සැමට විදු නැන නුවණ – Science Literacy for All

මොළයේ මහා ඝටිකාව සහ කාල කම්මැලිකම

කලක් විදේශයක ජීවත් වී මෙහි පැමිණෙන නෑ හිතවතුන්, පැමිණි මුල් දින කිහිපයේ නොයෙකුත් අපහසුතාවලට පත්වන බව අත්දැකීමෙන්ම ඔබත් දන්නවාට සැකයක් නැත.  ඉන් සමහරුන්ට අප සාමාන්‍යනේ නිදාගන්නා රාත්‍රිකාලයේ නින්ද යන්නේ නැත. සමහරුන්ට දැඩි මහන්සි ගතියක් දැනේ. නැතහොත් කම්මැලි ගතියක් ඇතිවන බව පවසති. වැඩිහිටියන් තුළ ළමුන්ට වඩා පැහැදිලිව මේ ‘අතුරු ආබාධ’ දැකිය හැකිය. එමෙන්ම කාල කලාප ගණනාවක් පසුකර පැමිණෙන්නන් (time zones ඒ කියන්නේ පැමිණ සිටින රටට වඩා වෙනස් වේලාවන් දැක්වෙන කලාපවල සිට පැමිණි අය) අතර මේ ලක්ෂණ වැඩිවා පමණක් ෙනාව  ළඟපාත රටවල සිට පැමිණෙන අය තුළට වඩා වැඩියෙන් මේ ලක්ෂණ ප්‍රදර්ශනය වේ. කාල කලාප වෙනස්වීමේ සහලක්ෂණය (time zone change syndrome or desycronization), ඒ කියන්නේ සුසංගතකරණයට බාධා වීම යනුවෙන් හැඳින්වූවද බොහෝ දෙනා අතර  හුරු පුරුදු වචනය ජෙට්ලැග්(කාල පසුබෑම) යන්නයි. මෙහෙම වෙන්නේ ඇයි? මෙය රෝගාබාධයක් නොවුවත් මානවයන්ගේ ශරීරය ක්‍රියාකරන ආකාරය ගැන වටහා ගැනීමට උපකාරී වන්නක් බව කිවමනාය.

මෙම තත්ත්වයට ජෙට් ලැග් යන්න (Jet Lag) යොදන්නේ අතීතයේ නැවෙන් දුම්රියෙන් හෝ පැරණි තාලයේ ගුවන්යානාවලින් ගමන් කළ කාලයට වඩා ජෙට් යානා සම්ප්‍රාප්තියත් සමග එය කරළියට ආ නිසාවෙනි. අතීතයේ ගමන් කළ ආකාරයට මෙන් නොව ජෙට් ගුවන් යානා කාල කලාප හරහා වේගයෙන් ගමන් කරයි. නවීන ලෝකයේ ජෙට් ගමන් ගතහොත් ඔරලෝසුවේ වේලාවෙන් පැය 12ක වෙනසක්  ඇති රටවල් දෙකක් අතර එම පැය ගණනකින්ම ගමන් කළ හැකිය. උදාහරණයකට ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර කාලයක් ජීවත්වන අයෙකු රාත්‍රී අටට ජෙට් ගුවන් යානයකින් බංග්ලාදේශයේ ඪකා අගනුවර දක්වා ගමන් ආරම්භ කළේ යයි සිතමු. එම අය ගමන පටන් ගන්නා විට ඪකා නුවර ඔරලෝසු වේලාව පසුදින උදෑසන අටය. පැය දොළහකින් ගමන නිම කෙළාත් එම අය ඪකා නුවර බලා පැමිණෙන්නේ එම නගරයේ ඔරලෝසුවෙන් රාත්‍රී අටටය. ඪකා නුවර වැසියන් දැන් නින්දට සූදානම් වෙමින් සිටියත් චිකාගෝ සිට පැමිණි අයට නිදිමත දැනෙන්නේ නැත. හිරු බැස ගොස් රාත්‍රීය උදා වී ඇතත් නින්ද යන්නේ නැත. මෙසේ වන්නේ ඇයි?

අපේ ශරිරවල පැය 24ම ක්‍රියාත්මක වන ජීව රසායනික, කායික හා චර්යාත්මක ක්‍රියාදාමයක් තිබේ. එය හඳුන්වන්නේ සර්කේඩියානු රටාව යනුවෙනි.  මෙයින් අදහස් වන්නේ අපේ සිරුර දිනපතා සිදුවන යන අර්ථයයි. අපේ සර්කේඩියානු හෙවත් දිනපතා ඇතිවන රටා තීරණය වන්නේ ශරීරාභ්‍යන්තරයේ හෝරා මිනුම් පද්ධතියක් මගිනි. එ නිසා සාමාන්‍ය දෙනා අතරේ මෙය ශරිර හෝරා යන්ත්‍රයක් (biological clock) ලෙසත් ව්‍යවහාර වේ. මේ ජීව විද්‍යාත්මක ඝටිකා යන්ත්‍රය ක්‍රියාත්මක වීමමේදී දිවා ‍ රාත්‍රී  හගවන එළිය අඳුර චක්‍රය වැනි පරිසරාත්මක සිදුවීම් බලපායි. සරලව දක්වන්නේ නම් නිදා ගැනීම, ආහාර ගැනීම අවදිවීම ශරිර උෂ්ණත්වය පාලනය කිරීම ආදී අපේ එදිනෙදා කටයුතු නියාමනය වන්නේ අපේ සර්කේඩියානු රටාව මගිනි. ශරිරාභ්‍යන්තරයේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව රටවල් දෙකක දෛනික රටාව හා ගැළපීමේදී ඇතිවන ගැටලු තමයි ජෙට්ලැග් යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන්නේ.

දැන් අපේ උදාහරණයේදී ඪකා නුවරට පැමිණෙන චිකාගෝ වැසියා බැලුවොත් ඒ අය බංග්ලාදේශයට පැමිණෙන විට ශරීරාභ්‍යන්තර ඔරලෝසුව අනුව ඔහුගේ දෛනික රටාව හුරුවන්නේ උදෑසන අවදිව වැඩට යාම පිණිසය. ඪකා නුවර වැසියන්ගේ ශරීරාභ්‍යන්තර හෝරා යන්ත්‍රය අනුව ඔවුන් සූදානම් වන්නේ නිදා ගැනීමටය. මෙලෙස ආ මොහොතේ සිට චිකාගෝ වැසියාගේ ජීවවිද්‍යාත්මක හෝරා යන්ත්‍රයට පැමිණ රටේ වේලාව හා ගැළැපීමට අපහසුවේ. එනිසා නිදාගැනීම, අවදිවීම, ආහාර ගැනීම ආදියෙහි රටාවල දැඩි වෙනසක් ඇතිවේ. කාල පසුබෑම නිසා චිකාගෝ වැසියාට ඇතිවන වෙනස්කම් හුදෙක් නිදා ගැනීමට අපහසුවීම හෝ ඉක්මනින් අවදිවීමට පමණක් සීමා නොවේ. ව්‍යාකූලතාව, විෂාදය (අසහනය) කම්මැලිකම, ගාත්‍රා ඉදිමීම, කෑම අරුචිය හා අජීර්ණය නොරුස්සන ගතිය ආදි ලක්ෂණ ගණනාවක් ඇතිවේ. කෙසේ වෙතත් ජෙට් ලැග් හෙවත් කාල පසුබෑමේ සින්ඩ්‍රෝමයේ බලපෑම ඇතිවන්නේ, කාල කලාප ගණනාවක් හරහා නවීන ජෙට් යානාවලින් වේගයෙන් ගමන් කිරීමෙනි. ඒ කියන්නේ නැගෙනහිර සිට බටහිර දෙසට හෝ බටහිර ‍සිට නැගෙනහිරට ගමන් කිරිමේදීය. මෙයිනුත් බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීමේදී සින්ඩ්‍රෝමයේ ලක්ෂණ වැඩියෙන් දැනේ. ඒ අනුව චිකාගෝ වැසියා (උඩ සිට පහළට) චිලියට ජෙට් යානයෙන් ගමන් කිරීමේදී මෙම ලක්ෂණ බලනොපායි. ඊට හේතුව අන්තර්ජාතික වේලාවල හා තම ශරීරාභ්‍යන්තර හෝරා යන්ත්‍රයේ වේලාව අතර නොගැළපීමක් නැති හෙයිනි. තවද, බටහිර සිට නැගෙනහිරට හෝ නැගෙනහිර සිට බටහිරට ගමන් කරද්දී පසුකරන පැයක කාල කලාපයකටම ශරීර ඝටිකාව ගළපා ගැනීමට දවසක් ගත වන බව විශේෂඥයෝ පෙන්වා දෙති. ඒ කියන්නේ අපේ චිකාගෝ වැසියා ඪකා නුවරට ළඟාවෙද්දී පැයේ කාල කලාප 12ක් පසුකරන හෙයින් ඔහුට සින්ඩ්‍රෝමයේ සහලක්ෂණ පහවීමට දින 12ක් ගතවේ. කෙසේ වෙතත් මහළු උදවියට තරුණ හා ළමා වියේ අයට වඩා ප්‍රකටව මේ ලක්ෂණ මතුවිය හැකිවේ.

ජෙට් ලැග් හෙවත් කාල පසුබෑම පිටුපස ඇති විද්‍යාව:

අපේ ශරීරාභ්‍යන්තරයේ සෛලවල ජීව විද්‍යාත්මක ඝටිකා ලෙස වැඩකරන අන්තර්ක්‍රියාකාරී අණු කාණ්ඩ ගණනාවක්ම ඇත. හෝමෝන නිකුත් කළ යුත්තේ කුමන වේලාවේදැයි අපේ ග්‍රන්ථිවලට දැන්වීම, අපේ සිරුරේ උෂ්ණත්වය සීරුමාරුකිරීම සහ තවත් උපදෙස් සපයනු ලබන්නේ සිරුර පුරා ඇති සෛලවල පිහිටි මේ කුඩා ඝටිකා (ඔරලෝසු) මගිනි. ලොව පුරා පිහිටි ඔරලෝසු, එක්සත් රාජධානියෙහි ග්‍රිනිච් හි රාජකීය නිරීක්ෂණාගාරය මත රඳා පවතිනවා මෙන්, සෛලවල ඇති මේ කුඩා ඔරලෝසු, මොළයේ හයිපොතැලමස නම් කොටසේ (සිරුරේ උෂ්ණත්වය, පිපාසය, කුසගින්න, නින්ද, අවේගශීලී කි‍්‍රයා ආදිය මෙහෙයවන මොළයේ කොටස) පිහිටි ප්‍රධාන නැතිනම් පාලක ‘ඔරලෝසුව’ මත රඳා පවතී. නියුරෝන හෙවත් ස්නායු සෛල 20,000න් සමන්විත මේ ‘ඔරලෝසුව’ හඳුන්වන්නේ, අධිවිච්ඡේදිත න්‍යෂ්ටිය (suprachiasmatic nucleus or SCN)  යනුවෙනි. අපේ නිදාගැනීමේ හෝ අවදිවීමේ රටාව මෙන්ම සර්කේඩියානු රටාව යනුවෙන් හැඳින්වෙන ශරීර ක්‍රියාකාරකම ද නියාමනය කෙරෙන්නේ මෙම න්‍යෂ්ටිය මගිනි. උදාහරණයක් ලෙස නිදාගැනීමට සුදුසු වේලාවපැමිණ උදාවු විට මේ පද්ධතියෙන් මෙ‍ලටොනින් නම් හෝමෝනය මුදා හැරේ. එවිට අපට නිදිමත දැනේ. (තතු  බුදිමත      ලිපිය බලන්න.) ආලෝකය පිළිබඳ දැනීම ඇස්වල සිට මොළය දක්වා ගෙන යන දෘෂ්ටික ස්නායු මේ ප්‍රධාන ඝටිකාව ආසන්නයේ පිහිටා තිබීම නිසා සුදුසු වේලාව දැන ගැනීමද පහසුවේ. ඇරත් අපේ සිරුරු විධිමත් භාවයට කැමැත්තක් දක්වන නිසා ඉබේටම දෛනික රටාවකට (සර්කේඩියානු රටාවට) පුරුදු වේ. ජෙට් ලැග් මගින් සිඳී බිඳී යන්නේ මේ රටාවයි. ගැටලු මතුවන්නේ එවිටයි.

මේ පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් දැන් සොයාගෙන ඇත්තේ අප පුදුමයට පත්කරවන කාරණාවකි. එ නම් මොළයේ ඇති මේ ප්‍රධාන හෝරා යන්ත්‍රයට අමතරව, අක්මාව. අග්න්‍යාශය හා අනෙකුත් අවයව තුළ මෙන්ම මේදමය පටකයෙහි මේ කුඩා ඔරලෝසු පිහිටා ඇති බවත්, මෙම ‘කලාප ගත ඔරලෝසු’ හා මොළයේ පිහිටි ප්‍රධාන ඔරලෝසුව අතර නොගැලපීම් ඇති වූ විට ශරිරයේ අතුරු ආබාධ ඇතිවන බවත්ය.

 

Scientific American, How stuff work ආදියෙහි ලිපි ඇසුරුකරගෙන තතු මාණ්ඩලිකයෙකු විසින් පිළියෙල කරන ලද්දකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: