විදු නැන නුවණ – Science Literacy for All

අපේ ශරීරාභ්‍යන්තරයේ ඝටිකාව සකස් කිරීමට වර්ණ ආධාරවෙයිද?

හිරු බැස යද්දී වෙරළාසන්නයේ සිටින අපට මුහුද දෙස බලද්දී නෙත ගැටෙන්නේ මනස්කාන්ත දර්ශනයකි. එහෙත් එය හුදෙක් මන පිනවන පියකරු දර්ශනයක් පමණක් ද? නව අධ්‍යයනයකින් හෙළිවන අන්දමට එවැනි දර්ශනයකින් සංඥා කරනුයේ අපේ සිරුරේ ඇතුලේ තිබෙන ජිව විද්‍යාත්මක ඔරලෝසුව ප්‍රත්‍යාරම්භ කිරීමට (යළි සැකසීමට) කල් උදාවී ඇති බවයි. නින්දයාමේ රටාවේ සිට ජීරණය දක්වා වන සියල්ල පාලනය කරන්නේ මේ ජීව විද්‍යාත්මක ඝටිකාවයි. නව අධ්‍යයනය සිදු කොට අැත්තේ මීයන් යෙදා ගෙනය. ආලෝකයේ වෙනස් වන වර්ණ සිය අභ්‍යන්තර ඔරලෝසු සැකැසීම සඳහා මේ කුඩා සතුන්  විසින් යොදා ගනු ලබන බව එහි දී පෙනී ගොස් ඇත. මේ කාරණය මිනිසුන්ටත් අදාළ වෙතැයි පර්යේෂකයෝ අදහස් කරති.

‘මෙම කාරණා ගැන පර්යේෂණ කිරීමේදී අප තවමත් අරඹා ඇත්තේ මතුපිට  සූරා ජීව විද්‍යාත්මක ඔරලෝසු පරිසරයට අනුකූලවන අන්දම සොයා බැලීම පමණයි’ යනුවෙන් කැලිෆෝනියා සරසවියේ ජීව රසායනවිද්‍යාඥ කැරී පාච්  කියා සිටී. පාච් නව අධ්‍යයනයට සම්බන්ධ වූවෙක් නොවේ. පැය 24  පුරා ජීවිතයේ කටයුතු සමකාලික කරවන දෛනික රටා පාලනය කිරීමේදී ආලෝකය ඉටුකරන කාර්ය භාරය ගැන විද්‍යාඥයෝ කලක සිටම දැන සිටියහ. එහෙත්, එකී ශරිරාභ්‍යන්තර ඔරලෝසුව වයින් කිරීමේදී වර්ණ හා දීප්තිය වැනි ආලෝකයේ විවිධ ගුණාංග දායක වන්නේ කෙලෙසකදැයි ඔවුන්ට නිසියාකාර අවබෝධයක් නොවීය. ‘අවට ලෝකයේ ඇති ආලෝක ප්‍රමාණය යම් කිසි ආකාරයට ජීව ඔරලෝසුව මගින් මනිනු ලබන බව ජනතාව සාමාන්‍ය වශයෙන් දැන සිටියා විය හැකිය’යි එක්සත් රාජ්‍යයේ මැන්චෙස්ටර් සරසවියේ ස්නායු විද්‍යාඥ ටිමි බ්‍රවුන් කියා සිටියි. ‘අප අදහස් කරන්නේ ආලෝකය මගින් ඊට වඩා වැඩි සංකීර්ණ ක්‍රියාවලියක් සිදුවන බවයි.’ බ්‍රවුන් නව අධ්‍යයනයේ එක් කතුවරයෙකි.

ඉහත කී කාරණාව නිර්ණය කිරීම පිණිස බ්‍රවුන් ඇතළු සගයන් මොළයේ suprachiasmatic nucleus හෙවත් SCN යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය ඉලක්ක කරගනිමින් පරීක්ෂණ අරඹා තිබේ. මොළයේ මෙම කොටස සියලුම පෘෂ්ඨ වංශියන්ට පොදුය. ‍සාමාන්‍ය වශයෙන් පැය 24 ක් පවතින රසායනික හා විදුලිය රිද්මයන් උපයෝගී කරගනිමින් ශරීරය  වේලාව දක්වන්නේ එම කොටසෙහි දී ය. ඇස්වලින් නිකුත් කරන වර්ණ සංඥා SCN කොටසට ගමන් කළේ ද එමෙන්ම එම තොරතුරු ඔරලෝසුවේ වේලාව දැක්වීම කෙරෙහි බලපෑමක් ඇති කළේ ද යන්න කණ්ඩායම සොයා බැලූහ.

ආලෝකයේ විවිධ තීව්‍රතා සහ වර්ණ මීයන්ට දකින්නට සලස්වා බ්‍රවුන් සහ සගයන් පිරිස SCN නියුරෝනවල විදුලිමය කම්පන මැන බැලූහ. එම නියුරෝනවලින් අඩුම තරමින් හතරෙන් පංගුවක්වත්, වර්ණයෙහි වෙනසක්ම්වලට විශේෂයෙන්ම ගොම්මනෙන් පසුව අහසේ ප්‍රමුඛව දක්නට ලැබෙන කෙටි තරංග ආයාමයකින් යුක්ත නිල් ආලෝකයට ප්‍රබලව ප්‍රතිචාර දැක්වීය. මෙයින් පෙනී ගියේ සංඥාව නිසි තැන බලා ගමන් කරනා බවයි. එහෙත්, මීයන්ගේ අභ්‍යන්තර ඔරලෝසුව කෙරෙමි මැණිය හැකි බලපෑමක් ඇති කරන බවක් ඉන් පෙන්නුම් කළේ නැත. එහෙයින් පර්යේෂක කණ්ඩායම මීයන් දමා ඇති කුඩුවට උඩින් කෘතිම අහසක් තනා වර්ණ වෙනස් කම් ඇතිව හා නැතිව දිවා රැය මවා පෑමක් සිදු කළහ. මීයන් නිශාචාරයන් වන අතර ශරීර උෂ්ණත්වය රාත්‍රියේ දී උපරිමයට පත්වෙයි. කෘතිම අහසෙහි ස්වාභාවික වර්ණ විපර්යාසයන් නොමැති විට මීයන්ගේ ශරීර ඝටිකාව අවුල් විය. උපරිම උෂ්ණත්වයට ශරිර ළඟාවුනේ සාමාන්‍ය තත්ත්වයන්ට වඩා විනාඩි 30ක්  කලින්ය.

උෂ්ණත්වය උපරිම තත්වයට පත්වීමේ වේලාව වෙනස් වූයේ ඇත්තටම ශරිරාභ්‍යන්තර ඔරලෝසුවෙහි වෙනසක් නිසා දැයි නිර්ණය කිරීමට කෘතිම අහස් පරීක්ෂණයට ලක් කළ මීයන්ගේ SCN කොටස් පරීක්ෂා කර බැලිණ. එහිදී පැහැදිලි වූයේ ශරිර උෂ්ණත්වය උපරිමයට ළඟාවෙන වේලාව වෙනස් වූයේ ශරිරාභ්‍යන්තර ඔ‍රලෝසුවේ බලපෑමෙන් බවයි. පර්යේෂණයේ ප්‍රතිඵල මිනිසුන් කෙරෙහි ද බලපෑම් ඇති කිරීමේ ඉඩ කඩ තිබෙන බව බ්‍රවුන් පවසයි. ‘දිගු ගුවන් ගමන්වලින් පසුව ඇතිවන විඩාව, ඍතු වශයෙන් ඇතිවන  විෂාදය වැනි ආබාධවලට ප්‍රතිකාර කිරීමේදී දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ග තවත් වර්ධනය කිරීමට මග පෑදෙනු ඇති’ යයි බ්‍රවුන් අදහස් කරයි. එපමණක් නොව නව සොයා ගැනීම වර්ණ දෘෂ්ඨිය පරිණාමනය වූයේ මන්ද යන්න ගැන අපේ අවබෝධයෙහි වෙනසක් ඇති කිරීමට පවා හැකිවෙනු ඇත.

සයන්සමැග් අඩවියේ  Colors help set body’s internal clock ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: