විදු නැන නුවණ – Science Literacy for All

අද ඉන්නා අයගෙන් 70%ක් 2050 වන විටද විසිය යුතුය

යුනෙස්කෝ ඡායාරූපයක්

ටිම් ෆ්ලැනරි

මගේ වයස  මැදි විසිගනන්වල වූ 1981 දී මම නිවර්තන නිව්ගිනිහි උසම  කඳු ශිඛරයක් වන ඇල්බර්ට් එඩ්වඩ් කඳු මුදුනට නැග්ගෙමි.  අවට වනයේ ‍තදකොළ පැහැයට හාත් පසින් වෙනස්ව කඳු මුදුන තඹවන් තෘණතලාවකින් යුක්තවිය. ඒ ඇල්පයින් තණගොන්න අතරින් පතර වැඩුණු පර්ණාංග පැලෑටිවල කොකු දල්ල මගේ හිසට ඉහළින් නැගී සිටියේය.

බෑවුම කෙලවරේදී තෘණතලාව හදිසියේම අතුරුදහන්ව ගොස් පෙඳපාසි වලින් ගැවසි ඝණ වනාන්තරය නැගී සිටියේය. මේ සීමාවෙන් එක් අඩියක් ඔබ්බට තැබුවහොත් සූර්යාලෝකයේ සිට අන්ධකාරය වෙත ඔබ ගෙන යනු ඇත. ඒ අඳුර තුළ පැන්සලක ගනකමින් යුත් කෝටු දඬු පෙඳ වනස්සයෙන්ද ලයිකන පාසිවලින්ද සර්පිලාකාර මීවන පඳුරින්ද වෙලී වැසීගත්තේය.

වන බිමතුළ තෙත අතුකොළ රොඩු ඇතිරිල්ල මත ගස්-මීවන කඳන් වැටී තිබුනු දුටු මම මවිතයට පත්වීමි. සාමාන්‍යයෙන් ගස්-මීවන වැවෙන්නේ තණබිම් වල පමනි. ඒ අනුව වනය කෙමන් කෙමෙන් කඳුමුදුනත ඇති තණබිම ආක්‍රමණය කරන බව නිසැකය. තෙත පොළොව මත ගස්-මීවන කඳක් දිරාපත් වීමට අඩුම වශයෙන් දශකයක්වත් ගතවන බැවින් මගේ අනුමානයට අනුව ඒ කාලය තුල වනය අඩුම වශයෙන් තණබිමෙන් මීටර තිහක්වත් ආක්‍රමණය කලේය.

වනය මෙසේ ව්‍යාප්ත වන්නේ මන්ද? නිවිගිනිහි ග්ලැසියර දියවෙන බව මා කියවා තිබුණි. එසේනම් කඳුමුදුනත පිහිටි තණබිම අභිබවා වනය ව්‍යාප්ත වීමට තරම් ඇල්බර්ට් එඩ්වර්ඩ් කඳු මුදුනේ දේශගුණය උණුසුම්වෙමින් පවතින්නේද? මේ නම් දේශගුණ විපර්යාසය පිළිබඳ කදිම සාක්ෂියක් නොවීද? මම ෆොසිල වර්ග හා භූ-යුග පිළිබඳව හදාරන පුරාජීවවිද්‍යාඥයෙක්මි (palaeontologist). එබැවින් ජීවී විශේෂවල ඉරණම කෙරෙහි වැදගත් දේශගුණ විපර්යාස බලපාන අන්දම මම මැනවින් දනිමි.  එදා ඇල්බර්ට් එඩ්වර්ඩ් කඳුමුදුනේදී ප්‍රථම වරට මා නිරීක්ෂණය කල සාක්ෂිය මගේ ජීවිත කාලය තුළම පෘර්‍ථවිය සැලකිය යුතු වෙනසකට භාජනය වෙමින් පවතින බවට තහවුරු කලේය.  කිසියම් විශේෂ තත්වයක් උද්ගත වෙමින් පවතින බව එදා මට වැටහුණ නමුත් නිශ්චය වසයෙන්ම එය සිදුවන්නේ කුමක් නිසාදැයි නිසි වැටහීමක් ඇති කරගැනීමට එකල මට උගහට විය.

සිදුවන වෙනසෙහි වෙසෙසිබව තේරුම් ගැනීමට තරම් සුදුසු පදවියක එකල මා සිටියද කල් නොයවාම ඒ කුකුස මගේ සිතෙන් බැහැර විය. ඒ වෙනුවට වඩා හදිසි යැයි මට හැඟුණු කාර්යයන් මගේ අවධානය දිනා ගත්තේය. දැව කඳන් ලබා ගැනීම සහ කෘෂිබිම් ව්‍යාප්ත කර ගැනීම සදහා නිව්ගිනි වැසි වනාන්තර විනාශකරමින් තිබුනු අතර සීමාන්තික දඩයම නිසා එම වනාන්තර වල විසු ඇතැම් සත්ව වර්ගයන් සහමුලින්ම අභාවයට යාමේ තර්ජන එල්ල වී තිබුණි. මගේ මව්බිම වන ඔස්ට්‍රෙලියාවේද බොහෝ සරුසාර බිම් ප්‍රදේශ පසෙහි ලවනභාවය වැඩිවීම කරණ කොට බිම නිසරු විමේ තර්ජනයට ලක්ව සිටියේය.  ගෝ ගව සතුන්ගේ අධික උලාකෑම, ජල දූෂණය හා දැව සඳහා වනාන්තර එළිකිරීම ආදි කටයුතු නිසා අපේ පරිසරය හෙබවූ අමිල පරිසර පද්ධතීන් සහ ජෛව විවිධත්වයන් අනතුරට පත්වෙමින් සිටියේය.

ඉදින් මේ දේශගුණ විපර්යාසය දැවැන්ත තර්ජනයක්ද? නොඑසේ නම් කරදර වීමට තරම් බරපතල දෙයක් නොවේද?. එසේත් නැති නම් මේ දෙඅන්තයන් අතරට වැටෙන දැනට කරදර වීමක් අවශ්‍යය නොකරන එහෙත් කල්යල් නොයවා මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණයක්ද?

දේශගුණ විපර්යාස පර්යේෂණ වල සියළු උපකල්පන පිළිබඳව විද්‍යාඥයන් අතර පවා එකඟත්වයක් නොමැත. විද්‍යාඥයෝ  වනාහී මැනවින් පුහුණු කරන ලද සංශයවාදීහුය. එබැවින් ඔවුහු තමන්ගේද අන්‍යයන්ගේද අධ්‍යයන දැඩි සාමූහික විමසුමට ලක් කිරීමට පුරුදුව සිටිති. ඕනෑම විද්‍යාත්මක න්‍යායක් වලංගුව පවතින්නේ එය යල් පැනගිය මතයක් බවට විඛන්ඩය කරන තෙක් පමණි. ‍අනික් අතට දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් සාවධානව සොයාබලා විග්‍රහ කිරීම අසීරු කරුණක් වන්නේ තත් විපර්යාස උද්ගත වීමට හේතු කාරක වන සාධක අපේ ජීවන රටාව හා ස්වභාවයෙන්ම බැඳී ඇතැයි අප බොහෝවිට විශ්වාස කරන බැවිනි.

දේශගුණ විපර්යාසය සිදුවන බවට ඇති ඇතැම් සාක්ෂි ඉඳුරාම නිශ්චිතය. දේශගුණ විපර්යාසය සිදුවන්නේ සුවිශේෂ ආකාරයක වායු දූෂණය කරණ කොට ගෙනය. අපේ වායු ගෝලයේ ප්‍රමාණය සහ එය තුළට මුසුවන දුෂක වායු පරිමාව අපි නිශ්චය වශයෙන්ම දනිමු.  මට පැවසීමට ඇති කතන්දරයෙන් කියැවෙන්නේ හරිතාගාර වායු (greenhouse gas) නමින් හැඳින්වෙන එම ඇතැම් දූෂක වායු පෘථිවිය මත ඇති ජීව වස්තුන් කෙරෙහි බලපා ඇති අන්දමයි.

ගතවූ වසර 10,000 ක කාලයක් තුළ මිහිතළය මත මධ්‍යක උෂ්ණත්වය හෙවත් උෂ්ණත්වයේ සාමාන්‍යය අගය සෙන්ටිග්‍රෙඩ් 14°ක් වශයෙන් පැවතුණි. සමස්තයක් වශයෙන් බැලූ විට මේ ප්‍රමාණයේ මධ්‍යයක උෂ්ණත්වය මානව සංහතියට අතිශයින් ප්‍රශස්ත විය. මේ මධ්‍යක උෂ්නත්වය බව බෝග වගාව, සත්වයන් ගෘහස්ථ කරගැනීම, නගර ගොඩ නැගීම ආදියෙන් නිරෑපනය වන පරිදි මානව සමාජය චමත්කාරජනක ලෙස සංවිධානය කිරීමට දායක විය.

මේ දියුණුවේ පරිණතියට පැමිණ ඇති අප ගතවූ ශතවර්ෂය තුළදී අවසාන වශයෙන් යථා අර්ථයෙන්ම ගෝලීයකරණය වු මානව ශිෂ්ඨාචාරයක් ගොඩනඟා ඇත්තෙමු. මේ අන්දමට ස්‍වයංසංවිධානය විය හැකි අනෙකුත් එකම සත්ව විශේෂ වනුයේ  කූඹි, මී මැස්සන් හා වේයන්ය. ඒ හා සැසඳු විට මානව සමාජයට අවශ්‍යය සුවිශාල සම්පත් ප්‍රමාණය අනුව අප සමාජ සංවිධානය මේ ආකාරයෙන් පවත්වාගෙන යාමම විශාල ජයග්‍රහණයකි.

මිහිතලයේ මධ්‍යයක උෂ්නත්වයට තුඩු දෙන යාන්ත්‍රණය බෙහෙවින් සංකීර්ණ මෙන්ම භඟුර (fragile) ස්වභාවයෙන්ද යුක්තය. මේ යාන්ත්‍රණයට පදනම වී ඇත්තේ කාබන් ඩයොක්සයිඩ් (CO2) නමැති එක කාබන් පරමාණුවකින් හා ඔක්සිජන් පරමාණු දෙකකින් සංගෘහිත වර්ණයක් හෝ ගන්ධයක් හෝ නොමැති වායුවකි.

සකල ජීව වස්තුන්ගේ පැවැත්මට අවශ්‍යය සමතුලිතභාවය ආරක්ෂා කිරීමට කාබන් ඩයොක්සයිඩ් වායුව ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. එමෙන්ම එය නිවෙස් උනුසුම් කිරීමට, ප්‍රවාහන කටයුතුවලට හා අනෙකුත් බලශක්ති අවශ්‍යයතාවයන්ට යොදා ගන්නා ගල් අගුරු, ඛනිජ තෙල් සහ දහන වායු (gas) වැනි ෆොසිල ඉන්ධන වල අපද්‍රව්‍යයක් වශයෙන්ද බෙහෙවින් විප්‍රෙෂණය (emission) හෙවත් නිකුත් වෙයි.  වීනස් හෙවත් සිකුරු හා මාර්ස් හෙවත් අඟහරු වැනි මළගිය ග්‍රහලෝකවල වායුගෝලය වැඩි වශයෙන්ම සංයුක්තව ඇත්තේ කාබන් ඩයොක්සයිඩ් වලිනි.  ජීව වස්තූන්ගේ හා පොළෝ පරිසරයේ ක්‍රියාකාරිත්වය මගින් කාබන් ඩයොක්සයිඩ් පාලනය නොකරන්නට එවැනි තත්ත්‍වයක් අපේ ග්‍රහලෝකය වන පෘර්‍ථවියේද උද්ගත වීමට ඉඩ තිබුණි. අපේ පෘථිවිය පුරා ඇති ගල්, පස් සහ ජලාශ ආදිය කාබන් පරමාණුවලින් ඉතිරීගොස් ඇති අතර ඒවා ඔක්සිජන් හා එක්ව කාබන් ඩයොක්සයිඩ් වායුව වශයෙන් වායුගෝලයට මුසුවීමට නොඉවසිල්ලෙන් බලා සිටියි. කාබන් වනාහි සැබවින්ම සර්ව ව්‍යාප්ත මුල ද්‍රව්‍යයකි.

ගතවු වසර 10,000 තිස්සේ වායුගෝලයේ අඩංගුවූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුකොටස් 10,000 කට කාබන් ඩයොක්සයිඩ් කොටස් තුණක් පමන විය. එය ඉතා අල්ප ප්‍රමානයකි. ප්‍රතිශතයක් වශයෙන් ගත් විට වායුගෝලයේ ඇති මේ කාබන් ඩයොක්යිඩ් ප්‍රමාණය 0.03% තරමි.  ඒ සා සුළුතර ප්‍රමාණයක් වුවද එම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පෘථිවියේ උෂ්ණත්වය ඉඳුරා නිර්ණයනය කිරීමේ තීරණාත්මක සාධකයක් වෙයි. ෆොසිල ඉන්ධන දවන, විදුලි බුබුළු දල්වන හා ආහාර පිසින හැම මොහොතකම අපි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිෂ්පාදනය කරමු. මෙසේ නිපදවෙන නව කාබන් ඩයොක්සයිඩ්  ශත වර්ෂයක පමණ කාලයක් වායුගෝලයේ ගැවසෙයි. මේ නිසා අප ආශ්වාස කරන වාතයේ අඩංගුව ඇති කාබන් ඩ‍යොක්සයිඩ් ප්‍රමාණය අනවරතයෙන් වැඩිවෙමින් පවතී. පෘථිවියේ උෂ්ණත්වය ඉහල යාම හෙවත් ගෝලීය උණුසුම (global warming) වැඩිවීමට හේතුව එයයි.

වසර 2004 වන විට මගේ කනස්සල්ල බෙහෙවින් වැඩිවී තිබුණි.  කලින් තක්සේරු කල ප්‍රමාණයට වඩා දසගුණයක වේගයකින් දියවෙන ග්ලැසියර, වායුගෝලයේ ඇති හරිතාගාර වායු සංයුතිය අවුරුදු මිලියන ගණනාවක දක්නට නොලැබුනු පරිදි ඉහල යාම, දේශගුණ විපර්යාසය නිසා වඳවී යන ජීව ප්‍රභේද පිලීබඳ පළවු පර්යේෂණ ලිපි වලින් ලොකයේ  විශිෂ්ඨ විද්‍යා සඟරා පි‍රී තිබුණි. ඒ හැර සීමාන්තික දේශගුණික විපත්, දීර්ඝ කාලීන නියඟ හා ඉහළ යන මුහුදු ජල මට්ටම පිළිබඳවද නොයෙක් දෙසින් වාර්තා විය.

කාබන් ඩයොක්සයිඩ් විප්‍රෙෂණය වීමෙන් උද්ගතව ඇති මේ ගැටළුව විසඳීමේ වගකීම තනිකරම අන් අය පිට පැටවීමට අපට නොහැකිය. අප සියල්ලන්ගේ එදිනෙදා ජීවන රටාව අමතර වියදමකින් තොරවම වෙනස් කිරීම මගින් දේශගුණ විපර්යාසයට එරෙහිව සාර්ථක ලෙස සටන් කිරීමට අපට හැකිය. ඒ අර්ථයෙන් ගත් විට ජෛව විවිධත්වය හෝ ඕසෝන් සිදුර වැනි අනිකුත් පරිසර ගැටළු වලට වඩා දේශගුණ විපර්යාසය පිළිබඳ ගැටළුව වෙනස් ස්වරූපයක් ගනී.

අද ඇති විශිෂ්ඨතම විද්‍යාත්මක සාක්ෂිවලට අනුව අපේ වර්තමාන කාබන් ඩයොක්සයිඩ් විප්‍රෙෂණ ප්‍රමාණය වසර 2050 වන විට 70%කින් අඩුකල යුතුය.

 මෙය කෙසේ නම් කළ හැකිද?

ඔබේ පවුල සතුව ඇති ෆෝවීල් වර්ගයේ වාහනය වෙනුවට ප්‍රෙට්‍රල් එන්ජිම සහ ඉලෙක්ට්‍රික් මෝටරය දෙමුහුන්(hybrid) කොට දුවන වාහනයක් යොදාගැනීමෙන් ඔබේ ප්‍රවාහන කටයුතු නිසා විප්‍රෙෂණය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 70%ක් වහාම අඩු කල හැකිය.

ඔබේ නිවසට විදුලි බලය සපයන ආයතනය පරිසරය සුරකින හරිත බලශක්ති (green energy) විකල්පයක් ඉදිරිපත්කර ඇත්නම් ඔබේ නිවසේ විදුලිබල භාවිතය නිසා ඉහළ යන කාබන් ඩයොක්සයිඩ් විප්‍රෙෂණය හරිත බලශක්ති විකල්පයට දායක වීමෙන් අවම කරගත හැකිය. ඔබට සැපයෙන විදුලිය සුළං බලය, සූර්ය බල ශක්තිය හෝ ජලවිදුලි බලය මගින් සැපයිය යුතුයැයි තදින් ඉල්ලා සිටිය යුතුය.

කාබන් ඩයොක්සයිඩ් විප්‍රෙෂණය අඩුකිරීම සඳහා මුළු හදින් කැපව කටයුතුකරන දේශපාලනඥයෙකුට චන්දය භාවිතා කිරීමට ඔබේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් පෙළඹවීමෙන්  ලෝකය වෙනස්කිරීමට ඔබට දායක විය හැකිය.

කාබන් විප්‍රෙෂණයෙන් වියුක්ත ආර්ර්‍ථකයක් ගොඩනැගීම සඳහා අවශ්‍යයකරන සියළුම තාක්ෂණික ඥාණය අප සතුව ඇත. අවශ්‍යය කරන්නේ එම ඥානය උපයෝගීකර ගැනීම සහ ඒ පිළිබඳ අපේ අවබෝධය වැඩි දියුනුකරගැනීමයි. එයින් අප වලක්වන්නේ අඛන්ඩව පරිසර දූෂණය කරගෙන යාමෙන් මහත් ධන සම්භාරයක් උපයන අය විසින් අප අතර ඇතිකර තිබෙන අශුභවාදි ව්‍යාකූල ආකල්පයි.

අප සියල්ලන්ගේම අනාගතය පවතින්නේ ඔබ වැනි පාඨකයන් මතය. කිසියම් කටයුත්තක් සඳහා මගේ පවුලේ උදවිය එක් රැස්වන හැම විටකම දේශගුණ විපර්යාසයේ යථා ස්වභාවය හා එමගින් මගේ පරපුරේ අනාගතය කෙරෙහි ඇති වෙන දැවැන්ත බලපෑම මගේ සිතෙන් බැහැරට නොයයි. මෝටර් රථවාහන හා විදුලි බුබුළු එවකටත් නව නිපැයුමක් ලෙස සැලැකුණු යුගයක ඉපදුණු මගේ මවගේ වියපත් දෙනෙත් ඇගේ දස හැවිරිදි මුනුපුරා ඇතුළු දරුමුනුපුරන් හමුවූවිට දීප්තියෙන් දිදුලයි.

ඒ මුණුපුරන් මේ සිය වසර අවසාන භාගය වනතෙක් වයසට පත්නොවෙන බැවින් අපේ මුළු පවුලේම එකතුව වසර 150ක් පමන කාලයක් විහිදයන ගැඹුරු ආදර බන්ධනයක් ලෙස සැලකිය හැකිය. ඒ මුනුපුරන්ගේ දෙමාපියන්ට, මගේ මවට සහ මටද අපේ අභිවෘද්ධිය මෙන්ම ඔවුන්ගේ අනාගත අභිවෘද්ධියේ හැම බිඳක්මද  ඉතා වැදගත්ය.

දේශගුණ විපර්යාසය මිහිමත වසන හැම පවුලක් කෙරෙහිම බලපායි. අද ජීවත්වන අයගෙන් 70% වසර 2050 වන විටද ජීවත්වන බව අමතක නොකළ යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: