විදු නැන නුවණ – Science Literacy for All

ග්ලැසියර හෙවත් හිම ගඟ

වැඩෙන ග්ලැසියරයක්

සමකය ආසන්නයේ ජීවත්වන අපට ග්ලැසියර දැනෙන්නේ අපට බොහෝ දුරින් පිහිටි පරිබාහිර දෙයක් හැටියටයි. ඒ නිසා අපට ග්ලැසියර ගැන  තිබෙන උනන්දුව අඩුයි. එනිසා දැනුමත් අඩුයි. එහෙම කිව්වාට අද ලෝකයේ බොහෝ තැනකම ග්ලැසියර දැකිය හැකියි. ඇන්ටාක්ටිකාවේ මෙන්ම ග්‍රීන්ලන්තයේ වැඩි කොටසක් වැසී ඇත්තේ ග්ලැසියර අයිස් ඝන තට්ටුවලින්. උතුරු ඇමරිකාවේ රොකී කඳුවැටියෙහි යුරෝපයේ ඇල්ෆ් කඳුවැටියෙහි මෙන්ම දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුවැටියෙහි ඇත්තේ සාපේක්ෂව කුඩා ග්ලැසිරයයි. වෙනතක් තබා සමකය දිගේ ඇතැම් කඳුකර ස්ථාන පවා ග්ලැසියරවලින් වැසී පවතී. ග්ලැසියර කියන්නේ ඉතා වැදගත් භූ ලක්ෂණයක්. එපමණක් නොව, අප කොහේ ජීවත් වුවත් මුළු ලොවටම ග්ලැසියරවල බලපෑමෙන් නිදහස් වෙන්න බැහැ. ඒ නිසා අප කාටත් ග්ලැසියර ගැන දළ හෝ අදහසක් තිබීම වැදගත්. තතුවල පළවන ඇතැම් ලිපිවල ග්ලැසියර ගැන සඳහන් වෙනවා පමණක් නොව එම ලිපි මගින් ග්ලැසියර ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමටත් අපි බලාපොරොත්තු වෙමු.

වසර බොහෝ ගණනාවක් තිස්සේ පතිත වන හිම විශාල ඝන  අයිස් ස්කන්ධ ලෙස සම්පීඩනය වූ විට ග්ලැසියර සෑදේ. හිම, අයිස් බවට පරිවර්තනය විම සඳහා එක් තැනක දිගටම පවතින විට ග්ලැසියර බිහිවෙයි. සමහර ග්ලැසියර පාපන්දු ක්‍රීඩා පිටියක් තරමට කුඩායි. ඒ අතර තවත් ඒවා කිලෝ මීටර සිය ගණන් දුර ඈතට විහිදෙනවා. වර්තමානයේ ලෝකය ගොඩ බිම ප්‍රදේශයෙන් 10%ක් පමණ යට වී ඇත්තේ ග්ලැසියරවලිනි. ඉන් වැඩි කොටස ඇත්තේ ඇන්ටාක්ටිකාව, ග්‍රීන්ලන්තය සහ කැනේඩියානු ආක්ටික් ප්‍රදේශය වැනි ධ්‍රැව ප්‍රදේශවලය. අවසන් අයිස් සමයේදී ගොඩබිමෙන් 32%ක් සහ සාගරයෙන් 30% අයිස්වලින් වැසී පැවතුණි. වත්මන් ග්ලැසියර ඉන් ඉතිරි වූ කොටස් ලෙස සැලකේ.

පසුගිය වසර 750,000 තුළ අයිස් යුග චක්‍ර අටක් පැවති බව විද්‍යාඥයෝ දනිති. එම යුග අතර තුර උණුසුම් කාලඡේද හඳුන්වන්නේ අන්තර් ග්ලැසියර සමයන් ලෙසය. වර්තමානයේ පෘථිවිය ළඟාවෙමින් සිටින්නේ අන්තර් ග්ලැසියර සමයක අවසානය වෙතය. ඒ කියන්නේ තවත් වසර දහස් කීපයක් ඇතුළත අයිස් සමයක් උදාවන බවයි. මෙය සාමාන්‍ය දේශගුණ විපර්යාසය චක්‍රයේ එක් කොටසකි. ග්ලැසියර් වෙනස් වීම බොහෝ කාලයක් මුළුල්ලේ සෙමින් සිදුවන්නක් වුවත් ලෝකයේ දේශගුණික වෙනස්කම් ගැන ඒවායින් යම් වැදගත් ඉඟි ලබා ගත හැකියි.

එකම තැනක දිගටම පවතින විට හිම සම්පීඩනය වීමෙන් ග්ලැසියර සෑදෙන බව කලින් ද සඳහන්ය. එසේ හිම පතිතවන සංචිත ප්‍රදේශය(accumulation area) ග්ලැසියරයේ ඉහළම ස්ථානයයි. හිම සෙමෙන් සෙමෙන් එකතු වී අයිස් බවට හැරෙද්දී ග්ලැසියරයේ බර වැඩිවෙන්නට පටන් ගනියි. එවිට ග්ලැසියරය පහළට ගලා යන්නට පටන් ගනියි. ග්ලැසියරයේ තවත් පහතට වෙන්නට, සාමාන්‍යයෙන් පහළ උන්නතාංශයකදී අපහායන (ගෙවී යාමේ) ප්‍රදේශය පවතී. ග්ලැසියරයන් දියවී යාම හා වාෂ්පවීම වැඩිපුරම සිදුවන්නේ එහිදීය.

වර්ග වශයෙන් ගතහොත් ග්ලැසියර වර්ග ගණනාවකි. උස්, කඳුකර ප්‍රදේශවල වර්ධනය වන ග්ලැසියර හඳුන්වන්නේ කඳුකර ග්ලැසියර වශයෙනි. ඇලස්කාව, ඇන්සීස් හා හිමාලය කඳුවැටිවල මේ වර්ගයේ විශාලතම ග්ලැසියර් දැකිය හැකිය. ප්‍රපාතාකාර නිම්න ග්ලැසියර සාපේක්ෂව පැතැලි තැනිතලා වෙත උතුරා ගිය විට පීඩ්මොන්ට් (Piedmont) ග්ලැසියර හට ගනී. ඇලස්කාවේ මැලස්පිනා (Malaspina) ග්ලැසියරය ප්‍රකට උදාහරණයකි. කොරී ග්ලැසියර, පාෂාණ රූරාව, සර්කය (Cirque) ග්ලැසියර ආදි වශයෙන් ග්ලැසියර වර්ග ගණනාවකි.

ඝන අයිස් තට්ටුවක බර නිසා හෝ අයිස් ස්කන්ධය මත ගුරුත්ව බලය හේතුකොට ගෙන ග්ලැසියර් සෙමින් ගලා යාමට ලක්වේ. එසේ ගලායද්දී ග්ලැසියර විවිධ ද්‍රව්‍ය ප්‍රවාහණය කරනවා පමණක් නොව ඒවා යට ඇති භුමිය ද කැටයම් කරයි. හැඩ ගන්වයි. ග්ලැසියරයේ අධික බර සහ සෙමින් සිදුවන චලනය හේතුවෙන් භූ දර්ශනය බොහෝ සේ වෙනස්කම්වලට භාජනය කරයි. මේ සඳහා  වසර සිය ගණනක් හෝ දහස් ගණනක් ගතවේ. අයිස්, භූමිය මතුපිට ඛාදනය කරන අතර බිදීගිය පාෂාණ හා පාංශු සුන්බුන් ඒවායේ මුල් ස්ථානවලින් ඈතට ගෙන යාමෙන් භූමියේ ස්වරූපය වෙනස් කරයි.

කඳුකර ප්‍රදේශවල දී සංචාරකන්ගේ සිත් ඇදී යන අංගයක් බවට අද ග්ලැසියර පත්ව ඇත. එහෙත් ග්ලැසියර ස්වාභාවික සම්පතකි. අද ලෝකයේ මිරිදියෙන් සියයට 75ක් ගබඩාවී ඇත්තේ ග්ලැසියරවලය. ලොව පුරා ජනතාව ග්ලැසියර දියවීමෙන් ලැබෙන ජලය ප්‍රයෝජනයට ගනු ලැබේ. ඒ පානය කිරීම පිණිස මෙන්ම ගොවිතැන් කටයුතු සඳහා ද වේ. නොර්වේ, මධ්‍යම යුරෝපය, කැනඩාව, නවසීලන්තය හා දකුණු ඇමරිකාවේ විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් එක්ව විදුලිබල උත්පාදනයටද ග්ලැසියර දියවීමෙන් ලැබෙන ජලය උපයෝගී කරගෙන තිබේ.

ග්ලැසියර, ගෝලීය දේශගුණ විපර්යාස දැනගැනීමේ මාධ්‍යයක් ලෙසද විද්‍යාඥයෝ සලකති. ග්ලැසියර හා අයිස් තලාවන් විද ලබා ගන්නා අයිස් හරය (ice core) දිගුකාලීන දේශගුණ වාර්තාවක් සපයයි. අයිස් සමයක් අතර තුර ස්වාභාවිකව වායුගෝලය කෙතරම් උණුසුම්වේද? මානව ක්‍රියාකාරකම් දේශගුණය කෙරෙහි බලපාන්නේ කෙසේද? යනාදී වශයෙන් දේශගුණය විශේෂයෙන් ගෝලීය උණුසුම්වීම ගැන වැදගත් තොරතුරු හෙළිකිරීමට ග්ලැසියර උපකාරි වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එමෙන්ම, මුහුදු ජල මට්ටම සෑම වසරකම මිලිමීටර 2 බැගින් ඉහළ යාම කෙරෙහි වැඩියෙන් බලපාන්නේ ග්ලැසියර දියවීම බව ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති.

BRITANNICA STUDENT ENCYCLOPEDIA, National Snow and Ice Data Centre: ALL ABOUT GLACIERS ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: