විදු නැන නුවණ – Science Literacy for All

පොළොව කැන ගොඩදමන වැළලුණු හිරු එළිය

විදුලිය නිපදවන නොරොච්චෝලේ තප බලාගාරය ටර්බයින කැරකෙන්න‍ේ ගල්අඟුරු දැවීමේන් රත්කරගත් ජලවාෂ්ප වලිනි. ගල් අඟුරු වනාහී පෘර්‍ථවියේ බහුල වශයෙන්ම මිහිදන්ව පවතින කාබනික ඉන්ධන වර්ගයයි.  ‍ගල් අඟුරු හැඳින්වීමට  ඇතැම් විට භාවිතා කරන “වැළලුණු හිරු එළිය” (buried sunshine) යන අන්‍යය නාමය ඊට මනාව ගැලපෙයි.  මන්ද,  ගල් අඟුරු යනු ප්‍රභාසංස්ලේශණයෙන් වැඩී අවුරුදු මිලියන ගණනාවකට පෙර  හැල් වගුරුවල පාශාණිභූතවූ වෘක්ෂයෝය.  ශාක ගල් අඟුරු බවට පත්වන මුල් අවදියේ ස්වභාවය බෝර්නියෝවේ හෙල් වගුරු බිම් වලින් අද ද දැක ගන්නට පුළුවන.  එහි හෙල් බිම්වල වැවෙන දැවැන්ත වෘක්ෂයන් මඩ වගුර මත වැටී එරී යයි.  මඩ යට ඔක්සිජන් විරල බැවින් ගසේ දාරුමය කොටස දිරා යාම වැලකෙයි. මෙසේ කාලාන්තරයක් තිස්සේ මඩ මත වැටී තට්ටු ගනනින් එකපිට ගොඩගැනෙ දාරුමය කොටස් ගංගාමගින් ගෙනවිත් හෙල් ගොහොරුවල කාලාන්තරයක් තිස්සේ තැන්පත් වන රොන් මඩ නිසා සම්පීඩනයට ලක්වෙයි, එවිට ඒවා තෙතමනය හා අනෙකුත් ජීර්ණ ද්‍රව්‍යයන්ගෙන් වියුක්තව නිධිගතවෙයි.

 දීර්ඝ කාල පරිච්ඡෙදයකදී හැල් ප්‍රදේශ කෙමෙන් කෙමෙන් පොලව යටට කිඳා බසින විට පොලොවේ උෂ්ණත්වය හේතු කොට දාරුමය  සහ අනෙකුත් අවශේෂ කොටස් රසායනිකව  ප්‍රතික්‍රියා කිරීම නිසා පීට් නමින් හැඳින්වෙන දහනය වන සුළු ද්‍රව්‍යය බවට පත්වේ. පළමුවෙන් පීට් දුඹුරු ගල් අඟුරු බවටත් වසර මිලියන ගනනකට අනතුරුව බිටුමිනස් නමින් හැඳින්වෙන තෙතමනයෙන් හා අපද්‍රව්‍යයන්ගෙන් අඩු ගල් අඟුරු බවටත් පත්වේ. තවදුරටත් උෂ්ණත්වයට හා පීඩනයට ලක්වූවිට ඒවායේ ඇති අපද්‍රව්‍යය සියල්ල පහව ගොස් තද කළු පැහැයෙන් යුත් ඇන්ත්‍රසයිට් බවට පත්වේ. මේ දිර්ඝ ක්‍රියාවලිය පරිපූර්ණ වීමට වසර මිලියන ගණනාවක් ගතවේ.

පෘථවි ඉතිහාසයේ මිට වසර මිලියන 50කට පෙර පැවැති ඊඔසින අවධිය (Eocene Period) අනෙකුත් අවධිවලට වඩා ගල් අඟුරු ඇතිවීමට බෙහෙවින් හිතකර විය. ඒ අවධියේදී ඔස්ට්‍රෙලියාවේද යුරෝපයේ ද අතිවිශාල ප්‍රදේශ හැල් වගුරු වලින් ගහන විය. එකල මේ ප්‍රදේශවල නිධිගතවූ වෘක්ෂ අවශේෂ මෙකල ගල් අඟුරු වශයෙන් හාරා ගනු ලැබේ. ඇන්ත්‍රසයිට් වර්ගයේ ගල් අඟුරු වශයෙන් අද හාරා ගන්නා වෘක්ෂයන් ජීවත් වූයේ මීට අවුරුදු මිලියන 290 -360 දක්වා පැවැති කාබොනිෆෙරස් අවධියේදීය (Carboniferous Period).   වර්මාන තෙත් කලාපීය වනාන්තර වලට වඩා බෙහෙවින් වෙනස් වූ කාබොනිෆෙරස් වනාන්තර බඳින් වට මීටර දෙකක් තරම් සහ උසින් මීටර 45ක් පමණ දැවැන්ත ලෙපිඩොඩෙන්ඩ්‍රොම් (Lepidodendron)වැනි වෘක්ෂයන්ගෙන් යුක්තවිය. මේ ශාක වර්ග බොහෝමයක් අද දක්නට නොලැබේ.

කාබොනිෆෙරස්  යුගයේ මහපොලොව සිව්පාවන්ගෙන්. පක්ෂීන්ගෙන් හා උරගයන් ගෙන් තොර විය. ඒ වෙනුවට තෙතබරිත කාබොනි‍ෆොරස් වනය ගහණ වුයේ කෘමීන්, හැකරැල්ලන්, මකුළුවන්  වැනි සත්ව වර්ගවලිනි. පරිසරය ඔක්සිජන් වලින් සරු වීතිබූ බැවින් තෙතබරිත කාබොනි‍ෆොරස් වනයේ විසූ පත්තෑයන්, හැකරල්ලන් වැනි සතුන් මීටර දෙකක් පමණ දක්වා දික්වූ අතර මකුළුවන් මීටරයක් පමණ විශාල විය. කැරපොත්තන් සෙන්ටි මීටර 30ක් පමණ දිග විය. ජලය මත තැනින් තැනට පියඹා ගිය කූරෙකුගේ විහිදුනු පියාපත් මීටරයක් පමණ දිගු විය. වගුරුබිම් වල ජලයෙන් යටවු තැන්වල කිඹුලෙකු තරම් විශාල ඉස්ගෙඩියන් වැනි උභයජීවීහු ජිවත්වූහ.

මේ තරම් ඈත යුගයකදී  පොලොව යට සදාකාලිකව තැන්පත්වු මල ශාක ද්‍රව්‍ය අද අපි ගල් අඟුරු වශයෙන් හාරා ගොඩගෙන පුලුස්සා දමමු. අපේම ප්‍රයෝජනය සාධාරණිය කිරීම සඳහා  අපට ඇති හැකියාව නොවන්නට  මේ ක්‍රියාව හා  මලවුන්ට බාධා කිරීම අතර වැඩි වෙනසක් නොමැත.

අචාර්ය ටිම් ෆ්ලැනරිගේ We are the weather makers නමැති පොතෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: