විදු නැන නුවණ – Science Literacy for All

ජීව විද්‍යාත්මක අනුවර්තනය යනු කුමක්ද?

ජීව විද්‍යාත්මකව සළකන විට අනුවර්තනය(Adaptation) කියන්නේ ජීවියෙකු තම පරිසරයට වඩා හොඳින් ගැළපීමයි. එම ගැළපීමේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයට ද අනුවර්තනය යන්න යෙදෙයි. බොහෝ ජීවීන් තුළ ව්‍යුහාත්මක, කාර්යබද්ධ (ප්‍රායෝගික) හා වර්ණ අනුවර්තන ඇතිවන අතර සතුන්ගේ සහජාසීය (ඉගෙන ගෙන නොව ඉබේ ඇතිවන) චර්යාව තුළ ද අනුවර්තනය ඇති වෙයි.

ව්‍යුහාත්මක අනුවර්තන(Structural Adaptations)

කාන්තාරබද බොහෝ ශාකවලට පොදු, විස්තීරණ හෙවත් පැතිරුණු මුල් පද්ධතිය සහ කුඩා පත්‍ර ව්‍යුහාත්මක අනුවර්තනයට කදිම නිදසුන් ලෙස දැක්විය හැකිය. එම ශාක පවතින වියළි පරිසරයෙන් හැකිතාක් වැඩි තෙතමනයක් එකතු කර ගැනීමට එවැනි මුල් පද්ධතිවලට හැකිවේ. කුඩා පත්‍රවල ඇත්තේ සුළු මතුපිට වපසරියක් නිසා ඒවා මගින් ජලය වාෂ්පීකරණය වීම හරහා සිදුවන ජල හානිය අඩුවේ. වැලිමීයන්ගේ බලගතු ඉදිරි ගාත්‍රා සහ පිටතට නැමුණු අත්ල, ගුල් හැරීම පිණිස ඇතිවී තිබෙන ව්‍යුහමය අනුවර්තනයන්ය.

කාර්යබද්ධ අනුවර්තනය(Functional Adaptations)

කෙටි වර්ධන වාරයක් (ඍතුවක්) තුළ සිය වර්ධන චක්‍රය සම්පූර්ණ කිරීමට ශාකයකට ඇති හැකියාව, උතුරු අක්ෂාංශකවල දී ඊට නොනැසී පැවතීමට මඟ පාදයි. මෙය කාර්ය බද්ධ අනුවර්නයට නිදසුන්ය. රෙදි කාවන් අතරේද කාර්ය බද්ධ අනුවර්නයක් දැකිය හැකිය. වූල් රෙදි දිරවීමට අවශ්‍ය විශේෂ එන්සයිමයක් ඔවුනට ඇත.

වර්ණ අනුවර්තනය (Color Adaptations)

පොදුවේ ගත් කල්හි, වර්ණ අනුවර්තනය තුන් ආකාරයක් ගනී.  එනම්, (1) ආරක්ෂක වර්ණනය (protective coloration), (2) අනතුරු හැඟවීමේ වර්ණනය(warning coloration) සහ (3) අනුකරණ වර්ණනයයි (mimicry).

සත්වයෙකුට තමා සිටින තැන පසුබිම හා මනාව සංයෝගවීමට ආ‍රක්ෂක වර්ණනය මග පාදයි, එවිට එම සත්ත්වයා දැක ගැනීමට ඇති ඉඩකඩ සීමාවේ හෝ  ඇහිරේ.  එම නිසා වෙනත් සතුරු සත්වයෙකු විසින් එම සත්වයාව කා දැමීමට ඇති ඉඩකඩද අඩුවේ. අනෙක් අතට ආරක්ෂක වර්ණනය නිසා සතෙකුට  තම ගොදුර වෙත නොපෙනෙන සේ ළඟාවීමද පහසු වේ.

අනතුරු හැඟවීමේ වර්ණනය සිදුවන්නේ ඇතැම් විෂ සහිත හෝ අප්‍රසන්න රසයකින් යුක්ත සතුන් අතරය. නිදසුනක් ලෙස දක්වතොත්, කුරුල්ලන් විසින් රාජකීය සමනළයන් (monarch butterfly)  කා දමනු නොලබන්නේ උන්ගේ අප්‍රසන්න රසය නිසාවෙනි. එම සමනළයන් ගේ කැපී පෙනෙන වර්ණ සංයෝජනය හේතු කොට ගෙන පක්ෂීන්ට ඔවුන් හඳුනාගැනීමට හැකිවේ.

