විදු නැන නුවණ – Science Literacy for All

ලෝකයේ පැරණිතම ගල් ආයුධ අහම්බෙන් සොයාගැනේ

ලෝකයේ පැරණිතම ආයුධ සොයාගත් ටුර්කානා විල අසබඩ

කෙන්යාවේ සුවිභේද නිම්නයේ කැනීම් කටයුතුවල නිරත පුරාවිද්‍යාඥයන් විසින් ලෝකයේ පැරණිතම ගල් ආයුධ සොයා ගනු ලැබ ඇත. මේවායේ වයස වසර මිලියන 3.3ක් සේ සැලකේ. මෙයට කලින් පැරණිතම ගල් ආයුධ සොයා ගනු ලැබුවේ ඉතියෝපියාවෙනි. ඒවාට වඩා අලුතෙන් සොයාගත් ගල් ආයුධ අවුරුදු 700,000 පැරණි බව පැවසේ. කෙන්යාවෙන් සොයා ගනු ලැබූ ගල් ආයුධ කොපමණ නම් පැරණිද කියතහොත්, ආදිතම ෆොසිල මගින් නියෝජනය වන (නෂ්ඨප්‍රාප්ත සහ දැනට සිටින මානවයන් ඇතුළු අග්‍රේශයන් ඇතුළත් සත්ව ගණය වන) හෝමෝ ගණයටත් වඩා වසර මිලියන 500,000කට වඩා පැරණිය. ඒ අනුව හැඟෙන්නේ, ගල් ආයුධ නිෂ්පාදනය ආරම්භ වූයේ හොමෝ ගණයත් සමග නොව මානව පවුලේ ඊට වඩා පුරාතන සාමාජිකයන්ගේ වකවානුවල බවයි.

මෙම ආදිතම ගල් ආයුධ සොයා ගැනීම සිදුවී ඇත්තේ අහම්බයක්  ලෙසටය. 2011 ජූලි මාසයේ එක්තරා උදෑසනක, ස්ටෝනි බෲක් සරසවියේ සෝනියා හාමන්ඩ් සහ ඇගේ කණ්ඩායම ගමන් කරමින් සිටියේ ටුර්කානා විලෙහි බටහිර ඉවුරෙහි ඇති කලින් දැන සිටි ෆොසිල බිමකටය. එහෙත් මග වැරදුණු මෙම පිරිසගේ ගමන නිම වූයේ මෙතෙක් කැනීම්වලට භාජනය නොවූ ප්‍රදේශයකිනි. මේ පර්යේෂකයන් පිරිස එම ප්‍රදේශය ගවේෂණය කිරිමට තීරණය කළ අතර සවස තේ පානය කරන වේලාව වන විට ශිලාමය මානව කෘති සොයා ගැනීමට සමත් වූහ. කැනීම් සිදු කළ මෙම ප්‍රදේශය ලොමෙක්වි 3 (Lomekwi 3) යනුවෙන් නම් කෙරිණි. එහි මතුපිට මෙන්ම පොළොවෙන් යටද තිබී ගල් පතුරු,  පතුරු ගලවා ගත් ගල්, කිණිහිර ගල් ඇතුළුව මෙවලම් ගණනාවක් සොයා ගැනිමට පර්යේෂකයෝ සමත් වූහ. අප්‍රියෙල් 14 දා සැන් ප්‍රැන්සිස්කොවේ පැවති පැලියෝ ඇන්ත්‍රපොලජි (Paleoanthropology යනු හොමෝ සේපියන් ගණයේ නෂ්ඨප්‍රාප්ත සාමාජිකයන් ගැන සොයන විද්‍යාවයි) සංගම් වාර්ෂික රැස්වීමේදී හාමන්ඩ් මේ සොයා ගැනීම් ගැන කරුණු අනාවරණය කළා ය.

මෙතෙක් වාර්තාවී තිබූ පැරණිතම ගල් ආයුධ සොයා ගනු ලැබුවේ ඉතියෝපියාවේ ගෝනා පුරාවිද්‍යා කැනීම් බිමෙනි. ලොමෙක්වි 3 කැනීම් බිමෙන්සොයාගත් ගල් ආයුධ ගෝනා ඒවාට වඩා බෙහෙවින් විශාලය. ඇට වර්ග තැලීමට සාමාන්‍යන් චිම්පන්සීන් යෙදා ගන්නා ගල්වලට වඩා ඒවා විශාලය. හාමන්ඩ්ගේ මූලික නිරීක්ෂණ අනුව පෙනී යන්නේ කුඩා ගල් කුට්ටි අහළින් පහළින් පහසුවෙන් ලබා ගත හැකි වුනේ නමුත් ලොමෙක්වි ආයුධ තනන්නන් ඉතාමත් තද ද්‍රව්‍යවලින් සැදුනු බර, විශාල ගල් ඕනෑකමින්ම තෝරාගෙන ඇති බවයි. මුලික ගල් කුට්ටියෙන් ගල් පතුරු ලබාගැනීම පිණිස ඔවුන් විවිධ ගල්තැලීම් ක්‍රම භාවිත කර ඇත.

ලොමෙක්වි ගල්තලන්නන් යොදා ගත්තේ කුමණ මෙවලම්ද යන්න තවම නිශ්චිත කිව නොහැක. මෙම බිමෙන් සොයා ගනු ලැබ ඇති සත්ව අස්ථි (ඇට) මිනිස් ක්‍රියාකාරකම් ගැන කිසිදු ලක්ෂණයක් නොපෙන්වයි. එහෙත් වෙනත් කැනීම් බිමකින් ලැබෙන සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ එම අවධීයේදී ද (දැනට ඉතිරිව ඇති හෝමෝ සේපියන් විශේෂය සහ ඔවුන්ගේ නෂ්ඨප‍්‍රාප්ත නෑයන් ඇතුලත් වන) හොමිනිඩායි පවුලට අයිති ප්‍රිමේටයන් සතුන් මරා මස් කළ බවයි. කැපී පෙණෙන සලකුණු සහිත වසර මිලියන 3.4ක් පැරණි සත්ව අස්ථි සොයා ගත් බව ඉතියෝපියාවේ ඩිකිකා කැනීම් බිමේ විද්‍යාඥයෝ 2010 වසරේදී අනාවරණය කළහ. ඔස්ට්‍රොලොපීතිකස් ඇෆරෙන්යිස් (Australopithecus afarensis) නම් ලූසීගේ විශේෂයන්ගේ ෆොසිල මෙම කැනීම් බිමෙන් මීට කලින් හමුවිණ. මේ විශේෂය සතුන්ගේ අස්ථිවලින් ගල් ආයුධ යොදාගෙන මස් සූරා අර ගනිද්දී මෙම සලකුණු සටහන්වන්නට ඇති බව ඔවුන්ගේ මතයයි.  එහෙත් මේ මතය දැඩි මතභේදයට ලක්විය. සමහරුන් කීවේ වෙනත් සතුන්ට පෑගී මෙම අස්ථි සලකුණු ඇතිවූ බවයි. තවත් මතයක් වුණේ කිඹුලන් සැපීමෙන් එම සලකුණු හට ගත් බවයි. හොමිනිඩයන් අතරින් මෙම සලකුණු ඇතිවූවා යයි ලොමෙක්වි ආයුධවලින් ඔප්පු නොවේ. එහෙත් ඩිකිකා හොමිනිඩයන්ගේ ආසන්නකාලීනයන් එවැනි සලකුණු ඇති කළ හැකි මෙවලම් තැනූ බව ඉන් පෙනේ.

ලොමෙක්වි ගල් තලන්නන් කවුරුන්ද යන්න අවිනිශ්චිතය. ගල් ආයුධ තැනීම හෝමෝ විශේෂයන්ටම සුවිශේෂී වූවක් නම්, හොමෝ  විශේෂ පරිණාමය වන්නට ඇත්තේ දැනට ඇති ෆොසිල  වාර්තා පෙන්වනවාට වඩා බොහෝ කලකට පෙරය.  එහෙත් හාමන්ඩ් දරන්නේ වෙනස් මතයකි. ඔස්ට්‍රොලොපිතිකස් හෝ තවත් හොමිනිඩයෙක් වන (අසළින් හමු වූ) කෙන්යාත්‍රොපස් Kenyanthropus හෝ යන විශේෂයන් දෙක මීට වසර මිලියන 3.3කට පමණ පෙර ලොමෙක්වි ගල් අවි සෑදු බව වඩාත් පිළිගත හැකි මතය බව ඇගේ විශ්වාසයයි.

 

Scientific American හි  Archaeologists Take Wrong Turn, Find World’s Oldest Stone Tools ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: