ඉංග්‍රීසියෙන් අර්තාපල් වලට කියන්නේ potato කියලයි. තක්කාලි tomato මේ නම් දෙකේ අග කොටස ශබ්දවෙන්නේ එක විදිහටයි. ඒත් මේ වාර්තාව වචන ශබ්ද කරන ආකාරය ගැන නොවෙයි. අර්තාපල් හා තක්කාලි එකම ගසකට එක් කිරීම ගැනයි.
අර්තාපල් හා තක්කාලි එකම ශාක කුලයේ සාමාජිකයන් දෙදෙනෙකු වීම නිසා ඒ දෙවර්ගය එක් කිරීමක් ගැන වගාකරුවන් උනන්දු වුනේ බොහෝ කලකට පෙරයි. දැන් ඒ සිහිනය සැබෑවී ඇත. බි්රතාන්ය හා නවසීලන්ත සමාගම් දෙකක් මේ ”දෙමුහුන්”පැළ අළෙවි කිරීමට පටන් ගෙන ඇත.
කෙසේ වෙතත් මේ විපර්යාසය සිදුකොට ඇත්තේ ජානමය වෙනස්කම් කිරීමෙන් නොවේ. එක පැළයක් අනෙක් පැළයට ඍජුවම බද්ධ කිරීමෙන් හෙවත් එකක් අනිකට ඇදීමෙනි. එනිසා මෙය බද්ධ දෙමුහුම් ලෙස උද්භිද විද්‍යාඥයෝ හඳුන්වති. දෙමුහුන් පැළය නැතිනම් ශාකය මිළට ගෙන වසන්තයේ දී සිටවු විට ගිම්හානය වනවිට තක්කාලි ගෙඩි අස්වැන්න නෙලා ගැනීමට හැකිවෙයි. ගෙඩි නිපදවීම අවසන් වුවාට පසුව පස හාරා අර්තාපල් අල අස්වැන්න නෙලා ගත හැකිවේ. ඒත් මේ දෙමුහුන් ශාකයේ බීජ ගෙන නැවත වතාවක් පැළ කළොත් ලබාගත හැකිවන්නේ තක්කාලි පමණක්ය. දෙමුහුන් වීම සිදුවන්නේ පැළයට පැළය බද්ධ කිරීමෙන් පමණක් නිසාවෙනි.
මෙම බද්ධ කිරීම සෑම ශාක වර්ග දෙකක් සඳහාම යොදා ගත නොහැක. අපට එකම ගහේ කැරට් අලත් දොඩම් ගෙඩිත් ලබා ගත නොහැක. අන්නාසි හා කෙසෙල් ගැන සිතුවද ප්‍රතිඵල එලෙසමය. ඊට හේතු වෙනස් කුල දෙකක ශාක සාර්ථකව බද්ධ කිරීමට නොහැකි වීමයි. ”ටොම්ටැටො” (Tom Tato = tomato-potato) බද්ධ දෙමුහුමට ඉඩ ලැබෙන්නේ දෙකම එක කුලයෙන් වීමයි. දෙකම අයත් වන්නේ Solanaceae කුලයටයි. (night shade යනුවෙන් ද සාමාන්‍ය ජනතාව අතර ව්යාවහාරවෙන එය විෂ සහිත හෝ මත් ශාක ගණ සඳහා යොදන නමක්. අර්තාපල් මෙන්ම තක්කාලි ද දකුණු ඇමරිකානු ගෝත්‍රික ජනතාව ගෙන් යුරෝපීයන්ට ලැබුණු දායාදයකි. ආගන්තුක රටවලින් පැමිණි හෙයින් මුලදී night shade ගණයට දැමුවත් අද තක්කාලි මෙන්ම අර්තාපල් ලෝකයේ බොහෝ රටවල ආහාර වලට කැමැත්තෙන්ම එකතු කරගන්නා වර්ග බවට පත්ව ඇත) Solanaceae කුලයට වම්බටු, ගම්මිරිස්, දුම්කොළ මෙන්ම ඇතැම් විෂ සහිත ශාක වර්ග ද අයත් වේ.
Tom Tato යන නමින් බද්ධ දෙමුහුම අලෙවි කරන බි්රතානඥයේ තොම්සන් සහ ටෝගන් සමාගමේ ප්‍රකාශකයෙකු වන පෝල් හැන්සඞ් පෙන්වා දෙන්නේ එකම කුලයේ නිසා මේවා එකම වෛරස් රෝග වල ගොදුරුවීමේ අවදානමක් ඇති හෙයින් බද්ධ කිරීමේදී ඒ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. එමෙන්ම පැළ දෙකෙහිම කඳ එක සමාන පළලකින් යුක්තවීම ද වැදගත්ය. වැඩි අස්වැන්නකින් හා හොඳ රසයකින් යුත් වර්ග දෙමුහුම් බද්ධය සඳහා තෝරා ගන්නා බව ද ඔහු පෙන්වා දෙයි. මෙයින් එක පැළයකින් තක්කාලි ගෙඩි 500 ක් පමණ ලබා ගත හැකිවන අතර ඉන් සති කිහිපයකට පසු අර්තපල් රාත්තල් 4 ක් පමණ ද ලබා ගත හැකි යයි මෙම සමාගම කියා සිටියි.
KIDS DISCOVER හි Tomato and Potato Unite on Grafted Hybrid Plants ලිපිය ඇසුරෙනි.