විදු නැන නුවණ – Science Literacy for All

පුංචි සතුන්ගේ සංක‍්‍රමණ රටා

සීත සමය ගෙවා දැමීමට පිටරට සිට මෙහි පැමිණෙන්නේ අපේ නෑ සිය මිතුරන් පමණක් නොවේ. ගමනාගමන පහසුකම් වැඩිදියුණු වී ඇති මේ අවධියේ එය ඔවුනට එතරම් අපහසු කාර්යයක් නොවේ. එහෙත් සතුන් ගැන සිතන විට එක් ප‍්‍රදේශයක සිට තවත් ප‍්‍රදේශයකට ගමන් කිරීම හෙවත් සංක‍්‍රමණය දුෂ්කර කාර්යයක් බව සිතිය හැක. එහෙත් කොපමණ නම් සත්ව විශේෂ මේ දුෂ්කර ව්‍යායාමයෙහි යෙදෙන්නේද?

සංක‍්‍රමණය ගැන කතා කරන විට අපට නිතැතින්ම සිහියට නැගෙන්නේ පක්ක්‍ෂීන්ය. මෙරටට ආවේණික නොවන සංක‍්‍රමණික කුරුල්ලන් ඇතැම් කාලවල මෙහි රංචු පිටින් පැමිණ සිටිනු දැකීම එතරම් දුර්ලබ දසුනක් නොවේ. කැනේඩියානු පාත්තයා සංක‍්‍රමණයට ලොව ප‍්‍රකටය. එවැනි පක්ක්‍ෂීහු සැබැවින්ම බොහෝදුර ගෙවා සංක‍්‍රමණය වෙති. සමහරු අර්ධගෝල හරහා ද මහා සාගර හරහා ද බොහෝ දුර ගමන් කරන්නේ අප පුදුමයට පත් කරමිනි. සැතපුම් දහස් ගණනක දුෂ්කර ගමන පියඹා යැම සඳහා ඒ බොහෝ සතුන්ට ශාරීරික හැකියාව ඇත. එහෙත් මේ දුෂ්කර කාර්යයේ නිරත වන්නේ එවැනි සුදුසුකම් ලත් පක්‍ෂීන් පමණද? අපි සොයා බලමු.

ගුමන කුරුල්ලන් (humming birds)කොපමණ නම් කුඩා දැයි අපි සැවොම දනිමු. එහෙත් මේ කුඩා පක්‍ෂීහු සෑම වසරකම කැනඩාව සහ මැක්සිකෝව හෝ මධ්‍යම ඇමරිකාව අතර සංක‍්‍රමණය වෙති. ඒ ගුමන කුරුල්ලන් බොහොමයකට මැක්සිගේ මුහුදු බොක්ක හරහා සංක‍්‍රමණය වීමට සැතපුම් 500 කට වැඩි දුරක් යායුතුය. ඔවුන් මේ සා දුර ගමන් කරන්නේ අතර මග නතර වන්නේ ද තනිවය. එවැනි දුර ගමන් යාමට පෙළඹෙන්නේ මෙවැනි කුඩා කුරුළු විශේෂ පමණක් ම නොවේ.

නිදසුනකට බත්කූරන් (dragon fly) ගමු. ඔවුනට ”ලෝ වටා පාවී යන්නන්”(Globe Skimmer) යන නම යෙදී ඇත්තේ සරදමට නොවේ. ඉන්දියාවේ දකුණු දිග තුඩුවෙන් ගමන් අරඹන බත්කූරා මාලදිවයින් සහ සීෂෙල්ස් දුපත්වල දී විඩා නිවාගෙන ගොසින් නතර වන්නේ අප‍්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩය. ඔව්, එක් මහාද්වීපයකින් මහා සාගරයක් හරහා තවත් මහාද්වීපයකටත්. අදහා ගැනීමටත් අපහසු තමයි. කෘමියෙකු වඩාම දුර සංක‍්‍රමණය වීමේ  වාර්තාව හිමිකර ගන්නේ බත් කූරාය. යාම ඊම සහිත වට ගමනට ගෙවිය යුතුදුර අඩුම තරමින් සැතපුම් 8,700ක් වත්වේ. (මේ ගැන ටෙඞ් කතාවකට මෙතැනින් පිවිසෙන්න)

බත්කූරාගේ වීර ක‍්‍රියාව කෙසේ වෙතත්, කෘමි සංක‍්‍රමණය අතර වඩාත් ප‍්‍රකට රාජකීය සමනළයන්ය(monarch butterfly). නිදසුනක් ලෙස පංච මහාවිල් ආසන්නයේ ජීවත්වන රාජකීය සමනළයන් ගතහොත් ශීත සෘතුව ගෙවා දැමීම පිණිස දකුණු දිගට සංක‍්‍රමණය වෙමින් සැතපුම් 2,000 කට වැඩියෙන් මග ගෙවා මැක්සිකෝවට ළඟාවෙති. මෙම සමනළ විශේෂය ගැන අවධානය යොමු වන තවත් කාරණයක් වන්නේ සියළුම රාජකීය සමනළයන් සංක‍්‍රමණය නොවීමයි. Nature සඟරාවේ පළවු අධ්‍යයන වාර්තාවකට මුල් වී ඇත්තේ මේ කාරණාවයි.

එම අධ්‍යයනයෙන් උත්සාහ කෙරුණේ රාජකීය සමනළ සංක‍්‍රමණය පිටුපස ඇති ජානමය පදනම කුමක්දැයි නිර්ණය කිරීමය. අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ සංක‍්‍රමණයේ යෙදෙන රාජකීය සමනළයන්, සංක‍්‍රමණය නොවන්නන්ගන් වෙන්කොට දැක්වීමට අවශ්‍යයෙන්ම බලපාන්නේ කොලැජන්  (collagen සත්ව පටකවල ඇති ප‍්‍රධාන ප්‍රෝටීනය) යනුවෙන් හඳුන්වනු ලබන එක් තනි ජානයක් යන්න බවයි. මෙම ජානය, මාංශ පේශී වර්ධනයට (morphogenesis ඵෙන්ද්‍රික රූපය වර්ධනය වීම) සහ කෘත්‍යයට සම්බන්ධයි. වඩාත් කැපීපෙනෙන්නේ, කොලැජන් IV α-1  හි (Collagen IV α-1) විශද එක් තනි ඇමයිනෝ අම්ල ප්‍රෝටීනයක් සංක‍්‍රමණය වෙන රාජකීය සමනළයන්ට වාසියක් අත්පත් කර දෙන්නේය යන කාරණාවයි. සංක‍්‍රමණය නොවන රාජකීය සමනළයන් හා සසඳන විට සංක‍්‍රමණිකයන්ට පියා හැඹීමේදී වඩාත් කාර්යක්‍ෂමවීමට ඉඩ ලැබීම එම වාසියයි.

රාජකීය සමනළයන්ගේ හා බත්කූරන්ගේ සංක‍්‍රමණික රටාවේ තවත් පුදුමය දනවන විශේෂ කාරණාවක් ඇත. බොහෝ සංක‍්‍රමණික කුරුල්ලන් මෙන්නොව මේ දෙවර්ගය ශීත සෘතුවේදී උණුසුම් ගමනාන්ත බලා සංක‍්‍රමණය වී බිත්තර දැමීමෙන් පසුව එහිදීම විශ‍්‍රාම ගන්නා අතර කිසිදිනක සංක‍්‍රමණය පටන් ගත් ස්ථානයට ආපසු පැමිණෙන්නේ නැත. සිය දෙමාපියන්, මුතුන් මිත්තන් පැමිණි ස්ථානය වෙත ඇත්තවශයෙන්ම ආපසු පැමිණෙන්නේ උණුසුම් ගමනාන්තයේදි දැමු බිත්තර වලින් බිහිවන නව පරම්පරාවයි. මේ අනුව මෙකී කෘමින්ගේ සංක‍්‍රමණ වටය (ලූපය) සම්පුර්ණ වන්නේ පරම්පරා කිහිපයක් තුළිනි. වඩාත් කැපී පෙණෙන කරුණ වන්නේ මේ කුඩා සතුන් තුළම සංක‍්‍රමණය කේත ගත වී ඇත යන්නයි.

සමහර සත්ව විශේෂයන්ට සංක‍්‍රමණය වීමට හැකියාව ලැබී ඇත්තේ කෙසේ ද යන්නට දැන් දැන් පිළිතුරු ඉක්මණට ලැබෙමින් පවතී. එසේ සංක‍්‍රමණය වන්නේ ඇයිද යන්න ගැන ද බාගදා ඇතැම් ඉඟි ලැබෙමින් පවතී. සිය ගමනින් සමහර කොටසක් පාවී යාම සඳහා රාජකීය සමනළයන් හා බත්කූරන් තරමක් දුරට විශ්වාසය තබන්නේ පෑළ සුළං (tail winds) මතය. එහෙත්, මොවුන්ට මෙලෙස සංක‍්‍රමණය සඳහා කල් එළඹ ඇතැයි යන සංඥාව ලැබෙන්නේ කුමකින්ද? මෙම සතුන්ට සංක‍්‍රමණය පරිණාමීය වාසියක් බවට පත්වන්නේ කෙසේද? වෙනස් වන සෘතු, සුර්ය කිරණ කෝණය සහ ආහාර ලබාගැනීමේ හැකියාව යන කරුණ ඇතැම් විට සාධක විය හැකිය. එහෙත් මෙය බෙහෙවින් ක‍්‍රියාශීලී, උනන්දුව ජනනය කෙරෙන පර්යේෂණ අංශයකි. එම පර්යේෂණ ගමන. රාජකීය සමනළයන්ගේ සංක‍්‍රමණය මෙන්ම, බොහෝ දිගු වන්නට පුළුවන.

Helix Magazine හි    Nature’s Tiniest Jet-Setters ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: