විදු නැන නුවණ – Science Literacy for All

හිරු එළිය ද්‍ර‍ව ඉන්ධන බවට හරවන බයෝනික පත‍්‍රය

සූර්යාලෝකයේ ඵලප‍්‍රයෝජන අතිශෝක්තියෙන් වර්ණනා කළ නොහැකි අතර කියා නිම කිරීමට ද නොහැකිය. ඒ අසීමිත ප‍්‍රයෝජන අතර දහවල ආළෝකමත් කිරීම වුව කැපීපෙනෙන්නක් ලෙස සඳහන් කළ හැකිය. ඉන් සෑහීමකට පත් නොවු මිනිසා සුර්යාලෝකයෙන් රාත‍්‍රියේද එළිය ලබාගන්නා ආකාරය සොයා ගත්තේය. ඒ සුර්ය කෝෂ හරහා බැටරි ආරෝපණය කර විදුලි බුබුළු දල්වා ගැනීමයි. ඒ දැනුමට දැන් කලක් ගතවී ඇතුවා සේම ඒ සඳහා යොදාගෙන ඇත්තේ හුදෙක් තාක්‍ෂණයම පමණකි. නවතම සොයාගැනීම වී ඇත්තේ, තාක්‍ෂණය හා ජීව විද්‍යාව පදනම් කරගෙන ඉන්ධන නිපදවීමයි.

සූර්යාලෝකයෙන් ඉන්ධන සාදන නව ක‍්‍රමය මෙසේයි: බැක්ටීරියා වැනි ක්‍ෂුද්‍ර නැතිනම් අණු ජීවියෙකු මරණාසන්න වන තුරු කුසගින්නේ තබන්න. පසුව ඊට කාබන්ඩයොක්සයිඞ් සහ සුර්ය කෝෂ පැනලයක විදුලිය  ආධාරයෙන් නිපදවා ගත් හයිඩ‍්‍රජන ආහාර වශයෙන් ලබාදෙන්න. එපමණයි!

හිරු එළිය ඉන්ධන බවට හෝ වෙනත් ඵලදායී අණු බවට පරිවර්තනය කිරීමේදී මේ නව බැටරියක් බඳු මේ දෙමුහුන් ක‍්‍රමය නිසා ඇතිවන ප්‍ර‍තිඵල තනිකර ජෛව විද්‍යාත්මක පද්ධතියක් හෝ තනිකර තාක්‍ෂණික පද්ධතියකින් හෝ යොදා ගැනීමෙන් ඇති වන ප්‍ර‍තිඵල වලට වඩා ඉදිරියෙන් සිටින බව පර්යේෂකයන් පිරිසක් කියා සිටිති.

මේ නව පර්යේෂණයට මුල පිරෙන්නේ 2009 වසරේදීය. ඒ රසායනඥ ඩැනියෙල් නොකේරා විසින් අඩුවියදම් ජල විභේදන උත්පේ‍්‍රරක වැඩිදියුණු කරනු ලැබීමත් සමගය. මෙම උත්පේ‍්‍රරක සාමාන්‍ය ජලයෙන්  හයිඩ‍්‍රජන් නිපදවා ගැනීම සඳහා විදුලි බලය යොදා ගනු ලබයි. එහෙත් හයිඩ‍්‍රජන් විකල්ප ඉන්ධනයක් ලෙස ජනප‍්‍රියතාව දිනාගැනීමට පොහොසත් වී නැත. ඉතින් නොකේරා හාවඞ් සරසවියේ සේවයට පැමිණ කල (හාවඞ් වෛද්‍ය විද්‍යාලයේ) ජෛවී රසායනඥ  පැමලා සිල්වර් සහ එකල ඇගේ සිසුවෙකු වු ජෝසප් ටොරෙලා හා අනෙක් අය එක්ව වඩාත් ඵලදායි ඉන්ධන නිපදවීමේ දෙමුහුන් ක‍්‍රමයක් ගැන පර්යේෂණ පටන් ගත්හ. යන්ත‍්‍රය සහ අණු එකට එක්කෙරෙන මේ බයෝනික පත‍්‍රය (bionic leaf ) මගින් තාක්‍ෂණයේ සහ ජීව විද්‍යාවේ යන දෙකෙහිම වාසි එක්තැන් කිරීමට හැකිවන බවයි මෙම පර්යේෂකයන්ගේ අදහස.

මෙම පර්යේෂණය පිටුපස ඇති තර්කය මෙයයි. ආලෝකයට නිරාවරණය වු විට වෝල්ටීයතාවක් නිපදවන තාක්‍ෂණය හෙවත් ප‍්‍රකාශ වෝල්ටීය (photovoltaic) තාක්‍ෂණය මගින් හිරු එළිය විදුලි ධාරාවක් බවට හැරවිය හැකි බව නුතනයේ බොහෝ දෙනෙකුට රහසක් නොවේ. බැක්ටීරියා හා ශාක ද ජෛව විද්‍යාත්මකව ප‍්‍රභා සංස්ලේෂණය මගින් හිරු එළිය ශක්තිය බවට හරවයි. එහෙත්, ප‍්‍රභා සංශ්ලේෂණය (Photosynthesis) මගින් සිදුවෙනවාට වඩා බෙහෙවින් වැඩි වශයෙන් ප‍්‍රකාශ වෝල්ටීය තාක්‍ෂණයෙන් හිරු එළිය විදුලි ධාරා බවට පත්කළ හැකිය. අනෙක් අතට, ප‍්‍රභා සංශ්ලේෂණය වේවා වෙනත් ක‍්‍රමයක් වේවා පිවිසෙන ශක්තිය (හිරු එළිය) ආහාර, ඉන්ධන හෝ ඖෂධ පවා ඵලදායී අණු බවට හැරවීමේ හුරුබුහුටි කමක් ක්ෂුද්‍ර ජීවීන්ට ඇත. ටොරෙල්ලා නිපදවු නව උත්පේ‍්‍රරක මගින් සාමාන්‍ය ජලය – ඔව්, අපිරිසිදු ජලය පවා – ජල විභේදනයෙන් හයිඩ‍්‍රජන නිපදවීමට සමත්වෙයි. (හයිඩ‍්‍රජන සංයුතිය ගැන තතු හී චොන් ජන්බන් ලිපිය බලන්න) පර්යේෂකයන් පිරිස සිදුකළේ ප‍්‍රකාශ වෝල්ටීය තාක්‍ෂණයෙන් ලබාගත් ජල-විභේදිිත වේපරය (ස්ඵටික පෙත්ත) සහ පාංශු බැක්ටීරියාවක් (Relstonia eutropha) සිලින්ඩාකාර භාජනයක් තුළ එකට එක්කිරීමයි. (මෙම පාංශු බැක්ටීරියාවට කාබන් වලින් අණු ගොඩනැගීමේ ක‍්‍රියාවලිය බලගැන්වීම පිණිස විභේදිත හයිඩ‍්‍රජන් යොදා ගැනීමේ හැකියාව ඇත). මෙම දෙමුහුන් තාක්‍ෂණය යොදා ගැනීමෙන් පර්යේෂක කණ්ඩායම අයිසොප්‍රොපනොල් (isoproponol=c3H80) නම් මධ්‍යසාර අණු නිපදවා ගත්හ. මෙය එතනොල් හෝ ගැසෝලීන මෙන් ඉන්ධනයක් ලෙස භාවිත කළ හැකි අතර ලූණු සමගින් ජලයෙන් පහසුවෙන් වෙන්කර ගත හැක්කකි. මෙම බයෝනිකෙ පත‍්‍රයෙන් සෑම ජල ලීටරයකින්ම අයිසොප්‍රොපනොල් මිලිග‍්‍රෑම් 216ක් පෙරා ගත හැකිය. ෆොසිල ඉන්ධන දහනයෙන් බිහිවන අපද්‍රව්‍යයක් වන කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිවර්තක (ආපසු හරවන) දහනයෙන් යළි ඉන්ධන බවට හැරවීම මේ පර්යේෂණයේ අරමුණයි.

‘ඉන්ධන, ප්ලාස්ටික්, පොහොර සහ තවත් අසීමිත රසායන නිපදවීමේදී ඛනිජතෙල් හා වායු කල්පවතින මුලයක් සේ සැලකිය නොහැකිය’ යි ජෝසප් ටොරෙලා පෙන්වාදෙයිග එසේ නම් ඊළඟට ඇති හොඳම විකල්පය ජීව විද්‍යාවයි. මිනිසුන් ඛනිජ තෙල්වලින් පරිභෝජනය කරන කාබන් මෙන් වසරකට සිය ගුණයක් කාබන් ජීව විද්‍යාත්මකව ප‍්‍රභා සංශ්ලේෂණය මගින් ගෝලීය වශයෙන් නිපදවේ.

 

Scientific American හි Bionic Leaf” Makes Fuel from Sunlight  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: