අපේ සිරුර තුළින්ම එල්ලවන මිතුරු ප්‍රහාර

Posted by

අපට කිසියම් අසනීප ගතියක් දැනෙන විට අපට මුලින්ම සැක හිතෙන්නේ බැක්ටිරියාවක් හෝ වෛරසයක් වැනි රෝග කාරකයක් (pathogen) නිසා අප රෝගාතුර වෙන බවයි. එහෙත් ඊටම ප්‍රහාර එල්ල කර ගන්නට අපේ සිරුරට හැකියාවක් ඇතැයි ද අපේ අසනීපයට වග කිව යුත්තේ අපේම සිරුරම යයි කීවොත් ඇතැම් විට විශ්වාස කිරීමට අපහසු විය හැකියි. ලොව පුරා මිලියන ගණනක් දෙනා ස්වයං ප්‍රතිශක්ති ප්‍රතිචාර (autoimmune) රෝගවලින් පෙළෙන බව නවතම වාර්තාවලින් දැක්වේ.

ආසාදන හා රෝගවලට එරෙහිව ක්‍රියාත්මක වන ආරක්ෂා පද්ධතියක් අප සිරුරෙහි ඇති බව අද බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් මේ ආරක්ෂක පද්ධතියම සහජ සෛල හා පටකවලට එරෙහිව ප්‍රතිචාර නංවන විට, ඒ කියන්නේ ‘තමන්ටම තමන් පහර එල්ල කරන විට’ ස්වයං ප්‍රතිශක්ති ප්‍රතිචාර රෝග හට ගනී. ඒක් පොදු හේතුවක් පාදක කරගනිමන් එක් ගොඩකට එක් කරනු ලැබ ඇති මෙවැනි රෝග 80කට වැඩියෙන් දැනට හඳුනාගෙන තිබේ. එම රෝගවලට පාදකවන පොදු හේතුව අධික්‍රියාකාරී ප්‍රතිශක්ති පද්ධතියයි. කෙසේ වෙතත්, මෙම රෝග බොහෝ විට මතුවන්නේ පැහැදිලිවම එකිනෙකට වෙනස් රෝග ලක්ෂණ සහිතවය. රූමැටොයිඩි පර්වදාහයේ (rheumatoid arthritis) සන්ධි දරදඩුවීෙම් සිට 1 වර්ගයේ මේහයේ (දියවැඩියාව Type 1 diabetes) මන්ද මධු රක්තිය දක්වා පරාසයක  ස්වයං ප්‍රතිශක්ති ප්‍රතිචාර රෝගයට ඵලදායි ප්‍රතිකාර විධි බහුල නැත. ඉන් පෙළෙන්නන්ට සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ ප්‍රතිශක්ති මර්දක කාරක ඖෂධ පන්තියකි. පුළුල් වශයෙන් ගත් කළ මෙම ඖෂධ බලපාන්නේ සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියේ සමස්ත ක්‍රියාකාරිත්වය හීන කිරීමටය. මේවායින් ස්වයං ප්‍රතිශක්ති ප්‍රතිචාර සම්බන්ධ රෝග ලක්ෂණවලින් සහන සැලසුනත් එමගින් සිදුවන්නේ ශරීරය රෝග ආසාදනයන්ට වඩාත් පහසුවෙන් අවනත වීම සහ ඇතැම් විට පිළිකාව වර්ධනය වීමේ ඉඩකඩද ඇති වීමයි.

කෙසේ වෙතත් නව චිකිත්සා ක්‍රම සම්බන්ධයෙන් පර්යේෂකයෝ යම් ප්‍රගතියක් අත්පත් කර ගෙන සිටිති. ප්‍රතිශක්ති පද්ධතියේ කාර්ය සාර්ථක ලෙස ඉටු කිරීමට නොහැකි අංග පමණක් ඉලක්ක කර ගනිමින් ඒවා ක්‍රියා විරහිත කිරීම මෙවැනි චිකිත්සා ක්‍රමවල අරමුණ වී තිබේ. ස්වයං ප්‍රතිශක්ති ප්‍රතිචාර රෝගයන්ට ප්‍රතිකාර කරන අතරම හුරුපුරුදු රටාවේ ආසාදනවලට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට ඇති ශක්තිය රැකගැනීමද මෙවැනි ප්‍රවේශයකට හැකිවේ.

පවුල් ඉතිහාසය සහ පාරිසරික අනාවරණය වීම් ඇතුළුව සාධක ගණනාවක්ම ස්වයං ප්‍රතිශක්ති ප්‍රතිචාර රෝග වර්ධනයවීම කෙරෙහි බලපාන බව විශ්වාස කෙරේ. ආසාදනයක් පාරිසරික අනාවරණයවීම් සඳහා එක් මාර්ගයක් විය හැකිය. ආසාදන ඇති කරවන ඇතැම් රෝග කාරකවල මිනිසුන්ගේ සෛලවල ඇති සලකුණුවලට බොහෝ සේ සමාන සලකුණු අැතිවේ. මෙවැනි රෝග කාරකයන් ශරීරය ආක්‍රමණය කළ විට ඒවායේ සලකුණු අනතුරුදායක ඒවා ලෙස හඳුනාගැනීමට මිනිස් ප්‍රතිශක්ති පද්ධතිය උගෙන ගනී. රෝග කාරකය සාර්ථකව විනාශ කර දැමීමට මේ ක්‍රියාවලිය සමත් වන නමුත් ඉන් අනතුරුව සිදුවන්නේ ඉවක් බවක් නොමැතිව සොය සොයා ප්‍රහාර එල්ලකිරීමකට මුලපිරීමයි. ප්‍රතිශක්ති පද්ධතිය දැන් පසුවන්නේ එකී රෝග කාරකයේ සලකුණුවලට සමාන කමක් දක්වන ඕනෑම සෛලයක් පිළිබඳව දැඩි අවිශ්වාසයෙනි. ඒ අනුව සියලුම මානව සෛල ප්‍රතිශක්ති පද්ධතියේ පරීක්ෂාවට ලක්වන අතර රෝග කාරකයෙන් හමුවූ සලකුණුවලට සමාන සලකුණු ප්‍රදර්ශනය කරන සියලුම සෛලවලට මරණ දණ්ඩනය පැන වේ. මෙලෙස හිතකර සෛල විශාල පරිමානයෙන් විනාශ කර දැමීමේ හේතුවෙන් ස්වයං ප්‍රතිශක්ති ප්‍රතිචාර රෝගවලට මග පෑදේ.

මිනිස් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය පවුරු වළල්ලකින් වටවූ මාළිගාවකට සමාන කළ හැකිය. කිසියම් ආක්‍රමණිකයෙකු ‍(රෝග කාරකයක්) පැමිණ විට මුරකාවලේ යෙදී සිටින හේවායින් වහා පැමිණ සටනට පිවිසෙන අතර අතිරේක භට පිරිස් එවන ලෙසද සංඥා කරයි. අපේ සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියේ ‘හේවායන්’ තමයි මහාභාක්ෂක(macrophages) සහ ශාඛීය(dendritic) සෛල. ශරීරය පුරා සංසරණය වන මෙම සෛල, සිරුරෙහි දිරා ශේෂ වූ දැ පෙරයි. මේවා, වයස්ගත හෝ මළ සෛලවලින්ද එමෙන්ම ආසන්නයේ ඇති සජීවී සෛල මගින් අත්හල ප්‍රෝටීන වලින් ද සමන්විත විය හැකියි. මෙසේ සුන්බුන් පෙරන විට මහාභාක්ෂක සහ ශාඛීය සෛල පොදු රෝග කාරක සලකුණු ඇත්දැයි විමසා බලයි. එසේ සොයා ගැනීමට හැකි වුවහොත් මෙම සෛල B සෛල හා Tසෛලවල ආධාරය පතයි. ආක්‍රමණිකයන් විනාශ කිරීම සඳහා B සෛල හා T සෛලවලට විශේෂඥ භාවයක් ඇත. මෙලෙස “අතිරේක බලඇණි” ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය ඉලක්කකර ගත් චිකිත්සාවක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස්හි නෝත්වෙස්ටර්න් සරසවියේ ෆෙයින්බර්ක් වෛද්‍ය පාසලේ ආචාර්ය ස්ටිවන් මිලර් විසින් වැඩිදියුණු කරමින් සිටියි. මේ චිකිත්සාවේදී සිදුකරනුයේ මහා භාක්ෂක හා ශාඛීය සෛල ශරීරයෙන් ඉවතට ගෙන ඒවායේ සලකුණු සහජ සෛල ලෙස නැවත හඳුනාගන්නා ආකාරයට මෑනීම හෙවත් හසුරුවීමයි. එහෙත්  සෛල ඉවතට ගෙන යළි රෝගියාට සැපයීමට සිදුවීම මේ චිකිත්සාවේ එක්තරා අවාසියකි. එය මගහරවා ගැනීම පිණිස මෙම සරසවියෙහිම මැක්කෝමික ඉංජිනේරු පාසලේ ආචාර්ය ලොනී ෂියා, ආචාර්ය මිලර් හා එක්ව නැනෝ තාක්ෂණය යොදා ගැනීමේ පර්යේෂනවල යෙදී සිටියි.

 

Helix Magazine  හි Friendly Fire: When Your Immune System Attacks ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.