ගැලැක්සි බිලියන ගණනාවකින් හෙබි විශ්වය ක්ෂිර පථයෙන් ඔබ්බට දුර ඈත ගැලැක්සි අනුරූපණය කිරීම පිණිස හබල් දුරේක්ෂයට සුවිශේෂී හැකියාවක් ඇත. ආලෝක වර්ෂ බිලියන 13 කටත් ඔබ්බෙන් පිහිටි ගැලැක්සි හබල් මගින් සොයා ගෙන තිබේ. වසර බිලියන 13.7කට පෙර සිදු වූ මහා පිපුරුමට සමානුයෝග ගැලැක්සි පරිණාමණ එමගින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.
ක්ෂීර පථයෙන් ඔබ්බට බැලීමේදී අපේ දසුන අසල්වැසි ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සියෙහි සිට විශ්වයේ ආදිතම දසුන සපයන කොස්මික් (අන්තරීක්ෂ) සූක්ෂම තරංග පසුබිම දක්වා දිවෙයි. ඇන්ඩ්‍රොමීඩාව ගැන සලකද්දී එහි අතීතයේ සිදු වූ ඝට්ටනයක් ගැන ඉඟි කරන කවයක් සහිත ව්‍යුහයක් ගැලැක්සි පරිණාම ගවේෂණ අභ්‍යාවකාශ නිරික්ෂණාගාරයෙන් ලබාගත් පාර ජම්බුල ප්‍රතිරූප මගින් හෙළි දරව් වී ඇත. සූක්ෂම තරංග ආකාශය ගැන විල්කින්සන් ක්ෂුද්‍රතරංග අසම සාර්වදිශ විපරම හෙවත් Wilkinson Microwave Anisotropy Probe (WMAP) මගින් ලබාගන්නා දසුන් දක්වන්නේ වසර බිලියන 13.7ක් ආපස්සට තත්ත්වයයි. එහිදී මහා පිපුරුමෙන් වසර 400,000ට පසු තත්ත්වයයි අප දකින්නේ. සෑම තැනම පූර්යාගේ අභ්‍යන්තරය තරම්ම දීප්තිමත් වූ අතර විශ්වය එවිට වඩාත් උණුසුම්ය. ඝනය. එම ඝනත්වයේ ඉතා සියුම් උච්චාවචනයන් අනතුරුව පරිණාමය වී අද ගැලැක්සි බවට පත්වී ඇත.
අප මේ ලිපි පෙළ තුළින් විශ්වය ගවේෂණය පිණිස නාසා ආයතනයේ අභ්‍යාවකාශ විපරම් හා නිරීක්ෂණගාර උපයෝගී කරගනිද්දී එම උපකරණ හුදෙක් යන්ත්‍රවලට පමණක් සීමා නොවන බව සිත් තබා ගැනීම වැදගත්ය. ඒ සෑම එකකටම කාර්මික ශිල්පීන්, ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් සිය ගණනක්, දහස් ගණනක් සම්බන්ධ වෙයි. ඔවුන් අඩුතරමින් සිය ජීවිතවලින් දශකයක කාලයක් වත් මේ උපකරණ හා යන්ත්‍ර සැලසුම් කිරීමට, ඉදිකිරීමට, මෙන්ම ක්‍රියාත්මක කිරිමට ඇප කැප වූ අයවළුන්ය. පසුගිය වසර 40 තුළ මිනිසුන් සහිත අභ්‍යාවකාශ නිරීක්ෂණ පෘථිවිය වටා කක්ෂයකට සීමා වූ අතර කියුරියෝසිටි සහ හබල් වැනි රොබෝට උපකරණ, පෘථිවියේ ජීවත්වන අපගේ ඇස්වලින් වසන් වූ මහා විශ්වයක දසුන් අප වෙත ගෙන හැර පාන්නට වෙහෙසෙමින් පවතී.
A Visual Guide to the Universe ග‍්‍රන්ථය ඇසුරෙන් සැකැසෙන ලිපි පෙලක තවත් කොටසක්.