අභ්‍යාවකාශයේ සිට සූර්යයා නිරීක්ෂණය කිරීම I

Posted by

පෘථිවියේ සිට අහස නිරීක්ෂණය කරන අප සූර්යයා දකින්නේ එකම ආකාරයටය. වැහි වලාකුළු වැනි බාධක නොතිබුණහොත් දිවා කාලයේ පෘථිවියේ සිට පියවි ඇසින් සූර්යයා දකින අපට අමුත්තක් නොදැනේ.  එහෙත් අභ්‍යවකාශයේ සිට දකිද්දී නිරන්තරයෙන්ම සූර්යයාගේ චුම්බක ස්ඵෝටන(පිපිරීම්) සිදුවන බව පෙනී යයි. ඒ පිපිරීම්වලින් මුදා හැරෙන්නේ පෘථිවි වාසී අපට සිතා ගැනීමටවත් නොහැකි තරමේ බල ශක්තියකි. එහෙත්, රාත්‍රි කාලයේ උෂාලෝක සංදර්ශන හැරුණු කොට ෙමකී පිපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ මිහිපිට ෙවන කිසිවක් සිදු නොවේ. අනෙක් ග්‍රහයන් නම් ඒ අතින් පෘථිවිය තරම් වාසනාවන්ත නැත.

කක්ෂ ගත කළ මුල් කාලයේ දීම සූර්ය ගතික නිරීක්ෂණාගාරය(Solar Dynamics Observatory) සූර්යයා මත චුම්බක සංසිද්ධිවල සරු විවිධත්වය හා සංකීර්ණතාව කෙරෙහි අපේ ඇසු යොමු  කරවීය. එමගින් සැපයුණු සූර්ය පුඩු (සූර්ය පෘෂ්ඨයේ  සක්‍රීය පෙදෙසින් ඉහළට නගින්නා වූ සුන්දර පුඩු ආකාරයේ නෙරුම්), සූර්ය ළෙලසිළු (සූර්යයාගේ වර්ණ ගෝලයේ සිරස් අතට ඇතිවන වායු නෙරුම්) සහ රැස්වළල්ලේ විසර්ජන පිළිබඳ අනුරූප, චිත්‍රපට ආදිය අපට සෞර ක්‍රියාකාරීත්වයේ භෞතික විද්‍යාව ගැන අලුත් දැක්මක් ගෙන ආ අතර චුම්බක චලනයෙහි  යෙදෙන අයනකෘත වායුවෙහි බලය හා සුන්දරත්වය ද ගෙන හැර පෑවේය.

සූර්යයා:

Solar_Orbiter_exploring_the_Sun_s_realm

ආකාශයෙහි ඇති සියලු වස්තූන්ගෙන්, පෘථිවිය මත ප්‍රමුඛතම බලපෑම පැහැදිලිවම ඇත්තේ සූර්යයාගෙනි. පෘථිවියේ කක්ෂගත චලනය පාලනය වන්නේ සූර්යයාගේ ගුරුත්වයෙනි. දිවා කල අහසේ රජයන සූර්යයා පෘථිවි ග්‍රහයා උණුසුම්ව තබයි. හිරු නොමැති නම් ජීවය අප දක්නා ආකාරයෙන් මේ මිහිපිට පැවතිය නොහැක. සවසට බැස ගොස් සෑම දිනකම නොවැරදීම උදේට හිරු පායා ඒමේ නියත සිදුවීම අපට ඒ වගේම අපගේ ජීවිතවලට ගෙන එන්නේ මහත් අස්වැසිල්ලකි.

කෙසේ වෙතත්, විස්තරාත්මකව විමසා බලන විට, හිරුගේ පෘෂ්ඨය නම් නියතයක් යයි කීමට නොහැකිය. සූර්යයාගේ පෘෂ්ඨයෙහි, කලින් කල වෙනස් වන අඳුරු ලප දක්වන දෘශ්‍යමය රටා දැකිය හැකිය. එවැනි හිරු ලප ඇති වන්නේ සූර්යයාගේ බලගතු ගුරුත්වය එහි පෘෂ්ඨ‍ය හරහා එබිකම් කර බලන ප්‍රදේශවලය. අභ්‍යවකාශයෙහි සිට පාර ජම්බුලාන්තයෙන් බලන විට දැකිය හැකි පරිදි, හිරු ලප හා සම්බන්ධ චුම්බක පුඩු හා චාපයන් ඒවා සමග ගමන් කරන උණුසුම් වායු මගින් ආලෝකමත් වෙන පෙනේ. සූර්ය ගතික නිරීක්ෂණාගාරය 2010 වසරේ දී අභ්‍යාවකාශ ගත කිරීමෙන් අනතුරුව දෘෂ්‍ය (ප්‍රකාශ) තරංග ආයාමයේ සිට පාර ජම්බුලාන්තය දක්වා තරංග ආයාමයන් ගෙන් පූර්ණ සෞර තැටියේ සවිස්තරාත්මක අධි විභේදන අනුරූප ගනිමින් සිටියි.

සූර්ය ලප සහිත ප්‍රදේශයන් හි නිරීක්ෂණය වන සූර්ය ලෙළසිළු සූර්යයාගේ සංකීර්ණ චුම්බක  ක්ෂේත‍්‍රය මගින් නිපදවෙන අන්දම වඩා හොඳින් තේරුම් ගැනීම සූර්ය ගතික නිරීක්ෂණාගාරය යැවීමේ ප්‍රධාන අරමුණකි. මෙගාටොන් 100ක න්‍යෂ්ටික බෝම්බයක මෙන් මිලියන 10 ගුණයකටත් වැඩි ශක්තියකින් එවැනි ලෙළසිළු පුපුරා ගොස් අධි ශක්ති අංශු වේගයෙන් අභ්‍යවකාශයට බැහැර කරයි.

මීළග ලිපියෙන් කියැවෙන්නේ සූර්ය ලප ගැනයි.
A Visual Guide to the Universe ග‍්‍රන්ථය ඇසුරෙන් සැකැසෙන, තතු සෑම බදාදාවකම පළකරන ලිපි පෙලක තවත් කොටසක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.