අනුකරණ වර්ණනයේදී සිදුවන්නේ (අනුකාරක ලෙස දැක්වෙන) සාපේක්ෂව ආරක්ෂාවක් නොමැති සතෙකු, (ආදර්ශක ලෙස දැක්වෙන) සතෙකුට ඇති මතුපිට සමානතාවය නිසා විලෝපීයන් අනුකාරක සතා ද පිළිකෙව් කිරීමයි. නිදසුනක් දක්වතොත්, ප්‍රතිරාජ සමනළයා (viceroy butterfly) පෙනුමෙන් රාජකීය සමනළයන්ට සමානකම් ඇති නිසා පක්ෂීහු එම සමනළ විශේෂයද අනුභවයට නොගනිති.

චර්යාමය අනුවර්තනය

ඍතුමය වශයෙන් කාලගුණයෙහි කැපී පෙනෙන වෙනස්කම් ඇති ප්‍රදේශවල චර්යාමය අනුවර්තනයට පහසුවෙන් නිදසුන් දැකිය හැකි ය. ශීත ඍතුව සඳහා ලේන්නු ඇට වර්ග ගබඩා කර තබා ගනිති. උතුරුකරයේ අධි ශීතල ශිශිරයෙන් ගැලවෙනු වස් බොහෝ පක්ෂීවර්ග දකුණු දිගට සංක්‍රමණය වෙති. ශීතල කාලගුණය පැමිණ ආහාර හිඟවෙත්ම, ඇතැම් සත්තු ශිශිර‍තරණයෙහි යෙදෙති. තෙතමනය සංරක්ෂණය කරගැනීම සඳහා  අනුවර්තනය  වීමට අසමත් වෙන ශාකයක් කාන්තාරයේදී මුළුමණින්ම වඳවී යයි. සිය පරිසරයෙන් වෙන්කොට හඳුනාගැනීමට තරම් පහසු ආකාරයෙන් කැපී පෙනෙන සතුන් සිය විලෝපියන්ට ගොදුරුවීමේ ඉඩකඩ වැඩිය. මෙම අපහරණ (ඉවත්කිරීමේ) ක්‍රියාවලිය ‘ස්වාභාවික  වරණය’ ලෙස හඳුන්වනු ලැබේ. වාසිදායක ප්‍රභේදන දරණ සතුන්ට පරිසරය තුළ නොනැසී ජීවත්වීමේ හැකියාව සලසන උචිතෝන්නතිය     (“survival of the fittest”) යන්න අදාළ වෙන්නේ ස්වාභාවික වරණයටයි. මෙය පරිණාමයේ අතිශය වැදගත් සාධකයකි. ස්වාභාවික වරණයට අදාළ අනුවර්තනය ගැන කදිම නිදසුනක් අපට ඩීඩීටී සහ ගෙමැස්සන් සම්බන්ධයෙන් සොයාගත හැක. 1940 ගණන්වල මුල දී මෙම කෘමිනාශකය ප්‍රථමයෙන් භාවිතයට එද්දී ඊට ගොදුරු වූ සියලුම ගෙමැස්සන් පාහේ මරා දමනු ලැබූහ. එහෙත් සමහරෙක්  නොනැසී ජීවත් වූ අතර දිගටම ප්‍රජනනයෙහි යෙදුනහ. වසර ගණනාවක් මුළුල්ලේ ඩීඩීටී ඉසිලු ලැබූ ප්‍රදේශවල අනුක්‍රමයෙන් ජීවත්වීමට වරම් ලැබුණේ, මෙකී ප්‍රතිරෝධී ගෙමැසි වර්ගයට පමණයි.

අනුවර්තනය ස්වේච්ඡාවෙන් සිදුවන්නාක් නොව ප්‍රවේණි ගති ලක්ෂණ      (inherited traits)  පාදකව ඇතිවන්නකි. ප්‍රවේණි ගති ලක්ෂණවල විවිධත්වය ප්‍රධාන කොටම (ප්‍රවේණික) විකෘතියෙහි(mutation) ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය. ජීවියෙකුගේ ප්‍රවේණි ගති ලක්ෂණවල වෙනසක ප්‍රතිඵලයක් ලෙස හට ගන්නා (එම ජීවියාගේ මතු පරම්පරාවට උරුම කෙරෙන) නව ගතිලක්ෂණ ඇතිකෙරෙයිද, එවැනි වෙනසක් විකෘතිය ලෙස හැඳින්වේ. කිසියම් නිශ්චිත පරිසරයක දී ඇතැම් ගතිලක්ෂණ වාසිදායක වන අතර ඒවාම වෙනත් පරිසරයක දී වාසිදායක නොවේ. ගස්නැගීමේ හැකියාව වනාන්තරයකදී නොනැසී ජීවත්වීමේ වාසිදායක අනුවර්තනයක් විය හැකි නමුත් තරණ බිමක දී  වේගයෙන් දිවීමේ හැකියාව ‍වඩාත් වාසිදායක වේ. සිය පරිසරයට වඩාත්ම ගැළපිය හැකි ජීවියෙකුට නොනැසී ජීවත්වීමට හා ප්‍රජනනය කිරීමට වඩාත් හැකියාව ඇති අතර (ප්‍රවේණික) වාසිදායක නොවන ගති ලක්ෂණ ක්‍රමයෙන් අත්හැරී යයි.

අනුවර්තී  විකිරණය සහ අභිසරණය

ආහාර සහ ජීවත්වීමට අවශ්‍ය ඉඩකඩ සඳහා වන තරඟයෙහි ප්‍රතිඵලයක් ලෙස ජීවමාන දේවල්, ඒවාට යා හැකි තාක් හා ගොස් නොනැසී ජීවත්වීමට හැකි තාක් ප්‍රදේශ ගණනාවකට පැතිරිමට පෙළඹෙති. එකිනෙකට වෙනස් පරිසරවලට හා ජීවන රටාවන්ට අනුවර්තිත විවිධ ස්වරූපවලට තනි කණ්ඩායමක් පරිණාමනය වීම හඳුන්වනු ලබන්නේ අනුවර්ති විකිරණය (adaptive radiation) ලෙසිනි. ඊට නිදසුන් (වරල් නාරටි සහිත මත්ස්‍යයන් වන) ටෙලියොස්ටයන්(teleosts), අතරේ දැකිය හැකි වේ. ආදී හෝ පූර්වජ ටෙලිසොස්ටයන්, විවෘත ජලයේ විසූ ක්‍රියාශීලී දිගටි මත්ස්‍ය කොටසක්ය. මෙම පොදු වර්ගයේ සතුන් මේ වන විට සෑම මාදිලියකම වාගේ ජල පරිසරවල ජීවත්විය හැකි විශේෂ 20,000කටවැඩියෙන් පරිණාමනය වී ඇත. පැතැලි මාළුවර්ගයක්වන Flounder සාගර පත්ලේ වාසය කරන අතර මුහුදු අශ්වයන් වැනි ටෙලියොස්ටයන්විශේෂ, මුහුදු පැළැටි සහ කොරල්පර අතර ජීවිතයට අනුවර්තනය වී සිටිති.

දුරින් පමණක් නෑ සබඳතාවක් ඇති එහෙත් එකම ආකාර පරිසරයක ජිවත්වන ජීවීන් කණ්ඩායම් මතුපිටින් පමණක් සමාන කම් ඇති ව්‍යුහයන් වර්ධනයට පෙළඹෙති. ඊට හේතුව ඔවුන් එකම පරිසරයට අනුවර්තනය වීමයි. මෙම ව්‍යුහයමය සමානතාව පරිණාමනය වන්නේ අනුවර්ති අභිසරණය (convergence) නම් ක්‍රියාදාමය තුළිනි. නිදසුනක් දක්වතොත්, පොපසා ( porpoise ) සීල් (seal) සහ මත්ස්‍යයන් ජලය තුළ ඔවුන්ගේ චලනයන් පහසු කරවන සුසංවිධිත ශරීර වර්ධනය කරගෙන ඇත.

 

How Stuff Works හි Adaptation ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: