සැමට විදු නැන නුවණ – Science Literacy for All

සූර්ය ලප

සූර්ය ලප යනු මොනවා දැයි තේරුම් ගැනීමේ ප්‍රථම පියවර වනුයේ සූර්යයා බබලන්නේ කෙසේ දැයි අවබෝධ කර ගැනීමයි. සෛදාන්තික ආකෘති සහ තාරකා බොහොමයක නිරික්ෂණයන් පදනම් කරගනිමින් තාරකා විද්‍යාඥයෝ සූර්යයාගේ ශක්තිය නිපදවන්නේ කෙසේද? එමෙන්ම එය සූර්යයා මතුපිටට පැමිණෙන්නේ කෙලෙසද යන්න ගැන මනා අවබෝධයක් ලබා ගෙන සිටිති.

සූර්යයාගේ ස්කන්ධයත්, වසර බිලියන 4.6ක වයසත් එමෙන්ම වැඩිකොටම හයිඩ්‍රජන්වලින් හෙබි සංයුතියත් ගත් කළ සූර්යයාගේ වර්තමාන  ශක්ති ප්‍රතිදානයට මඟපාදන්නේ හයිඩ්‍රජන් හීලියම් බවට හරවන න්‍යෂ්ටික විලයනය පමණකි. හයිඩ්‍රජන් න්‍යෂ්ටි (ප්‍රෝටෝන) එකිනෙකට ඝට්ටනය කිරිම මේ ක්‍රියාදාමයට අදාලය. එය සිදුවිය හැක්කේ උෂ්ණත්වය කෙලිවින් මිලියන දහයකට වැඩි වුණොත් හා අධික පීඩනය යටතේ පමණකි.

හරයේ විලයනයෙන් අති ප්‍රබල ගැමා කිරණ පෝටෝන(photon) නිපදවේ. හරයෙන් ඔබ්බට ද සූර්යයා තවදුරටත් ඉතාම ඝන බවින් යුක්ත වන්නේය. පදාර්ථ අංශු මතින් බොහෝ වාරයක් පෝටෝන විසිරී යයි. මෙම විකිර විසරණය(radiative diffusion) සූර්යා අරයෙන් 70%ක් තුළ ක‍්‍රියාත්මකයි.

කිලෝමීටර 400,000 පමණ දුරක් යාමට පෝටෝන ශක්තියට වසර 100,000 ක පමණ ගතවෙයි. ඝනත්වය තුනීවත්ම, සූර්ය පෘෂ්ඨයට (මතුපිටට) ඇති අවසන් කිලෝමීටර් 200,000 යාමට ගත වන්නේ මාස 3ක් පමණය. ඒ සංවහන ක්‍රියාදාමය මගිනි.

මෙය උදුනක නටන ජල බඳුනක් හා සමානය. තාපය යොදන්නට පෙර බඳුනේ මුලු ජල ප්‍රමාණයෙහිම ඇත්තේ එකම උෂ්ණත්වයකි. එවිට ජලය නැටිමක් නැත. ඊළඟට තාපය යොදන විට බඳුනෙහි අඩියෙහි රත් වූ ජල බිංදු ඊට උඩින් ඇති ජලයට වඩා සැහැල්ලු වන අතර ඒවා උඩට නගියි. බඳුනේ මුදුනෙහි දී ජල බිංදුවල රස්නය හීන වී ගොසින් ඒවා ඝන වී කිඳා බසියි. සූර්යා සම්බන්ධයෙන් ගත් කළ රත් වූ වායු පොදි උඩට ඇදී මතු පිට දී පෝටෝන හාත්පස විසුරුවයි. විසිරෙන වායු පොදි එවිට තාපය හින වී කිඳා බසියි.

විකිරණය වන පෝටෝන බොහොමයක් දෘශ්‍ය තරංග ආයාමයක් දක්වා සිහිල්වේ. පෝටෝන අභ්‍යවකාශයට පැන ගන්නා සූර්යයා මතුපිට ප්‍රදේශය වන්නේ ප්‍රකාශගෝලයයි(photosphere). ප්‍රකාශ ගෝලයෙහි උෂ්ණත්වය කෙල්වින් 5800ක් පමණ වේ. ප්‍රකාශ ගෝලයෙහි සංවහන සෛල විස්තරාත්මක ප‍්‍රකාශ අනුරූකරණය මගින් අනාවරණය කෙරෙයි.

සූර්ය ලප වනාහි සූර්ය පෘෂ්ඨයෙහි අඳුරු ස්ථානගත ප්‍රදේශයි. සංවහනයෙහි මර්දනය කිරීමේ හේතුව මත සූර්ය ලප ඒවායේ වටාපිටාවන්ට වඩා කෙල්වින් 1500කින් පමණ සිසිල්ය. දින ගණන් සිට සති ගණන් දක්වා ජිවිත කාලයක් ඒවාට හිමිය. ප්‍රමාණයෙන් ගත්තොත්, පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාලය. පෘථිවියට වඩා එක් දහස් ගුණයක් බලගතු  චුම්බක ‍ක්ෂේත්‍ර සූර්ය ලපවලට ඇත. බොහෝ විට ඒවා මතු වන්නේ යුගල වශයෙනි. ඒ, සූර්යාගේ චුම්භක ක්ෂේත්‍රය, එම පෘෂ්ඨය හරහා උඩට එන ස්ථානවලදීය. එහිදී, සංවහනය මර්දනය කෙරෙන්නේ මෙම චුම්භක ක්ෂේත්‍ර මගිනි.

 

සූර්යාගේ භ්‍රමණය දැනමැන ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් තුළ සූර්ය ලප පවතී. සූර්යයා, ධ්‍රැවයන් හිදීට වඩා වැඩිවේගයකින් සමකයේදී භ්‍රමණය වෙයි. තවද,  11 අවුරුදු චක්‍රයක් තුළ සූර්ය ලප සංඛ්‍යාවෙහි වෙනස් කම් ඇති වේ. සූර්ය ලප අවමයක් ආරම්භ වන්නේ ඉහළ අක්ෂාංශ ලප කිහිපයකිනි. උපරිමයක් කරා ළඟාවෙද්දී පහළ අක්ෂාංශයන්වලදී ‍තවත් ලප දිස්වේ.

වමේ චිත‍්‍රයෙහි පෙනෙන්නේ සූර්ය ලප සමූහ දෙකක් සහිත පූර්ණ සූර්යයායි. එම සූර්ය ලප සමූහ  බෘහස්පති ග‍්‍රහයා තරම් විශාලය.  දකුණේ චිත‍්‍රයෙන් දැක්වෙන්නෙ සූර්ය ලප සමීප රූපයකි. එහි මධ්‍යයට ආසන්නයේ විශාල ලපය පෘථිවියට වඩා ලොකුය.

වමේ චිත‍්‍රයෙහි පෙනෙන්නේ සූර්ය ලප සමූහ දෙකක් සහිත පූර්ණ සූර්යයායි. එම සූර්ය ලප සමූහ බෘහස්පති ග‍්‍රහයා තරම් විශාලය. දකුණේ චිත‍්‍රයෙන් දැක්වෙන්නෙ සූර්ය ලප සමීප රූපයකි. එහි මධ්‍යයට ආසන්නයේ විශාල ලපය පෘථිවියට වඩා ලොකුය.

ගෝලීය අර්ථයකින් අප සූර්ය ලප තේරුම් ගන්නේ කොයි ආකාරයටද? සූර්ය සංවහන කලාපය වනාහි ආරෝපිත අංශුවල උණු වායුවකි. එවැනි වායුවක් අනර්ඝ විදුලිය සන්නායකයකි.  වායු සංවහනය හා භ්‍රමණය හේතුවෙන් චුම්භක  ක්ෂේත්‍රයක් ජනනය වේ. වායුව ගමන් කරද්දී අන්තර්ගතව ඇති චුම්භක ක්ෂේත්‍රයද ඒ සමග ඇදගෙන යනු ලැබේ.

සූර්යාගේ විසම (ආන්තර) භ්‍රමණය හේතුකොට ගෙන චුම්භක ක්ෂේත්‍රය තව තවත් තදට තදේ දඟර කැවේ. ක්ෂේත්‍ර රේඛා එකට පටලැවෙද්දී, උතුරු දකුණු පුඩු පෘෂ්ඨයෙන් උඩට එකවර මතුවේ. ආකෘතිවලින් පෙන්නුම් කරන්නේ පුඩු මතුවන්නේ ඉහළ අක්ෂාංශවලදී බවයි. ක්ෂේත්‍රය තවත් දඟර වැටී ඇඹෙරෙද්දී පුඩු සමකය දෙසට මතු වේ. වසර 11 කට පමණ පසුව ක්ෂේත්‍රය කොපමණ නම් ඇඹරි ඇද්ද කියතහොත් එය යළි තිබූ හැටියට සැකසෙන්නට පටන් ගනියි. සූර්ය ලප අතුරුදන් වන අතර නව  චක්‍රයක් ආරම්භ වෙයි.

පුඩු එකවර ඉස්මතුවෙද්දී උණුසුම් වායුවද ඒවා සමග උඩට ඇද ගනී. මේ පුඩුවල පරිණාමය සූර්ය ලෙල සිළුවලට මගපාදයි. උෂ්ණත්වය ඇත්තටම ඉහළ යන්නේ ප්‍රකාශ ගෝලයට ඉහළින් ඇති උස සමගයි. සූර්ය රැස්වළල්ලෙහි හෙවත් කිරීටයෙහි තුනී වායුව කෙල්වින් අංශක මිලියනයකට වඩා උෂ්ණත්වයකින් යුතුය. එවැනි උණුසුම් වායු වඩා හොඳින් නිරීක්ෂණය කළ හැක්කේ පාර ජම්බුලාන්ත/ X කිරණවලදීය.

A Visual Guide to the Universe ග‍්‍රන්ථය ඇසුරෙන් සැකැසෙන ලිපි පෙළක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: