇති පමනින් හෝ පවත්වා ගැනීමට හැකිවේ දැයි සැක සහිතය.

කාර්මික විප්ලවය පටන් ගත්දා සිට 2007 වන විට වායුගෝලීය උණුසුම සෙන්ටිග්‍රෙඩ් 0.63ºකින් ඉහල ගියේය. එයට මූලික හේතුව වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කොටස් දස දහසකට කොටස් තුනේ සිට කොටස් හතරකට කිට්ටු ප්‍රමාණයක් දක්වා ඉහල යෑමයි. මේ ඉහළයාමට වඩාත්ම හේතුවු සාධකය පසුගිය දශක කිහිපය තිස්සේ අප විසින් දවනු ලැබු කාබනික ඉන්ධන ප්‍රමාණයයි.

ඒ අනුව ඉතිහාසයේ මෙතෙක් සටහන් වු උණුසුම්ම අවුරුදු 10 න් නවයක්ම 1990න් පසුව වාර්තා වීම අරුමයක්ද

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවාට වඩා දෙගුණයක වේගයෙන් ගෝලිය උණුසුම වැඩිවන බව යෝක් සරසවියේ පරයේෂකයෝ 2014 මාර්තු වලදී ඉදිරිපත් කළමේ වීඩියෝවෙන් පෙන්වා දෙති

එක් ප්‍රතිචාරයක්

කල්පනා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.