විදු නැන නුවණ – Science Literacy for All

ගල්ගෙඩියකටත් ශක්තිය තියෙනවා

විවිධාකාර ශක්ති වර්ග ඇති අතර එක් අකාරයක ශක්තියක් තවත් ආකාරයකට පරිවර්තනය කළ හැකිවීමද ශක්තියේ එක් වැදගත් ලක්ෂණයක්. එහෙත් හැම ශක්ති වර්ගයකටම එක්තරා පොදු ගුණයක් තියෙනවා. එනම් ඒ හැම ශක්තියක්ම කිසියම් බලයක් යෙදීමට හැකි පද්ධතියකට සම්බන්ධව පැවැතීමයි. ඒ අනුව කිසියම් පද්ධතියක ඇති ශක්ති ප‍්‍රමාණය මුළුමනින්ම වැය වී ගියොත් එම පද්ධතියට කිසිදු කාර්යයක් ඉටු කල නොහැකි වෙයි.

විභව ශක්තිය.(Potential Energy)

පර්වත ගැට්ටක රඳවා ඇති ගල්ගෙඩියකට කාර්යය කිරීමේ හැකියාවක් නොහොත් වඩා නිවැරදිව කිවහොත් ‘විභවයක්‘ තිබෙනවා. පර්වතයෙන් පහළ පල්ලමේ ඇති බිමට වැටෙන්නට ගල්ගෙඩියට ඉඩ සැලසුවොත් එසේ වැටෙන ගල් ගෙඩිය මගින් යොදන බලයෙන් එබිම යම්කිසි එබීමක් ඇති වෙනවා. ඒ අනුව පර්වත ගැට්ටේ රැඳී සිටින විටත් ගල් ගෙඩියට ශක්තිය තිබිය යුතුයැ‘යි අපට කිව හැකියි. මේ ශක්තියට අප කියන්නේ විභව ශක්තිය කියලායි. මෙහිදී විභවය යනුවෙන් අදහස් කරන්නේ ගල නමැති පද්ධතියට කාර්යයක් ඉටුකිරීමේ හැකියාවක් ඇති නමුත් මේ මොහොතේදී එසේ කාර්යයක නිරතව නැති බවයි. මෙහිදී අනාගතයේදී යොදා ගැනීමට ශක්තිය ගබඩා කර ඇති දෙයක් ලෙස ගල සැලැකිය හැකියි.

ගඟක් හරස් කොට බැම්මක් බැඳ ජලය ගබඩා කළ ජලාශයක ගුරුත්වාකර්ෂණයට නතුවෙන විභව ශක්තියක් තිබෙනවා. ජලාශයක මෙසේ විභව ශක්තිය ගබඩා කර තබා ඇත්තේ අවශ්‍ය විටෙක ජලය ගුරුත්වාකර්ෂණයට මුදා හැර ජල විදුලි බලය නිපදවීම පිණිසයි. කාසල් රී,වික්ටෝරියා, රන්දෙනිගල, කොත්මලේ ආදී ජලාශ වල රඳා ඇති විභව ශක්තියේ අරමුණ එයයි.
මේ කියන විභව ශක්තීන් විවිධාකාරයෙන් පවතින්නට පු`ථවන්. රබර් පටියක් අදින විට හෝ දුනු කොයිලයක් තෙරපන හැම විටම ඒවා ආපස්සට පැනීමට සූදානමිනුයි සිටින්නේ. එසේ ඒවා ආපස්සට පනින විට ඇත්තටම කෙරෙන්නේ කිසියම් දුරපරතරයක් තුළ කෙරෙන බලය යෙදීමක්. ඒ අනුව රබර් පටියකට ඇදෙන සුලූ විභව ශක්තියක් ඇති බව අපට කිව හැකියි. ඛනිජ තෙල්, ගල් අ`ගුරු වැනි දහන ඉන්ධන තුළ ගබඩා වී ඇත්තේ රසායනික විභව ශක්තියයි. කිසියම් කාර්යයක් කිරීම පිණිස ඒ විභව ශක්තිය මුදා හැරෙන්නේ ඉන්ධනය දහනය වන විටයි. එසේම චුම්බක තුළද, බැටරි තුළද ස්වාභාවධර්මයේ ඇති අනිකුත් විවිධාකාර පද්ධති තුළද විභව ශක්තිය ගබඩා වී තිබෙනවා.

චාලක ශක්තිය(Kinetic Energy)

අවශ්‍ය විටෙක මුදා හැරීම පිණිස යම් ස්ථාවර වස්තුවක් තුළ ගබඩා වී ඇති ශක්තිය විභව ශක්තිය යන නම්න් හඳුන්වනවා මෙන්ම යම්කිසි වස්තුවක් චලනය වීම නිසා ඇතිවන ශක්තිය හඳුන්වන්නේ චාලක ශක්තිය යන නමින්. හයේ පහරක් වැදී දුර වීසි වෙන බෝලයක්, කර කැවෙන ජලරෝදයක්, පියාඹන කුරුල්ලෙක්, පිහිණන මා`ථවෙක්, වේගයෙන් ගමන් කරන රියක් සහ බිමට වැටෙන කොලයක් වැනි චලනය වන වස්තු මේ සඳහා දිය හැකි ඇතැම් උදාහරණයි. චලනය වන වස්තූන්ට චාලක ශක්තිය ඇතිබව වඩාත් පැහැදිලි වන්නේ චලනය වන වස්තුවක් කිසියම් හේතුවක් නිසා එක වරම නැවතූ විටයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් වෙගයෙන් අවුත් කඩුල්ලෙන් ඉවතට යන ක‍්‍රිකට් බෝලයක් අල්ලා නතර කරන කඩුලූ රකින්නාගේ අත් වැසුම මත නතර වන බෝලයෙන් යෙදෙනෙ බලය නිසා අත්වැසුම මත සම්පීඩනයක් ඇති වෙනවා. එහිදී බෝලය සම්පීඩිත අත්වැසුමේ අත්ල දක්වා දක්වාම බලය යොදනවා. වේගයෙන් දිවෙන රියක් හදිසියේ ගසක ගැටී නතර වු විට රියෙන් යෙදෙන බලය නිසා ගස තල්ලූ වෙනවා. එමෙන්ම නාය යන කන්දකින් මුලු ගමක්ම යටවී විනාශවී යා හැකියි. එසේ ගම යට වී යන්නේ නාය යන කන්දේ ඇති චාලක ශක්තිය හේතු කොට ගෙනයි.

ද්‍රව්‍යක ඇති හැම පරමාණුවක්ම සාමාන්‍යයෙන් පවතින්නේ කිසියම් චලිතයකට ලක්වයි. වායුවක පරමාණු නිදහසේ සංචලනය වන අතර ඝන ද්‍රව්‍යක පරමාණු නිරන්තර කම්පනයකට ලක්වෙමින් පවතිනවා. මේ දෙයාකාර හැසිරීම් ම චලිතයන්. මේ සියලූම පරමාණුවල ඇති චාලක ශක්තිය අප තාපය යනුවෙන් හඳුන්වන සංකල්පය හා සම්බන්ධයි. ද්‍රව්‍යක පරමාණු වැඩි වේගයකින් චලනය වන විට ද්‍රව්‍යයෙන් ජනිත වන තාප ප‍්‍රමාණයද සැලකිය යුතු පමණින් වැඩි වෙනවා. මේ අන්දමින් තාපය විස්තර කිරීමේ සරල තේරුම තාපය යනු පරමාණු චලනයෙන් ජනිත වන සුවිශේෂ වර්ගයක චාලක ශක්තියක් බවයි.

ශක්ති ප‍්‍රභේදයක් වශයෙන් තාපය හඳුනා ගැනීම 19 වන සියවසේ විද්‍යාව සම්බන්ධයෙන් සිදුවු ඉතා වැදගත් සිද්ධියක්. තාපගතිකය පිළිබඳ අධ්‍යනයට පදනම වැටුනේ ඒ හඳුනා ගැනීමයි. තාපය වනාහී තදින් චලනය වන පරමාණු වල ඵලයකැ’යි යන්න සරල අදහසක් ලෙස පෙනුනත් පර්වත මුදුනක රඳා ඇති ගල් ගෙඩියක් සහ නටන වතුර අතර සහසම්බන්ධයක් ඇතැ’යි යන්න ඒත්තු ගැන්වීම ඒ තරම් පහසු දෙයක් නොවෙයි.

චලනය වන වස්තුවල ඇති චාලක ශක්තිය සම්බන්ධයෙන් වැදගත් කරුණු දෙකක් තියෙනවා. ඉන් එකක් නම් බරෙන් වැඩි වස්තු වලට වැඩි චාලක ශක්තියකුත් බරෙන් අඩු වස්තු වලට අඩු චාලක ශක්තියකුත් ඇති බවයි. අනෙක් කරුණ අඩුවේගයකින් චලනය වන වස්තුවකට වඩා වැඩි චාලක ශක්තියක් වැඩි වේගයකින් චලනය වන වස්තුවකට ඇති බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: